Gossip

ලංකාවේ ලොකුම තෙල් කරවලාට ලොකු ලෙඩක් –සුව කරන්න මහජන සහය පතයි!

දැනට වසර ගණනාවකට පෙර සිට කොළඹ විශ්වවිද්‍යයාලයේ වෛද්‍ය පර්යේෂණ සඳහා ශ්‍රී ලංකාවේ උග්‍රතම විෂ සහිත සර්ප විශේෂය වන තෙල් කරවලා/ මඟ මරුවාගේ විෂ සාම්පල ලබා දෙන්නේ මේ මාගේ දැවැන්ත සුමිතුරාය. ශ්‍රී ලංකාව තුල දැනට වෙසෙන ගෘහස්තව ඇතිදැඩි කරන වාර්තාගත විශාලතම තෙල් කරවලුන් කිහිපදෙනාගෙන් එක් අයෙකු වන මොහු බොහෝ විට විශාලතමයා වීමේ ඉඩකඩ වැඩිය.

වෛද්‍ය පීඨ පර්යේෂණාගාරය වෙත ගිය අවසන් දිනයේ මා හට දැකගන්නට ලැබුණේ අපගේ දැවැන්තයාගේ පසු ප්‍රදේශයේ යම් අස්වාභාවික ඉදිමීමක් හටගෙන ඇති බවයි. ඒ අනුව එයට වහා ප්‍රතිකාර කල යුතු බව තීරණය කල මා ඔහුව පෙරේදා දින පේරාදෙණිය පශු වෛද්‍ය ශික්ෂණ රෝහල වෙත රැගෙන ආවෙමි. (කොළඹ වෛද්‍ය පීඨයේ මෙවන් සතුන් හට ප්‍රතිකාර කිරීම පිළිබඳව දැනුවත් මානව සම්පත් හෝ පහසුකම් නැත.) පේරාදෙණිය විශ්ව විද්‍යයාලීය පශු වෛද්‍ය පීඨයේ පීඨාධිපති ආචාර්ය අශෝක දංගොල්ල මහතාගේද අනුදැනුම සහ උපදෙස් සහිතව අප තෙල් කරවලාගේ රෝග විනිශ්චය සඳහා අවශ්‍ය මුලික පරීක්ෂණ සිදු කෙරිණ.

ඒ අනුව අපගේ රෝගියා x- කිරණ පරීක්ෂාවකට සහ ස්කෑන් පරීක්ෂණයකට ලක් කල අතර ඉදිරි පර්යේෂණ සඳහා එම හට ගෙන ඇති ගෙඩියෙහි අන්තර්ගත ද්‍රව්‍ය සහ රුධිර සාම්පල ලබාගැනීමක්ද සිදු කෙරිණ. දැනට පිළිකාවක් බවට සැක කෙරෙන එම ගෙඩිය පිළිබඳව පේරාදෙණිය පශු වෛද්‍ය ශික්ෂණ රෝහලේ පරීක්ෂණ කිහිපයක් සිදු වෙමින් පවතින අතර මූලික ප්‍රතිකාර දැනට මා ලබාදීම ඇරඹුවෙමි.

අපගේ හිත මිත්‍ර තෙල් කරවලාගේ ජම්බාලියට මඳක් පූර්ව පෙදෙසට වන්නට හටගෙන ඇති මෙම ගෙඩිය ගැන “විශේෂයෙන්” සොයා බලා කටයුතු කරන්නට ඒ පිළිබඳව අත්දැකීම් ඇති කව්රුන් හෝ පිලිබඳ දන්නේ නම් දන්වන ලෙස මා ඉල්ලා සිටින අතර මෙවන් රෝග අවස්ථා පිලිබඳ අත්දැකීම් ඇති පශු වෛද්‍ය වරයෙකු, සිංහල වෙදැදුරෙකු හෝ යම් විශේෂඥ දැනුමැත්තෙකු වේ නම් ඉදිරිපත් වන ලෙස මා ඉතා කාරුණිකව ආයාචනා කරමි. (මාගේ දුරකථන අංකය- 0715573137) එමෙන්ම එය මේ මොහොතේ ඉතා අත්‍යාවශ්‍ය වැදගත් සේවාවක් බවද කිව යුතුය. අවශ්‍ය වියදම් දැරීම කෙසේ හෝ මා ඉටු කරමි.

මෙම උපකාරය මා සද්භාවයෙන් ඉල්ලා සිටින්නේ මනස උසස් වූ මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිසුන් ගෙන් විනා මනුෂ්‍ය ශරීර ලැබූ මනස පහත් තිරිසන් කොටසකින් නොවන බැවින් මෙම පලකිරීම යටතේ කිසිදු ආකාරයක පහත් පෙලේ පරිකථන නොලියන මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිමි. මෙතරම් වෛද්‍ය විද්‍යාව සහ තාක්ෂණය දියුණු යුගයක මෙවන් සුවිශේෂී සත්වයෙකුගේ ජීවිතය රැක දීමට නොහැකි වේ නම් අප ලැබූ දියුණුව කුමටද..!

අසරණ වූ සතා දෙස එක බැල්මක් වත් නොහෙලාම සර්පයින් භාර නොගන්නා බව පවසා ඔවුන් බේරා ගන්නට වෑයම් කරන සොඳුරු හදවත් සහිත මිනිසුන් අධෛර්යමත් කරන උගත් වෙද “මහත්වරුන්” අතරේ.. එදා මා පාසල් අවධියේ පටන් එක දුරකථන ඇමතුමට උදව් කරන මෙන්ම සත්වයා වෙනුවෙන් ස්තුති කරන පේරාදෙණිය විශ්වවිද්‍යයාලීය පශු වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය අශෝක දංගොල්ල මැතිඳුනි ඔබ අර “මහත්වරුන්” අතරේ සැබෑ “මනුෂ්‍යයෙකු” බව මා අමුතුවෙන් කිව යුතු..!

නුඹේ කඳුළු නොගලන දෑස් මත්තේ- මගේ කඳුළුයි අද දිනයෙම ගලා ගියේ
පිළිකාව නොව නුඹේ මා හැඩේව්වේ- මුහුණට අත පොවමින් විහිළු කරද්දී වත්
කිසිදිනක තරහින් කිපී නැති උඹේ- අති උග්‍ර විෂ දලයි මා හද හැඩේව්වේ..!
ඡායාරූප- චරිත් සේනාධීර විසිනි ( පේරාදෙණිය පශු වෛද්‍ය ශික්ෂණ රෝහල- 2017 මැයි 16 )
සටහන- එච්. කේ. දුෂාන්ත කණ්ඩම්බි. ( 0715573137 )

(කොළඹ විශ්ව විද්‍යයාලීය වෛද්‍ය පීඨ සර්ප විෂ පර්යේෂණායතනයේ තාවකාලික විෂ නිස්සාරක සහ සර්පාගාර පාලක.)

1 2 3 4 5 7

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!