Gossip

“දරුවට වෘෂණ කෝෂ දෙක නැහැ, දරුවව සුවපත් කරන්න කියලා කිව්වා. මම දරුවගේ ජනනේන්ද්‍රියට අත තියලා ආශිර්වාද කළා. සති දෙකකින් ඒ දරුවට වෘෂණ කෝෂ ලැබිලා.”

ඇල්බට් අයින්ස්ටයින්, අයිසැක් නිව්ටන් ආදී ලොව ප්‍රකට විද්‍යාඥයන් සියලු දෙනාටම වඩා තමා විද්‍යාව දන්නේ යැයි පැවසූ ඉන්දීය ඍෂිවරයකු පසුගිය මාස කිහිපය පුරා සමාජ මාධ්‍ය ජාලයන්හි විශාල ජනප්‍රියත්වයක් ඉසිලීය.
නිත්‍යානන්ද නම් වූ මෙම පුද්ගලයා ඉංග්‍රීසි බසින් සිදු කරන දේශනා මේ ලෝකේ කිසිම ඉංග්‍රීසි ජාතිකයකුට තේරුම් ගැනීමට නොහැක්කේ ඔහුගේ ඉංග්‍රීසි ඒ තරම්ම වැරදි සහගත නිසාය. ලෝකයේ සියලුම සතුන්ගේ කතා කරන භාෂාවල් හින්දියට සහ දෙමළට පරිවර්තනය කිරීමේ මෘදුකාංගය සාදා අවසන් බව නිත්‍යානන්ද පවසයි.
අදටත් සතියට එකක් බැගින් අන්තර්ජාලයට මුදාහරින නිත්‍යානන්දගේ වීඩියෝපට මිනිසුන් නරඹන්නේ කුමන අරමුණක් අරභයාද යන්න දන්නේ ඒවා බලන පිරිස් පමණි.
තමාට අදෘශ්‍යමාන බලවේග ඇතැයි කියන පුද්ගලයන් මතුවීම නැතිවීම ලෝකය පුරාම සෑම කලකදීම සිදු වේ.
අපේ රටේ මෑතකදී එලෙස මතුවුණ අයෙකි දීගොඩ කුමාර. තමාගේ දෑතින් විහිදෙන බලයෙන් ඕනෑම රෝගියකු සුවපත් කළ හැකි බව පවසන දීගොඩ කුමාර අන්තර්ජාලය හරහා ලෝකයේ ඕනෑම තැනක සිටින පුද්ගලයකු සුවපත් කිරීමටද පුළුවන් බව කියයි.
දෙව් සුව සේවා Youtube චැනලයේ වීඩියෝපටවල මිනිසුන් දහස් ගණනක් රැස්ව සිටින ක්‍රීඩාංගණවල දීගොඩ කුමාර ඇවිදිමින් රෝගීන් සුව කරන අයුරු නිරූපණය කෙරේ.
දීගොඩ කුමාරගේ පළමු රැකියාව ලෙස බොහෝ දෙනා දන්නේ මාධ්‍යවේදියකු ලෙස විවිධ පුවත්පත්වල සේවය කළ බවයි. ඉන්පසු ළමා චිත්‍ර කතා අලෙවියට පිවිසෙන ඔහු, ළමා මානසිකත්වයට උචිත එකම පොත් ප්‍රකාශකයා තමා බව එකල ප්‍රචාරය කළේය.
දෙව් සුව ආධ්‍යාත්මික ආලෝකය කරා, ඇසට නොපෙනෙන අපූරු ශක්තිය ආදී පොත් ලියූ දීගොඩ, තමාට රෝගීන් සුව කිරීමේ බලය ඇතැයි කියමින් රටපුරා යන්නට පටන්ගෙන තිබේ.
රෝගීන් සුව කිරී‍මේ බලය තමාට ලැබී දැන් වසර හතක් බව පැවසුවද මීට වසර දෙකකට පෙරත් ලංකාවේ වැඩිම ළමා පොත් රචනා කළ රචකයා ලෙස දීගොඩ, තමාව හඳුන්වාගෙන ඇත.
ඒ අනුව කොයි දේ කළත් ලංකාවේ හොඳම වැඩිම ආදී ලේබල් දීගොඩ අලවා ගත්තේය. එහෙත් දීගොඩ කුමාරගේ ආධ්‍යාත්මික පොතකවත්, සුව කිරීමේ මෙහෙයන්වලදී අලෙවි කරන පොතකවත් එම පොත් මුද්‍රණය කරන හෝ අලෙවි කරන ස්ථානයක ලිපිනයක් නැත.
