මේ දවස්වල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශණය ගැන ගොඩ දෙනෙකුගේ අවධානය යොමුවෙලා තියෙනවා. ඉතින් ඔය අතරේ පොත්ගන්න ගියපු අයගේ සෙල්ෆි වගේම හරිම ආදරබර කතාත් අහන්න දකින්න ලැබෙනවා.
මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. චාමර උදිත කියලා කෙනෙක් තමයි ඒ කතාව මුහුණු පොතට එකතු කරලා තිබුණේ. ”මගේ අනාගත බිරිඳගේ දැනගැනීම පිණිස” කියලා තිබ්බ මේ සටහනේ අපූර්වත්වය නිසාම ඒ ගැන ඔබට කියන්න අපි හිතුවා……
අද බණ්ඩාරනායක සම්මන්ත්‍රණය ශාලාවෙ රුසියාව ප්‍රකාශන පොත් හලේ ඉන්දැද්දි මගේ දෙනෙතට හසුවුණ බොහොම ආදරණීය සිදුවීමක්… රුවැති ළදක්, ඇයගේ ස්වාමි පුරුෂයා සහ සිගිත්තා කැටුව අලෙවිසලට ගොඩ වැදුණා. ඇයගේ උරෙහි විශාල බෑගයක්. දරුපැටියා මොහොතකට ස්වාමියාට භාරදුන් ඇය පොත් තෝරන්න පටන් ගත්ත.
මොන වගේ පොතක්ද බැලුවෙ?
ම්.. උණු හිම වගේ..
රාත්‍රිය ලස්සනයි.
ඇය රාත්‍රිය කෘතිය අතට ගත්ත.
ජමිලා..? ඒක ගුරු ගීතය වගේ.
හ්ම්.. මම කියවල තියෙනව.
සුදු නැව..
නෑ.
අනර්හායි සුන්දර කත.. හතලිස් එක්වැන්නා, පෙරලූ නැවුම් පස, වානේ පන්නරය ලැබූ හැටි වගේ පොත් එකින් එක ඇයගෙ තුරුළට වැදුණා.
සැබෑ මිනිසෙකුගේ කතාව?
ඒකත් ඕනි.
රුසියන් පොත් ලස්සනයි. ඒ ලස්සන දැනෙන්න පොත් කියවන්න ඕනි එකින් එක පිළිවෙලට. එක පාරටම අම්මා කියෙවුවොත් ගෝර්කිත් එපා වෙනව. රුසියාවත් එපා වෙනව.
හ්ම්…
ලස්සන වසිලිස්සා?
අනේ මම ආසම පොත.
වැඩ බැරි දාස?
ඊට කලින් කියෙවුවෙ.
දැන් ඇයගේ පොත් මිටිය ගොඩක් ලොකුයි. ඇය පොතක් ගන්න හැම වරෙකම ස්වාමියාගේ මුහුණ දෙස ආදරය පිරි දෙනෙතින් බැලුවෙ තව ගත්තට කමක් නැද්ද කියල අහන්න වගේ කියල මට හිතුණ.ඒ හැම මොහොතකම දරුවා සමග පසෙක වාඩිගෙන සිටි ඔහු හිනැහෙමින් ඇයට දිරි දුන්නා. අඩ පැයක් ගත වෙනකොට ඇයගේ පොත් එකතුව පනහකට කිට්ටුයි. අයිත්මාතව්ගෙ පොත් ම දහයකට වැඩියි. අර ස්වාමියා බොහෝම ආදරයෙන් පොත් තෝරන තමුන්ගෙ බිරින්දෑ දිහා බලා හිටියා.
අන්තිමේ ඔහු දරුපැටියා වඩාගෙනම ඇවිත් රුපියල් විසිදාහකට කිට්ටු බිල ගෙවුවෙ හරිම ආසාවෙන් කියල මට හැගුණා. නෝනා පොතක් දෙකක් ගත්තම තමුසෙ ඕව කියවනවද කියල අහන පිරිමිත් මම බලාගෙන. එහෙම බලනකොට ඔය ආදරේ හරිම වටිනව මහත්තයෝ …
කියවන බිරිදක් ලබන්න ඇත්තටම පින් කරන්න ඕනි. එහෙම නොකරොත් ලැබෙන්නෙ “කියෝන බිරිදක්”. මගේ අනාගත බිරිදගේ දැනගැනීම පිණිස යි.