Gossip

“මේ වගේ දේවල්වලට මුහුණ දෙද්දී මට මේ හැම දේකින්ම ඈත්වෙලා ගොවිතැන් කරන්න හිතෙන එක පුදුමයක්ද?” වේදිකාවෙන් සමුගන්න කතාව ගැන දමිත් අසංක හෙළි කරයි

දමිත් අසංක කියන්නේ අද වන විට ප්‍රසංග වේදිකාවේ ඉහළම ඉල්ලුමක් තිබෙන ගායන ශිල්පියෙක්.
මෑත කාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ චරිතයක් වන දමිත්, ප්‍රසංග වේදිකාවෙන් සදහටම සමුගෙන ඇති බවට රාවයක් මේ දිනවල පැතිර යනවා.
මෙහි ඇත්ත නැත්ත ගැන දමිත් සතිඅන්ත පුවත්පතකට කිව්වේ මේ වගේ කතාවක්.

ඔබ ප්‍රසංග වේදිකාවෙන් සමුගත්තා කියන කතාව ඇත්තක්ද?
මා ගැන ඒ විදිහේ ප්‍රචාරයක් පැතිරෙනවා මම දැක්කා. හැබැයි මම තවම ඒ වගේ තීරණයක් අරගෙන නැහැ.
ඒ නිසා වැරදීමකින් හරි කිසියම් සම්මුඛ සාකච්ඡාවකදී එවැනි අදහසක් මගේ කටින් පිටවුණා නම් ඒ ගැන කලබල වෙන්න එපා කියලයි මගේ රසික රසිකාවියන් වෙනුවෙන් මට කියන්න තියෙන්නේ. මොකද ඔය කතාව බොරුවක්.

ඒ කියන්නේ ඉදිරියටත් දමිත්ව ප්‍රසංග වේදිකාවේදී දැකගන්නට ලැබේවි නේද?
මෙහෙමයි, ඉදිරි කාලයේදී මගේ සංගීත ජීවිතයේ යම්කිසි වෙනසක් සිදුවේවි.
මම ඉදිරියේදී එළිමහන් ප්‍රසංගවලින් ‍පොඩි විවේකයක් ලබාගෙන ගෘහස්ථ ප්‍රසංගවලට වැඩිපුර සහභාගි වෙන්නයි හිතාගෙන ඉන්නේ.
මේ නිසා රසික රසිකාවියන්ට නටන්න පුළුවන් ගීත වෙනුවට වේග රිද්මයේ නොවන, සරල ගීත මගේ හඩින් ඉදිරි කාලයේදී වැඩිපුර අසන්නට ලැබෙයි.

ළඟදී එළිමහන් ප්‍රසංගවලට සහභාගි වුණේම නැද්ද?
ආරාධනා නම් හුඟක් ලැබිලා තිබුණා. හැබැයි රටේ තිබුණු කලබලකාරී තත්ත්වය නිසා ඒ හැම ප්‍රසංගයක්ම වගේ අවලංගු වුණා.

ඔබ ප්‍රසංග වේදිකාවෙන් සමුගන්නවා කියලා දැනගත්තාම රසික රසිකාවියන්ගෙන් ඔබට විවිධාකාරයේ ප්‍රතිචාර ලැබෙන්න ඇති නේද?
ඇත්ත. මම ප්‍රසංග වේදිකාවට පය තියලා අවුරුදු පහළොවක් වෙනවා.
ඒ අවුරුදු පහළොවට කිහිපවතාවක්ම මට හිතුනා ප්‍රසංග වේදිකාවෙන් සමුගන්න ඕනෑ කියලා.
නමුත් ඒ එක අවස්ථාවකවත් මා අවට ඉන්නා අය මට ඒ ගැන තනි තීරණයක් ගන්න ඉඩ දුන්නේ නැහැ.
අදටත් මම ප්‍රසංග වේදිකාවෙන් සමුගන්න තීරණය කළොත් මම ගෙදර නිදාගෙන ඉද්දී හරි මාව ප්‍රසංගවලට උස්සාගෙන යන විදිහේ යාළුවෝ ටිකක් තමයි මට ඉන්නේ.

