Gossip

දෙහිවල දුම්රිය අනතුරේ දුම්රිය රියදුරු කියන ඇත්ත කතාව මෙන්න

 

cover-12

“එක්‌ තරුණියක්‌ යමක්‌ දැක සතුටින් ඉතා වේගයෙන් දුම්රිය මාර්ගය හරහා දුවගෙන යන විලාසයක්‌ තමයි මා දුටුවේ. එතකොට අඩි 12 ක පමණ පරතරයක්‌ ඇති. ඒ වෙලාවේ මම එක්‌ තරුණියක්‌ පමණයි දුටුවේ. ඒ සමඟම ඇය කෝච්චියට වදින ශබ්දය ඇසුණා…” යෑයි දුම්රිය රියෑදුරු වන මල්වත්තගේ විමල් පීරිස්‌ (50) යන අය සාක්‍ෂි දෙමින් පැවසීය.

දෙහිවල, වාසල පාර අසල දුම්රිය මාර්ගයේදී අපොස උසස්‌ පෙළ සිසුවියන් දෙදෙනකු දුම්රියකට හැපී මරුමුවට පත්වීම සම්බන්ධයෙන් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් උසාවියේ පැවැති වැඩිදුර සාක්‍ෂි විභාගයේදී එම දුම්රිය රියෑදුරා සාක්‍ෂි දෙමින් එසේ කියා සිටියේය.

පසුගිය 25 වැනිදා රාත්‍රි සිදුවූ මෙම අවාසනාවන්ත අනතුරින් මියගොස්‌ තිබුණේ කැලණිය, සිංහාරමුල්ල පදිංචිව සිටි ඉමේෂි යසාරා පෙරේරා (18) සහ වැල්ලවත්ත, ඩබ්. ඒ. සිල්වා මාවතේ පදිංචිව සිටි ශැරෝන් වෙරෝනිකා ස්‌ක්‌වෙලින් (18) යන දෙදෙනා වෙති.

මේ සම්බන්ධ වැඩිදුර මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්‍ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා හමුවේ පැවැති අතර, එහිදී වැඩිදුරටත් සාක්‍ෂි දුන් සාක්‍ෂිකරු මෙසේද කීය.

“මා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය රියෑදුරකු වශයෙන් සේවය කරනවා. මගේ සේවා පළපුරුද්ද අවුරුදු 15 ක්‌ පමණ වෙනවා. ලංකාව පුරාම මා දුම්රියවල සේවය කර තිබෙනවා. 2016-04-25 වැනිදා දුම්රිය අංක 777 හී සේවය කළා. මට දුම්රිය ධාවනය කිරීමට තිබුණේ කොළඹ කොටුවේ සිට දකුණු කළුතර දක්‌වායි. මා කොළඹ කොටුවෙන් රාත්‍රි 7.13 ට පමණ පිටත් වුණා. වැල්ලවත්ත දුම්රිය ස්‌ථානයේ නවත්වා එහි සිට පිටත් වුණා. පැරකුඩා හෝටලය අසලදී තමයි මේ සිද්ධිය වුණේ. මම සාමාන්‍යයෙන් නලාව ශබ්ද කරගෙනයි ආවේ. මා දැක්‌කා දුම්රියේ වීදුරුවට පහළින් කෙනෙකු වේගයෙන් දුම්රිය මාර්ගය හරහා දුවගෙන එනවා. යමක්‌ දැක සතුටින් ඉතා වේගයෙන් එන විලාසයක්‌ තමයි මා දුටුවේ. මම දැක්‌කේ අඩි 12 ක්‌ පමණ ළඟින්. ඒ නිසා එක්‌කෙනයි මා දුටුවේ. මට ඇය කෝච්චියට වදින ශබ්දය ඇසුණා. ඉන් පසුව මම කෝච්චිය නවත්වා බැස බැලුවා. දුම්රිය නැවැත් වූ තැනින් තවත් මීටර් 25 ක්‌ පසුපසින් දේහයන් දෙකක්‌ හමුවුණා. ඒ දෙන්නාටම බරපතළ තුවාල සිදුවී තිබුණා. මට විශ්වාසයි එම දෙදෙනාම මා පැදවූ දුම්රියේ හැපී මියගිය බව. මෙය දිවි නසා ගැනීමක්‌ නොවේ. මෙය අපරික්‍ෂාකාරී ලෙස දුම්රිය මාර්ගය හරහා වේගයෙන් දිවයැම නිසා සිදුවූ දෙයක්‌.

මා දැක්‌කා එම තරුණිය ඉතා සතුටින් දිව ආ බව. ඔවුන් සැලකිලිමත් වූවා නම් මේ දේ වෙන්නේ නැහැ.

මෙම දුම්රිය අනතුරින් මියගිය ඉමේෂි යසාරාගේ පෙම්වතා වන ජයසිංහ ආරච්චිගේ සාමික හංසජිත් (19) යන අය දෙහිවල පොලිසියට ලබාදුන් කටඋත්තරය සාක්‍ෂි මෙහෙයවීම සඳහා පැමිණි පොලිස්‌ කොස්‌තාපල් සුගත් මහතා (51521) විසින් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්‍ෂක කොටුගොඩ මහතාට ඉදිරිපත් කළේය.

සාමිකගේ එම කටඋත්තරයේ මෙසේ සඳහන් වේ.