දෙව් සුව සේවා Youtube චැනලයේ ඇති වීඩියෝවක දීගොඩ කුමාර තම හාස්කම් ගැන මෙසේ කියයි.
‘‘දවසක් අම්මා කෙනෙක් දරුවෙක් එක්කන් ඇවිත් කිව්වා දරුවට වෘෂණ කෝෂ දෙක නැහැ, දරුවව සුවපත් කරන්න කියලා. මම දරුවගේ ජනනේන්ද්‍රියට අත තියලා ආශිර්වාද කළා. සති දෙකකින් ඒ දරුවට වෘෂණ කෝෂ ලැබිලා.’’
කුඩා දරුවාට වෘෂණ කෝෂ දීම දීගොඩ කර ඇති හාස්කමකි. එහෙත් ඒ වෘෂණ කෝෂ ලැබුණ දරුවා ඉන්න තැනක් ගැන තොරතුරක් වීඩියෝපටයේ නොකියයි.
තවත් වීඩියෝවක දීගොඩ කුමාර කියා සිටින්නේ උපතින්ම එක වකුගඩුවක් පමණක් හිමි දරුවෙක්ව තමා ළඟට මවක් එක්කන් පැමිණි බවත්, දරුවාට තියෙන එක වකුගඩුවෙත් ගලක් ඇති නිසා ඒ ගල ඉවත් කර දෙන ලෙස ඉල්ලූ බවත්ය. තමාගේ බලය යොදා දරුවාගේ උදරයට අත තබා ආශිර්වාද කළ පසු වකුගඩුවේ තිබූ ගලක් ඉවත් වී උපතින් නොලැබූ වකුගඩුවක් එම දරුවාට ලැබුණු බවත් දීගොඩ තවත් හාස්කමක් ලෙස කියයි.
‘‘මෙච්චර දේවල් ලැබුණට පසු මගේ බලය ගැන තව මොන කතාද?’’ දීගොඩ යූටියුබයෙන් කියයි.
හොරොව්පතානේ සුව කිරීමේ මෙහෙයේදී රෝගීන් තිදෙනකු මිය යෑමේ සිද්ධියත් සමග ‘අරුණ’ මගින් දීගොඩ කුමාර අළලා විවේචනාත්මක හෙළිදරව්වක් කෙරුණේ ඒ අතරය. දීගොඩ කුමාරගේ සුව කිරීමේ මෙහෙයෙන් සුව වූ බව කියන කිහිප දෙනකු කතා කර තමන් සුවය ලැබූ ආකාරය බලා ගන්නට එන්නට යැයි අපට ආරාධනා කළහ.
එම ආරාධනාව පිළිගත් අපි පළමුවෙන් ගියේ දීගොඩගෙන් සුවය ලද බව කියන කඩවත, මාවරමණ්ඩිය, ඔබවත්ත පාරේ පදිංචි එම්. රණවීර නම් හැට එක් හැවිරිදි කාන්තාව හමුවන්නටය. පළමුවෙන්ම ඇය තමන්ගේ රෝගය හඳුනාගත් ආකාරය විස්තර කළේ මෙසේය.
‘‘මට හොඳටම වකුගඩු අමාරුව. ඒ එක්කම බයිපාස් එකක් කරන්න වන තත්ත්වයට පපුවේ අමාරුව ආවා. ඔය ලෙඩ දෙකම දීගොඩ කුමාර මහත්තයාගේ සුව කිරීමේ මෙහෙයට සහභාගි වුණාම සනීප වුණා’’ යැයි ඇය පැවසුවාය.
අප පළමුව වකුගඩු රෝගයට අදාළව ඇය ලබාගෙන තිබෙන වෛද්‍ය වාර්තා ඉල්ලා සිටියෙමු
‘‘මෙහෙමනෙ, මට හොඳටම සීනි අමාරුව. ඔහොම කාලයක් ඉද්දි මගේ බඩ රිදෙන්න පටන් ගත්තා. ඉතින් මට වකුගඩු රෝගයනේ’’ ඇය කියා සිටියාය.