ඔබට විටින් විට ප්‍රසංග වේදිකාවෙන් සමුගන්න හිතුණේ මොන වගේ හේතු නිසාද?
ඒ හේතු අදටත් ඒ විදිහටම තියෙනවා. ගායකයෙක් විදිහට මම ප්‍රසංගවලට සහභාගි වෙනවා තමයි, හැබැයි ඒකට හරියන වටිනාකමක් මට ලැබෙන්නේ නැහැ. මගේ රසික රසිකාවියන් ඉදිරියේ මම විශේෂ චරිතයක්. හැබැයි මට ලැබෙන ආදායමෙන් ඒ රසික රසිකාවියන්ගේ බලා‍පොරොත්තු වෙන විදිහට මට ජීවත් වෙන්න බැහැ. ඇත්තම කීවොත් බොහොම හිඟන තත්ත්වයකට වැටිලයි මම අද ජීවත් වෙන්නේ.

ඔබ එළිමහන් ප්‍රසංග වේදිකාවේ වැඩිම ඉල්ලුමක් තිබෙන, ඒ වගේම ඉහළ ගෙවීමක් ලබන ගායකයෙක්. ඉතින් ඔබ ඇයි අද ඔය විදිහේ අසරණ තත්ත්වයකට වැටිලා ඉන්නෙ?
මම සල්ලි පස්සේ දුවපු කෙනෙක් ‍නෙවෙයි. ලංකාවේ ප්‍රසංගයකින් මට උපරිම ලැබිලා තියෙන්නේ රුපියල් හැත්තෑපන්දාහයි.
හැමදාම ලැබිලා තියෙන්නේ ඊට වඩා අඩු ගෙවීමක්. එක්කෝ රුපියල් දහදාහක් ලැබෙනවා.
නැත්නම් පහළොස්දාහක් ලැබෙනවා. බොහෝදෙනා විශ්වාස කරන එකකුත් නැහැ හුඟක් ප්‍රසංග තියෙනවා මට සතයක්වත් නොලැබුණු. මේවා ගැන මිනිස්සු දන්නේ නැහැ.

ඔබ ප්‍රසංග වේදිකාවෙන් පමණක් යැපෙන ගායකයෙක් ‍නෙවෙයි. ඔබේ කැසට් සහ සංයුක්ත තැටි පවා වාර්තාගත විදිහට අලෙවි වුණා නේද?
මම ඒ ගැන උදාහරණයක් කියන්නම්කෝ. නිල්වලා කැසට් ආයතනයේ අධිපතිතුමා කියලා තිබුණා එච්.ආර්. ජෝතිපාල මහතාගෙන් පස්සේ වැඩිම කැසට් විකුණුනේ මගෙයි කියලා.
හැබැයි 2005දී කැසට් එකක් කළාම මට ලැබුණේ රුපියල් විසිපන්දාහයි.
එතනින් පස්සේ මම ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා. හැබැයි එහෙම වුණා කියලා යහමින් මුදල් හම්බකරගත්තේ මම ‍නෙවෙයි.
අදටත් මගේ ගීත යූටියුබ් චැනල්වලට දාලා සමහරු ලක්ෂ ගණනින් මුදල් උපයනවා. මම මගේ කොණ්ඩය කපන්න ඕන මොන කට් එකටද කියලත් සමහරු මට උපදෙස් දෙනවා.
නමුත් ඒ ජනප්‍රියත්වය හැටියට මට වියදම් කරන්න මුදල් නැහැ කියන එක හුඟක් අය දන්නේ නැහැ. ඒක දන්නා අය කියනවා අයියෝ දමිත් අයියා ඔයාට හරියට ගෙයක් දොරක් නැහැ. වාහනයක් නැහැ. ඇඳුමක් පැලඳුමක් නැහැ. නිකං හිඟන්නෙක් වගේනේ ඔයා ජීවත් වෙන්නේ කියලා.
ඉතින් මේ වගේ දේවල්වලට මුහුණ දෙද්දී මට මේ හැම දේකින්ම ඈත්වෙලා ගොවිතැන් කරන්න හිතෙන එක පුදුමයක් නමෛයිද?

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!