“මට අවුරුදු 19 ක්‌ පිරීම නිසා උපන් දින පාටියක්‌ සංවිධානය කළා. එය දෙහිවල පැරකුඩා හෝටලයේ මා සංවිධානය කරලා තිබුණේ. මම ඒ සඳහා එන ලෙසට යාළුවන්ට ආරාධනා කරලා තිබුණා. 25 වැනිදා රාත්‍රි 7.30 ට තමයි පාටිය පටන් ගන්න තිබුණේ. හවස කෝච්චියට හැපුණු ගැහැනු ළමයි දෙන්නත් මගේ පාටියට සහභාගි වීමට සිටියේ. මේ මියගිය ගැහැනු ළමයින් දෙන්නගෙන් එක්‌ කෙනෙක්‌ වන ඉමේෂි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. මා එයත් එක්‌ක තමයි යාළුවෙලා ඉන්නේ. අනිත් එක්‌කෙනා මගේ යාළුවා. මම දන්නේ නැහැ මෙයාලා දෙන්නා කොච්චියට වැදිලා කියලා. එතන කෝච්චියක්‌ නවත්තලා තියෙනවා දැක්‌කා. මිනිසුන් වටවෙලා ඉන්නකොට අපි ගිහින් බැලුවා. මට හරියට එක පාරටම අඳුරගන්න බැරිවුණා. පස්‌සෙ තමයි මා දන්නේ මගේ ගෑනු ළමයයි මගේ යාළුවයි කෝච්චියට හැපිලා තියෙන්නේ කියලා. මගේ ගෑනු ළමයා පාසල් ගියේ බම්බලපිටිය හෝලිෆැමිලි ඉස්‌කෝලෙට. ඇය මේ අවුරුද්දේ ඒලෙවල් විභාගය ලියන්න හිටියේ. අපේ ගෙදරින් දන්නවා අද පාටි එකක්‌ තියෙනවා කියලා. නමුත් යාළුවන් දෙන්නාගේ ගෙවල්වලින් දන්නවද කියලා නම් මම දන්නේ නැහැ. මම හිතන විදියට මේ දෙන්නා ගෙවල්වලට කියලා තමයි එන්න ඇත්තේ. “අපි මේ අනතුර සිදුවූ තැන ඉන්නකොට තමයි මේ මියගිය ගෑනු ළමයි දෙන්නාගේ මළ කඳන් දෙක කෝච්චියට දාගෙන දෙහිවල දුම්රිය ස්‌ථානයට රැගෙන ආවේ. මට හිතාගන්න අමාරුයි එක පාරටම මොකද වුණේ කියලා.

එසේම මෙම අනතුරින් මියගිය ශැරෝන් සිසුවියගේ මිතුරකු වන පීටර් ඉයන් බොස්‌කෝ (19) යන අය පොලිසියට ලබාදුන් කටඋත්තරයද පොලිසිය විසින් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්‍ෂකවරයා වෙත භාරදුන්නේය. එම කටඋත්තරයේ මෙසේ සඳහන් වේ.

“මගේ යාළුවා වන සාමිකගේ උපන් දින පාටිය පැරකුඩා හෝටලයේ පැවැත්වීමට සූදානම් කරලා තිබුණා. එම පාටියට තමයි මාත් ආවේ. මා ඉස්‌කෝලේ යන්නේ බම්බලපිටිය සෙන් පීටර්ස්‌ විදුහලට. මාත් මේ අවුරුද්දේ ඒලෙවල් විභාගය කරන්න ඉන්නේ. කෝච්චියට හැප්පිලා මියගිය ශැරෝන් හා ඉමේෂි යන දෙන්නා මගේ යාළුවෝ. මම මේ පාටියට යනවා කියලා අපේ තාත්තයි, අම්මයි දෙන්නම දන්නවා. මියගිය මේ දෙන්නා ගෙවල්වලට කියල ආවද කියලා මම දන්නේ නැහැ. දෙන්නම මේ අවුරුද්දේ අපොස උසස්‌ පෙළ විභාගය ලියන්න හිටියේ.

මගේ යාළුවා සාමික මීට සති දෙකකට උඩදී තමයි මේ පාටිය ඕගනයිස්‌ කරලා තිබුණේ. මේ මියගිය යාළුවෝ දෙන්නත් ආවේ පැරකුඩා හොටලයේ පැවැත්වෙන බර්ත්ඩේ පාටියට. මම දැක්‌කේ නැහැ මේ දෙන්නා කෝච්චියට වදිනවා. පස්‌සේ ගොඩක්‌ කට්‌ටිය වටවෙලා ඉන්නවා දැක්‌කා. මම එතැනට ගියා. එතකොට තමයි මම දන්නේ කෝච්චියට හැපිලා තියෙන්නේ මේ දෙන්නා කියලා. මේ මියගිය යාළුවෝ දෙන්නා ආවේ මගේ කාර් එකේ. මේ දෙන්නව කාර් එකෙන් බස්‌සවලා මම කාර් එක පාක්‌ කරලා එන්න ගියා. එතකොට තමයි මේ දෙන්නා රේල් පාරෙන් පාර මාරුවෙන්න ගිහින් හැපිලා තියෙන්නේ.

කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන් වන සම්පත් සේනාතුංග සහ එස්‌. රවිදරන් යන මහත්වරුන් විසින් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත් වූ අතර, ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්‍ෂක කොටුගොඩ මහතා මෙම මරණ දුම්රිය මාර්ගය හරහා දිවයැම නිසා ධාවනය වන දුම්රියක ගැටීමෙන් හිසට, පපු පෙදෙසට සහ උදර ප්‍රදේශයට සිදුවූ විවිධ බරපතළ තුවාල හේතුවෙන් වූවක්‌ බවත්, මෙය හදිසි අනතුරක්‌ බවත් නිගමනය කළේය.

දෙහිවල පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල් සුගත් මහතා (51521) මෙහිදී සාක්‍ෂි මෙහෙයවීය.

උපුටා ගැනීම දිවයින

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!