‘‘එතකොට කවුරුවත් දොස්තර කෙනෙක් කිව්වෙ නැද්ද අම්මට වකුගඩු ​අමාරුව තියෙනව කියලා?’’ අපි කිහිප වරක්ම ඇසුවෙමු.
‘‘නැහැ, නැහැ. දොස්තරලා කියන්න දෙයක් නැහැ. සීනි අමාරුව තියෙද්දි බඩේ කැක්කුම කියන්නේ වකුගඩු අමාරුවනෙ’’ ඇය නැවත කීවාය.
වකුගඩු රෝගය තිබෙන බව ඇයම සිතූවක් වන බැවින් ඊළඟට අපි බයිපාස් සැත්කමක් කිරීමට ලබාගත් වෛද්‍ය නිර්දේශය ඇතුළත් වාර්තා ගැන සොයා බැලුවෙමු.
හෘද රෝගයක් ගැන සොයා බැලීමට ගත් වෛද්‍ය වාර්තා කීපයක් ඇය සතුව තිබිණි. ඒ අනුව කිහිප අවස්ථාවකදී ඇය කොළඹ පෞද්ගලික රෝහල් දෙකකදී වෛද්‍ය මොහාන් රාජකරුණාගෙන් ප්‍රතිකාර ලබාගෙන තිබුණි. ඒ වාර්තා අපට පෙන්වූ ඇය පැවසුවේ වෛද්‍ය රාජකරුණා ඇයට බයිපාස් සැත්කමක් කලකට පෙර නිර්දේශ කළ බවයි. අප ඇය ලබාදුන් සියලු වාර්තා රැගෙන ඇය ප්‍රතිකාර ලබාගත් කොළඹ පෞද්ගලික රෝහලේ වෛද්‍ය රාජකරුණා හමු වුණෙමු.
‘‘මේ ECG වාර්තාවල ඉතා පැහැදිලිව මම සටහන් කරලා තියෙනවා ඒ කාන්තාවට කිසිදු රෝගයක් නොමැති බව. ඇය සිදුකළ Running ECG පරීක්ෂණයෙන් පවා ඔප්පුවෙලා තිබෙනවා එයාගෙ හෘදය වස්තුවේ කිසිම ආබාධයක් නැති බව. ඒ ECGඑකෙන් පස්සෙත් එයා නැවත නැවතත් පපුවෙ අමාරුව තියෙනවා කීවම මම ඇයට කොරොනරි ඇන්ජියෝග්‍රැෆි පරීක්ෂණයක් යෝජනා කළා’’ වෛද්‍ය රාජකරුණා අපට ඇයගේ රෝගයේ සැබෑ තතු කීවේය.
අප වෛද්‍යතුමා ඉදිරියේම ඔහුටද අපගේ සංවාදයට සවන් දිය හැකි ආකාරයට එම්. රණවීරට දුරකථන ඇමැතුමක් ගත්තෙමු.
‘‘අම්මට කවුද කිව්වේ බයිපාස් එකක් කරන්න කියලා?’’ මම ඇසුවෙමි.
‘‘දොස්තර මහත්තයා කිව්වා ඩයි එක යවන්න කියලා. ඉතින් ඒ කියන්නේ බයිපාස් කරන්න කියලනේ’’ මම දුරකථනය විසන්ධි කළෙමි.
දීගොඩ කුමාර සුවපත් කොට ඇත්තේ ඔය වගේ ලෙඩ්ඩුන්ය. ඒ මොහොතේ මා මතකයට ආවේ ඇය සමග සුව කිරීමේ මෙහෙයට ගිය ඇයගේ පුත්‍රයාවය.
‘‘මම අම්මව එක්කන් ගියාම මගේ අවුරුදු ගාණක් තිබ්බ අපස්මාර රෝගය ඉබේම හොඳ වුණා’’ යැයි එම්. රණවීරගේ පුතා වූ මනෝජ් කියා සිටියේය. මේ තරුණයා අපස්මාර රෝගයට ගත් ඖෂධ තවමත් ළඟ තබාගෙන සිටී. ඔහු තම රෝගය සුව වූ බව කියන්නේ දීගොඩ ළඟට ගියාට පසු තවමත් අපස්මාරය සෑදී නොමැති නිසාය.
