Gossip

“අඬලා දුක තුනී කරගන්න පුළුවන් නම් මහ සාගරේ තරම් මම කඳුළු හෙළනවා, මරණය දක්වාම ඒ දුක මගේ හිතේ තියේවි”

රසික හදවත් සතුටින් පිරවූ මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ නළුවෙකු වූ විජය නන්දසිරි නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත්තා.
මේ වෙන්ව යාමත් විජය නන්දසිරිගේ ආදරණීය මතකයත් සිහිකරමින් ඔහුගේ බිරිඳ දේවිකා මිහිරානි සතිඅන්ත පුවත්පතකට මෙලෙස අදහස් දක්වා තිබුණා.

ජීවිතය දෝලනය වෙන්නේ සතුටයි දුකයි අතර බව ඔබ මේ වන විට වටහාගෙනද ඉන්නේ.?
පුංචිම කා‍ලේ ඉඳලාම ජීවිතය පුරාවට සතුටයි දුකයි අපි අත් විඳිනවා. ඒත් දුක කියන්නේ මොකක්ද කියලා මට හරියටම වැටහුණේ විජයගේ හදිසි අභාවයෙන් පස්සේ.

කොහොමද ඒ දුකට මුහුණ දුන්නේ?
අඬලා දුක තුනී කරගන්න පුළුවන් නම් මහ සාගරේ තරම් මම කඳුළු හෙළනවා. ඒත් අඬලා විජය නැති දුක තුනී කරගන්න බැරි බව මම දැන ගත්තා.
මරණය දක්වාම මගේ හිතින් ඒ දුක මැකී යන්නේ නැති බවත් මම දන්නවා. අනික විජය මගේ ජීවිතයට ඉතිරි කරලා ගිය දුව, පුතා, මිනිබිරී, බෑණා වෙනුවෙන් මා ජීවත් විය යුතුයි. විජයගේ අඩුව ඒ අය වෙනුවෙන් පිරවිය යුතුයි.
එහෙම හිතලා හිත හදාගන්න මම අදටත් උත්සාහ කරනවා. ඉස්සර ඉඳන්ම අපි බුදු දහමට නැඹුරු වූ පවුලක්. අටලෝ දහම මේක නේද කියලා හිත හදා ගන්න මම අදටත් හැම වෙලාවෙම උත්සාහ කරනවා.

ගැහැනියක ලෙස එවන් දුකක් ඔබ අත් වින්දත් දෛවය විසින් වෙනත් නිළියකට ලබා නොදෙන වරප්‍රසාද රැසක් ඔබට ලබා දුන්නා. ඒ ගැන සතුටක් නැද්ද?
අනිවාර්යයෙන්ම සතුටුයි. ශ්‍රී ලංකාවේ පළමු ටෙලිනාට්‍ය නිළිය වෙලා ඉතිහාසයට එකතුවීමට දෛවය මට අවස්ථාව ලබා දුන්නා. හෙට දවසේ අලුත් අලුත් අය එයි.
ඒත් ප්‍රථම ටෙලි නාට්‍යය නිළිය වීමේ වරම උදා වුණේ. දිමුතු මුතු ටෙලි නාට්‍යයේ නන්දා වූ මටයි. මමවත් නොහිතපු වෙලාවක අහම්බෙන් ඒ අවස්ථාව මට හිමි කර දුන් ඩී.බි. නිහාල් සිංහයන්ව මම මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා.

ඔබේ නිළි ජීවිතයේ ස්වර්ණමය යුගයේ විඳි සතුටුදායක මතකයන් යළි සිහිපත් කළොත්?
පළමු නිළිය වුණා වගේ පළමු ටෙලි සම්මාන උළෙ‍ලේ ජනප්‍රිය නිළිය හා හොඳම නිළිය ලෙස සම්මාන මට ලැබුණා. හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා රඟපෑ කළු හා සුදු ටෙලි නාට්‍යයේ ඔහු හා රඟපාන්න අවස්ථාව ලද එකම ටෙලි නිළිය වුණෙත් මමයි. ඒ වගේම විවිධ ක්ෂේත්‍රවල අංක එකට සිටින අය දස දෙනෙකුට සම්මාන දෙන Top ten උළෙලෙහි මටත් සම්මානයක් ලැබුණා.

දේවිකා මිහිරානිගෙ ජීවිතේ වඩාත්ම සතුටු වූ අවස්ථාව මේ අතරින් කුමන අවස්ථාවද?
ඔය එකක්වත් ‍නෙවෙයි විජය නන්දසිරි හා විවාහ වූ දවස.

ඉන්පසු සතුට වූ අවස්ථා මොනවා දැයි ඇසුවොත් මුලින් කී අවස්ථා අතරින් මතකයට එන්නේ කුමන අවස්ථාවද?
ඔය එක අවස්ථාවක්වත් ‍නෙවෙයි. දුව ඉපදුණ දා. පුතා ඉපදුන දා. දියණිය විවාහ වූ දා මිනිබිරී උපන්දා, පුතා ගුවන් නියමුවෙකු වූ දා වැනි අවස්ථා තමයි මතකයට එන්නේ.

තරු කිරුළ අතෑරලා නිවසට කොටු වුණේ වැඩි සතුට තියෙන්නේ පෞද්ගලික ජීවිතය තුළ නිසාද?
ඇත්තටම හේතුව ඒක තමයි. මම රඟපෑමට දෙවැනි තැන දුන්නේ බිරිඳක්, මවක් විදියට ජීවිතයට මුහුණ දෙන්න කැමති නිසා. විජයට කලා ජීවිතය තුළ ඉහළට යන්න හැකි වුණේ මම කරපු ඒ කැප කිරීම හින්දා.

අද ඔබ ජීවිතයේ සතුට සැනසුම අත් විඳින්නේ කොයි විදියටද?
විජයගේ මරණයෙන් පසු කාලයක් දුව මා සමග හිටියා. මේ දවස්වල ඇයයි මිනිබිරියයි ආයෙම ලංකාවට ඇවිත් ඉන්නවා.
දවසම ගෙවෙන්නේ මිනිබිරියගේ කටයුතු වෙනුවෙන්. මගේ නංගිලත් නිතරම යනවා එනවා. අපි නිතරම විජය වෙනුවෙන් පින්කම් කරනවා. ඔය විදියට තමයි අද දවස ගෙවෙන්නේ. ඒ ගෙවී යන හැම දවසකම විජය පිළිබඳ දුක්බර මතකයන් වගේම සතුටු කඳුළුත් අවදි වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!