Gossip

ඔයා රඟපාන්න මම රස්සාවක් කරන්නම් කියූ බිරිඳ ගැන දෙනුවන් කියූ කතාව

දෙනුවන් සේනාධි, ඔහුගේ නම වුවද, මේ දිනවල නම් වැඩිදෙනෙක් අතර ඔහු ජනගතව සිටින්නේ, මයික් නමිනි. සමන් එදිරිමුණිගේ රචනයෙන්, සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ඒවගේම දෙරණ රූපවාහිනිය ගෙන එන දෙවැනි ඉනිම හැඩකරන මේ දෙනුවන් සතිඅන්ත පුවත්පතක් සමග කළ සාකච්ඡාවකුයි මේ.

මයික් කියන්න ද? දෙනුවන් කියන්න ද?
මගේ සැබෑ නම දෙනුවන් කියලාම කියමු නේද?

අපි පොඞ්ඩක් අතීතයට යමු. මිනිස්සු ඔබ හඳුනාගන්නෙ කොහොමද කියලා කිව්වොත්?
වෙළෙඳ දැන්වීම් හරහා තමයි මම මුලින්ම ක්ෂේත්‍රයට ආවේ. නමුත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ චරිතයක් ලෙස වැඩිදෙනෙක් හඳුනාගත්තෙ නිල්නෙතු ටෙලිනාට්‍යය නිසයි. එහි රඟපෑම සඳහා, මට මුලින්ම අවකාශය ලබාදුන්නේ, නැත්නම් මාව ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නේ මහේෂ් රත්සර මද්දුමආරච්චියි මහතායි. ඉන්පසුව සුළඟ නාට්‍යයයේ රඟපෑවා. ඒ එක්කම කිං හන්තර් චිත්‍රපටය වෙතින් ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා මාව සිනමාවට හඳුන්වා දුන්නා. එයින් පසුව ආශා එදිරිසිංහ සහ සඳරුවන් ජයවික්‍රම සුළඟ නාට්‍යයේත්, ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ සවීණා නාට්‍යයේත් රඟපෑමට අවස්ථා ලැබුණා. සවීණා නාට්‍යය මට සදාදරණීය සිහිවටනයක්ම වුණා.

ඒ මොනවගේ හේතුවක් නිසාද?
මට මගේ බිරිඳ හමුවුණේ ඒ නාට්‍යයේ රූගත කිරීම් කළ කාලයේදීයි. අපි දෙන්නගෙ ආදර සබඳතාවය පටන්ගත්තෙ ඒ කාලයේදීයි

ඇයත් එම නාට්‍යයේ රඟපෑව ද?
නැහැ. සවීණා නාට්‍යයේ රූගත කිරීම් සිදුකළේ එයාලගෙ නිවසට අල්ලපු නිවසේයි. හැබැයි ඊට කලින් අපේ පවුල් දෙක අතර දැන හැඳිනීමක් තිබුණා.

ඒ කොහොමද?
මගේ තාත්තා නීතිඥවරයෙක්. එයාගේ තාත්තාත් නීතිඥවරයෙක්. ඒ ඇසුර නිසා අපේ පවුල් දෙකේ දැන හැඳිනීමක් තිබුණා. යාළුකම තමයි පසුව ආදරයකට පෙරළුණේ.

ඇය මොනවද කරන්නෙ?
සහකාර සමාන්‍යාධිකාරීවරියක්.

වෙළඳ දැන්වීම් හරහා ටෙලිනාට්‍යය ක්ෂේත්‍රයටත් ඉන්පසුව චිත්‍රපට ක්ෂේත්‍රයටත් පැමිණි පසු චිත්‍රපට කීපයකම රඟපෑමට අවස්ථා ලැබුණා නේද?
ඇත්තෙන්ම ඔව්, චිත්‍රපට කීපයකම රඟපාන්න ලැබුණා. එහිදී වැඩිහරියක්ම ලැබුණෙ යාළුවාගේ චරිතයයි.

දෙනුවන්ගෙ එතෙක් ආ ගමන වෙනස් වූ තැන කොතැන ද කියලා ඇහුවොත්?
දෙරණ ටී.වී. තමයි ඒ ගමන වෙනස් කළේ. රියැලිටි ෂෝ හරහා මාව නිවේදකයකු බවට පත්කළා. ධනුක ඩිල්ෂාන් සමග එක්ව ප්‍රථම රියැලිටි ෂෝ එක මෙහෙයවූවා. සිටි ඔෆ් ඩාන්ස්. ඉන්පසුව තවත් රියැලිටි කීපයක්ම ලැබුණා. මගේ ගමන වෙනස්වුණේ ඒ විදියටයි.

මේ වනවිට ටෙලිනාට්‍යය ගොන්නක රඟපෑමට ලැබිලා ඇති නේද?
මම අතිශය කාර්යබහුල වෙලා නැහැ, නමුත් දෙවැනි ඉනිම අතිශය ජනප්‍රිය වෙලා. මාව තේරුම් අරගෙන, මට ගැලපෙන හොඳම චරිතයක් ලබාදෙමින් මගේ හැකියාවෙන් උපරිම දෙයක් ලබාගන්න උත්සාහ ගත්ත සාරංග මෙන්ඩිස් මහතාට මගේ ගෞරවය පුදකළ යුතුමයි.