ඔහුට අනුව එය බෝනස් එකකි. දීගොඩ කුමාරගෙන් සුවය ලැබූ හෘදයේ රෝගී තත්ත්වයක් තිබූ අවුරුදු 18ක දරුවෙක් වන සඳුන් සොයා මම ඊළඟට ගියේ කළුතර උතුර, දුම්රිය ස්ථානය අසල නිවෙසකටය. අවුරුදු දහයකට වැඩි කාලයක් මෙම දරුවා හදවතේ රෝගයට වෛද්‍ය උපදෙස් සහ ඖෂධ ලබාගන්නා බව වෛද්‍ය වාර්තාවලින් පෙනිණ.
ඒ දරුවා දීගොඩ කුමාර වෙත ගෙන ගොස් ඇත්තේ කළුතර පැවති සුව කිරීමේ මෙහෙයකදීය. ඒ මොහොතෙන් පසු දරුවාට සුවයි නම් සුව වූ බවට ලබාගත් වෛද්‍ය වාර්තා ඇතිදැයි සඳුන්ගේ දෙමාපියන්ගෙන් ඇසුවෙමි.
‘‘එහෙම වාර්තාවක් නැහැ. දරුවා කියනවා සුව කිරීමේ මෙහෙයට ගිහිල්ලා ආවට පස්සේ සුවයක් දැනෙනවා කියලා. අපි ප්‍රාර්ථනා කරනවා ඊළඟ වෛද්‍ය පරීක්ෂණයෙන් අපි හිතනවා වගේම මේ රෝගය සුව වුණා කියල දොස්තරවරු කියයි කියලා. අපි එහෙම කියන්න කියල ප්‍රාර්ථනා කරනවා.’’
දීගොඩ කුමාරගේ විවාහයට අත්සන් තැබුවේ ඔහුගේ හොඳම මිතුරා වික්‍රම නම් චිත්‍ර ශිල්පියාය. දීගොඩ කුමාර තමාගේ ජීවන පාඨය ලෙස නිතරම ‘අව්ව තියෙන වෙලාවේ රෙද්ද වේළගන්න ඕන’ යැයි ඒ කාලේ ඉඳන් කියූ බව වික්‍රමගේ බිරිඳ අපට කීවාය.
දීගොඩ කුමාර රෙද්ද වේළාගත් හොරොව්පතානට මම ගියේ පසුගිය අඟහරුවාදාය.
එක විටෙක නුවර, තවත් අවස්ථාවක පන්නිපිටිය, තවත් අවස්ථාවක බොරලැස්ගමුවේ ජීවත් වන බවට තැනින් තැන කියන දීගොඩ කුමාරට රෙද්ද වේළාගන්න අව්ව පායලා දුන් හෙරොව්පතානේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දයාරත්න මට හමුවිය.
මන්ත්‍රී දයාරත්න, දීගොඩ කුමාර වෙනුවෙන් හෙරොව්පතානේදී සුව මෙහෙය සංවිධානය කළ තැනැත්තාය. ඉතා උණුසුම් අයුරින් මාව පිළිගෙන දීගොඩ කුමාරගේ හැකියාවන් එකින් එක කියන්නට දයාරත්න කතාව ඇරඹීය.
‘‘මට වැලිමඩදි තමයි දීගොඩ කුමාර මහත්තයා මුලින්ම දකින්න ලැබුණේ. අපේ පැත්තේ දරුණුවට තියෙනවා වකුගඩු රෝගෙ. පස්සේ මම තීරණය කළා අපේ ගමේ වකුගඩු රෝගීන් සියලු දෙනාම දීගොඩ කුමාර ලවා සුව කරන්න ඕන කියලා. මම එතුමට ආරාධනා කළාම මම කිව්ව දේ එතුමගේ හිතට හොඳින් වැදිලා එතුමගේ සේවක පිරිසට කිව්වලු ඔක්කොම වැඩ පැත්තකට දාලා අපි හොරොව්පතානෙ යමු කියලා.
ඔයාට වුණත් පේනවනේ මගේ කතාවට ඕනම කෙනෙක් අල්ල ගන්න කොක්ක ගහන්න පුළුවන් කියලා’’ මම ඔහුගේ සතුටට බාධා නොකර හිස සැලුවෙමි.
‘‘මට දීගොඩ කුමාර මහත්තයා කතා කළා, ඔහු කිව්වා අම්පාර හෝටලයකට එන්න කියලා.
