Gossip

“මේ චරිතය බාරගන්න බැහැමයි කියලා මම සාරංගට මුලින් කිව්වා”- දෙවැනි ඉනිමේ ප්‍රින්සිපල් සර් චිරන්ත රන්වල

විදුහල්පතිවරයෙක් විදිහට වැඩ රාජකාරි කරන එකත් ‍ලේසි පහසු දෙයක් නෙවෙයි නේද චිරන්ත?
අ‍පොයි ඔව්, ඒ වෘත්තියේ තියෙන වගකීම මට මේ දවස්වල තදින්ම දැනෙනවා.

වගකීම් බාරගත්තාට ‘දෙවැනි ඉනිමේ’ ප්‍රින්සිපල් සර් තනිවම හරි තීරණයක් ගන්නවත් බැරිකෙනෙක් කියලයි සමහරු කියන්නේ ?
ප්‍රින්සිපල් සර් දෙපැත්තට වැනෙන විදිහේ තීරණ ගන්නා කෙනෙක් කියලා සමහර වෙලාවට ගුරු මණ්ඩලයෙන්ම විවේචන එල්ල වෙනවා තමයි. හැබැයි ඉහළින් එල්ලවෙන බලපෑම්වලටත් මුහුණ දෙමින් පාස‍ලේ වැඩකටයුතු කරගෙන යන්න ලොකු උත්සාහයක් දරන කෙනෙක් තමයි දෙවැනි ඉනිමේ ප්‍රින්සිපල් සර් කියන්නේ.

ප්‍රින්සිපල් සර්ගේ වැඩ නිසා චිරන්තටත් සමහර වෙලාවට දොස් අහන්න වෙනවා ඇති?
ඉහළින් එල්ලවෙන බලපෑම් නිසා තමන්ගේ සීමාව තුළ කරන්න බැරි දේවලුත් තියෙනවා. කතාවේ හැටියට එහෙම ප්‍රශ්නයක් තමයි ඒකනායක සර්ගේ සිද්ධියේදීත් මතුවුණේ. හැබැයි එහෙම කියලා තිරයෙන් පිටදී නම් ප්‍රේක්ෂකයන්ගෙන් කවදාවත් මට ඒ චරිතය ගැන නරක ප්‍රතිචාර ලැබිලා නැහැ.

ඒ කියන්නේ ‘දෙවැනි ඉනිම’ නිසා මේ දවස්වල ඔබට ලැබෙන ප්‍රතිචාර සතුටුදායකයි?
ඇත්තෙන්ම ඔව්, ඒ ප්‍රතිචාර ගැන වෙලාවකට පුදුමත් හිතෙනවා. මගේ චරිතයට ඒ විදිහේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබේවි කියලා මම හීනෙකින්වත් බලා‍පොරොත්තු වුණේ නැහැ.

කාගෙන්ද වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ ?
පාසල් යන වයසේ ළමයින්ගෙන්. හැබැයි සැබෑ ජිවිතයේදී මාව දකින සමහර ළමයි කියනවා ‘ප්‍රින්සිපල් සර් අපි හිතාගෙන හිටියාට වඩා තරුණයිනේ කියලා’ මොකද, මම මගේ සෑබෑ වයසට වඩා ටිකක් වයස්ගත චරිතයක්නේ එහි රඟපාන්නේ.

නිවේදකයෙක් විදිහට වැඩි ප්‍රසිද්ධියක් ලබාගෙන හිටපු චිරන්තට දෙවැනි ඉනිමේ ප්‍රින්සිපල් සර් වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
දෙවැනි ඉනිම අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස්ව මම මුලින්ම හඳුනා ගත්තේ මගේ මල්ලි සහන්ගේ මාර්ගයෙන්. මම මුලින්ම ඔහුගේ ‘ගිනි අවි සහ ගිනිකෙළි ටෙලි නාට්‍යයේ සුළු චරිතයක් රඟපෑවා. ‘දෙවැනි ඉනිමේ’ චරිතයට සාරංග මට ආරාධනා කරද්දී මම හිටියේ ප්‍රවෘත්ති නිවේදක කටයුතු වගයක් බාරගන්න සූදානමිනුයි. ඒ නිසා මේ චරිතය බාරගන්න බැහැමයි කියලා මම සාරංගට මුලින් කිව්වා. පස්සේ ඔහුගෙන් බේරෙන්නම බැරි තැන තමයි මම චරිතය රඟපාන්න කැමති වුණේ. ඒ නිසා අද දෙවැනි ඉනිමේ ප්‍රින්සිපල් සර්ගේ චරිතය යම් සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා නම් එහි ගෞරවය සාරංග මෙන්ඩිස් සහ පිටපත් රචක සමන් එදිරිමුණිටත් ලැබිය යුතුමයි.

ප්‍රවීණ සංගීතඥ ලයනල් රන්වල මහතා ඔබේ පියා. පියාගේ වියෝවෙන් පස්සේ ඔබේ මල්ලි සහන් තමයි පියාගේ උරුමය ඉදිරියට රැගෙන යන බව දකින්නට ලැබෙන්නේ. ඒක එහෙම වුණේ ඔබ ඒ කටයුතුවලින් කර හැරිය නිසාද?
එහෙම දෙයක් නෑ. අනූගණන්වලදී ලක්හඬ ගුවන් විදුලි සේවයේ නිවේදකයෙක් විදිහට සේවයට බැඳුණාට පස්සේ මට පූර්ණකාලීනව රන්වල බළකායේ වැඩකටයුතුවල නියැළෙන්න බැරි වුණා. හැබැයි මල්ලිට අවශ්‍ය වෙන හැම අවස්ථාවකදීම මම රන්වල බළකායේ ප්‍රසංග ආදියට මගේ සහයෝගය ලබා දෙනවා. බැරිවෙලාවත් ඔහු එකම වෙලාවක ප්‍රසංග දෙකක් බාරගෙන තිබුණොත් අදටත් මම තමයි එයින් එකක් මෙහෙය වන්නේ.

තාත්තා නවත්තපු තැනින් පටන් ගෙන මල්ලි කරගෙන යන කාර්යභාරය දකිද්දී මොනවාද හිතෙන්නේ ?
ඔහු ඉතාම හොඳින් ඒ වැඩකටයුතු කරගෙන යනවා. ඒ ගැන මට හරිම සතුටුයි. ඒ නිසාම තමයි ඔහුට මගෙන් අවශ්‍ය හැම අවස්ථාවකදීම සහයෝගය ලැබෙන්නේ.

මල්ලිත් එක්ක එකතු වෙලා ළඟදී අලුත් ගීතයකුත් එළි දැක්වූවා කියලා ආරංචියි?
ඔව්. මල්ලිගේ ඉල්ලීමකට අනුව ඔහුගේ සංගීතයට ‘නාඹර රෑ සඳ’ කියලා ගීතයකුත් මම පටිගත කළා. නමුත් ඒ ගීතය ජනතාව අතරට ගෙනියන්න විද්‍යුත් නාලිකාවලින් නම් ප්‍රමාණවත් සහයෝගයක් ලැබෙන්නේ නැහැ.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!