ඔබව ඒ විදියට පත්කළ මයික් ගැන කොහොමද හිතන්නෙ?
මයික් කිසිම දෙයක් ගැන වැඩිය නොසිතන තමන්ගේම ලෝකයක ජීවත්වන, මිතුරන්ට හරිම ලැදි ශිෂ්‍යයෙක්. මේ චරිතයේ ස්වභාවය ලංකාවේ සමාජයේ නැතත්, මේ වගේ චරිතයක් ප්‍රේක්ෂකාගාරය බලාපොරොත්තු වුණා. මම ඒකට බොහෝම සාධාරණයක් කරන්න උත්සාහ ගත්තා. හැබැයි ඒ චරිතය ගොඩ නැගුණේ අධ්‍යක්ෂ සාරංග මෙන්ම රචක සමන් එදිරිමුණි. ඒ වගේම සියලූම නළු නිළි පිරිස සහ තේ එක පවා හදලා දෙන කෙනා නිසයි.

සැබෑවට ඔබ කොහොම කෙනෙක් ද?
මම කොහොමද මොන වගේද කියලා මගේ වටපිටාවේ අය තේරුම් ගනීවි. මට දැනෙන හැඟෙන විදියට මම විනයක් ඇතිව කටයුතු කරන්න කැමති කෙනෙක්. තාත්තා නීතිඥවරයකුවීම, අම්මා ගුරුවරියක වීම සහ පරිසරය නිසා ගෙදරින් මට ඒ සංහිඳියාවේ ආභාෂය ලැබී තිබුණා. අක්කා නිසා තවත් විනය වැඩිවුණා. පිනට දහමට ලැදි, සමාජයට ගරු කරන, ඒ වගේම උපේක්ෂාවෙන් ජීවිතය දිහා බැලීමේ සරල ජීවිතයක් තමයි ගෙවන්නෙ.‍

ඉගෙන ගත්තෙ මොන වගේ අරමුණක් ඇතිව ද? තාත්තා නීතිඥ, අම්මා ගුරුවරියක්. ඔබ ඒ ගැන හිතුවෙ නැද්ද?
මොරටුව වේල්ස්කුමර විදුහල යනු කලාකරුවන් බොහෝ පිරිසක් බිහිකළ තෝතැන්නක්. ඒ නිසා මටත් නිරන්තරයෙන්ම තිබුණෙ අධ්‍යක්ෂවරයකු වීම, වෙළඳ දැන්වීම් නිර්මාණකරණයෙහි යෙදීම වැනි අදහස්. නළුකම ගැන හිතුවෙ ඉන්පසුවයි. ඒ වෙනුවෙන් මහේෂ් රත්සර, ඩිල්ෂාන් අමරසිංහ, සාරංග මෙන්ඩිස්, ලක්ෂ්මන් පුෂ්පකුමාර මට අවංකවම උදව් කළා. හැබැයි ඉතින් නීතිඥවරයකු නොවීමේ කාරණය නිසා අදටත් තාත්තා ඒ ගැන හිතද්දී මා එක්ක සිටින්නෙ අමනාපයෙන් වගෙයි. කොහොම වුණත් මම මේ නියැලෙන්නෙ මම ආසම කරන ක්ෂේත්‍රයේ. ඒ ක්ෂේත්‍රයට ඉතා ඉහළින් ගරු කරනවා. නළුකම ගැන දිනෙන් දින හදාරමින් ගෞරවණීයව යන ගමනක් කිව්වොත් හරි.‍

බිරිඳ කැමති ද ඔබගේ මේ නළුකමට?
මම එයාට හරිම ආදරෙයි. ඒ වගේම ගරුකරනවා. වතාවක් මම එයාගෙන් ඇහුවෙ රස්සාවක් කරන්න ද කියලයි. එතකොට ඇය රැකියාවක් කළේ නැහැ. හැබැයි එයා කිව්වෙ ඔයා රඟපාන්න මම රස්සාවක් කරන්නම් කියලයි. ඇය සතු අවබෝධය වගේම මා කෙරෙහි ඇති විශ්වාසනීය බව තවදුරටත් ඇය මාව ශක්තිමත් කළා. එදා ඉඳලා අද දක්වාම මට මගේ අම්මා මේ නළුකමට උදව් කළා. උගත් චරිතයක් හැටියට අද මට මගේ බිරිඳ ලබාදෙන සහයෝගය හරිම ඉහළයි. අද මට මිනිස්සු මගේ රඟපෑම් දිහා බලලා ඔයා දක්ෂයා කියද්දී දැනෙන සතුට අපමණයි. එහි ගෞරවය මගේ පවුලේ සියලූදෙනාට වගේම මගේ බිරිඳටත් හිමිවිය යුතුමයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!