මම ගියාම කිව්වා වැඩේට ලක්ෂ 08ක් විතර යනවා, හොයාගන්න කියලා. කිලෝ පනහෙ හාල් මිටි 25ක් ඊළඟ දවසෙම මට එවලා කිව්වා වැඩේ කරන්න සල්ලි මදි නම් කියන්න මට ආධාර කරන්න ඕන තරම් ධන කුවේරයෝ ඉන්නවා කියලා.
අර කිලෝ පනහෙ හාල් ගෝනි 25 සුව මෙහෙයට එන අයට කන්න දෙන්න. ඊළඟට කිව්වා ජංගම වැසිකිළි 50ක් සවි කරන්න ඕනෑ කියලා. ඔය ඔක්කොම සංවිධානය වුණාම තමයි සුව කිරීමේ හොරොව්පතානේ මෙහෙය පැවැත්වුණේ.’’
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ක්‍රියා කර ඇත්තේ තම ප්‍රදේශයේ ජනතාව පෙළන ප්‍රශ්නයෙන් සදහටම නිදහස් කරගැනීමේ සද්භාවය ඇතිවය.
දයාරත්න කියන ආකාරයට දීගොඩ කුමාරට විෂ්ණු සහ කාලි මෑණි නම් දෙවිවරු දෙපළගේ බලය ඇත.
දැන් හොරොව්පතානේ බොහෝ දෙනෙක් සිතන්නේ දීගොඩ කුමාර අනාගත බුදුවරයෙක් බවය.
දීගොඩ කුමාර අනාගත බුදුවරයෙක් යැයි පවසන පිරිස් සිටින හොරොව්පතාන මරදන්කඩවල ගමට ගොස් දෙව් සුව සේවාවෙන් සුවපත් වූ පිරිස් සොයා යෑම ඇරඹුවෙමි.
‘‘මගේ දරුවට දැන් අවුරුදු 11ක්. දරුවගේ කන ඇහෙන්නේ නැහැ. සුව කිරීමේ මෙහෙයට ගියාට පස්සෙ සනීප වුණා’’ දේව මෙහෙයට ගිය රංජනී නම් දරුවාගේ අම්මා ප්‍රකාශ කළාය.
ඊ.එම්. ගිහාන් චතුෂ්ක නම් මෙම දරුවාගේ ශ්‍රවණාබාධය සුව වූ බවට කිසිම වෛද්‍ය වාර්තාවක් නැත.
තම දරුවාට සැත්කමක් කිරීමට සිහිමුර්ජා කිරීමට දරුවාගේ මව වන රංජනී බියවන්නීය.
ඇයට අනුව දරුවා සිහි නැති කිරීමෙන්, දරුවා මියයෑමට වුවද පුළුවන. දරුවාට ඉතා සමීපව සිට මම සාමාන්‍ය ශබ්දයකින් කතා කළද දරුවාට තවමත් කන් නෑසෙන බව මම ඉතා හොඳින් නිරීක්ෂණය කළෙමි. එහෙත් දරුවා සුව වූ බව කියන නිසා එයත් දීගොඩ කුමාරගේ හාස්කම් මල්ලටම බැර වී ඇත.
මරදන්කඩවල ග්‍රාමයේ ජනතාව අතරින් දීගොඩ කුමාර කළ විශ්වකර්ම හාස්කම ලෙස හැඳින්වෙන්නේ අංශභාග තරුණයෙක් නැගිටවීමය.
එහෙත් ඒ තරුණයා හමුවීමට යෑමට මම දැඩි ලෙස ප්‍රයත්න දැරුවද ඒ ඉල්ලීමට කවුරුවත් එකඟ වූයේ නැත. ඇත්තේ රෝද පුටුවක ගිය තරුණයකු නැගී සිටි කතාව පමණය.
කෙතරම් සොයා බැලුවත් එබඳු තරුණයකු නැගිට යනු දුටුවෙක් නැත. සංවිධායක මන්ත්‍රී දන්නේද ඒ ගැන අසන්නට ලැබෙන්නක්ම පමණකි.
වැඩිදුරටත් විමසීමේදී සිදුව ඇත්තේ රෝද පුටුවේ සිටි තරුණයා එක් වරක් නැගිට නැවත වාඩිවූ බව ගමේ කවුරුන් හෝ කී දෙයක් පමණය. දීගොඩ කුමාරගේ හාස්කම් ඔන්න ඕවාය.
අහල පහල දරුවන්ගේ ශරීරවල සිටි යක්ෂ ආත්ම සියල්ල දීගොඩ කුමාර විසින් එළවා ඇති බවත්, හොරොව්පතානේ සුව මෙහෙයට පසුව දරුවන් ඉතා ක්‍රියාශීලීව පසුවන බවත් අසල නිවාස රැසක කාන්තාවෝ කියා සිටියහ.
දරුණු ආකාරයට වකුගඩු රෝගයට ගොදුරුව සිට දීගොඩ පහස ලබා සුව වූ වියපත් ගොවි මහතකු සමග කතා කළෙමි.
‘‘මට ​දොස්තරවරු කිව්වා ලෙඩේ සනීප වෙන්න ගෙවල් A/C කරන්න කියලා. බඩට පැය හතරෙන් හතරට බෙහෙත් දාන්න වෙනවා කිව්වා. ඔය මුකුත් නැතුව මම මේ හොඳට ඉන්නේ’’ යැයි ඔහු කීය.
‘‘කිසිම වකුගඩු රෝගියකුට පැය හතරෙන් හතරට බෙහෙත් දෙන පිළිවෙතක් වෛද්‍ය විද්‍යාවේ නැහැ.
එහෙම බෙහෙත් දෙන්න ක්‍රමේකුත් නැහැ. වෙනත් රෝගයකට ලබාදුන්න වෛද්‍ය උපදෙසක් මේ රෝගියා හිතින් පටලවාගෙන’’ යැයි මේ පිළිබඳව විමසූ විට ​වෛද්‍යවරුන් පැවසූහ.
දීගොඩ කුමාර කියන පරිදි ඔහුට මෙම විශ්වකර්ම බලය දී ඇත්තේ දේව සභාවක් ඉදිරියට පමුණුවාය.
ඒ තැන කුමක්ද කියා තමා නොදන්නා බවත්, පිරිමි දෙවිවරුන් අතරින් සිටි එකම ගැහැනු දෙවි කෙනා කාලි මෑණියෝ බව තමා හඳුනාගත් බවත්, තමාට කරන හොඳක් ලෙස සලකා රෝගීන් සුව කිරීමට දෙවිවරුන් තමාගෙන් ඉල්ලා සිටි බවත් දීගොඩ කුමාර කියයි.
කිහිප අවස්ථාවක්ම දෙවියන් පෙරැත්ත කළ පසු තමාගේ බිරිඳගෙනුත් කැමැත්ත විමසා දෙවියන් සමග සම්මුතියකට එළැඹ මෙම සේවය කරන බවත් දීගොඩ කුමාර කියයි.
තමාගේ විශේෂ ශක්තිය පිට නොකෙරුණොත් එය පපුවේ පිරී පපුව පැලෙන බව දෙවියන් කී නිසා දිනපතාම රෝගීන් සුව කිරීම තම කාර්යභාරය බව හෙතෙම කියයි. තමා තව ආත්ම තුනක් ඉපදී අවසාන ආත්මයේදී පිරිනිවන් පානා බවත්, එම ආදාහන උත්සවය සිදු කරන්නේ මෛත්‍රි බුදුන්ගේ ප්‍රධානත්වයෙන් බවත් දේව සභාවට දැනුම් දුන් බව දීගොඩ කුමාර කියයි.
දීගොඩගේ බිරිඳ දැන් හැඳින්වෙන්නේ ‘සුදු අම්මා’ කියාය. දීගොඩ කුමාරගේ අනන්‍යතාව හෙළි නොකරන සුදු අම්මාගෙන් දීගොඩ කුමාර පිළිබඳ විමසූ විට, ‘‘මමයි, එයයි පවුල් ජීවිතේ ගෙව්වට එයා කියන දේවල් ගැන මම වගකීම භාරගන්නෙ නෑ’’ යැයි ඇය පැවසුවාය.
දීගොඩ කුමාර අන්තර්ජාලය හරහා ලෙඩුන් සුව කිරීම දැන් සිදු කළද ඔහු යම් තැනකට එනවා නම් එහි ඉදිරිපස පළමු අසුන මට වෙන් කර දෙන මෙන් මම, දීගොඩ කුමාරට සහ ඔහුගේ ශ්‍රාවක පිරිසට යෝජනා කර සිටිමි. මන්දයත් පාසල් කාලේ පටන් මම නාට්‍ය නැරඹීමට කැමති ඉදිරිපෙළ අසුන්වල සිට බැවිනි.

උපුටා ගැනීම – අරුණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!