Gossip

අවුරුද්දක් විතර ඇයගෙ ආදරය ලබා ගන්න ඉවසා ගෙන ඉන්න සිද්ධ වුණා – දුෂ්මන්ත චමීර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගෙ මංගල උත්සව අවස්ථාවෙන් පසුව තවත් ක්‍රීඩකයෙක් විවාහ දිවියට ඇතුළත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත් චමීර තමයි ඒ විදියට නොබෝදා යුග දිවි ගමන් ඇරඹුවේ. දුෂ්මන්ත් චමීර විවාහ වුණේ දීර්ඝ ප්‍රේම කතාවක ප්‍රතිඵලයක් ලෙසයි. ඇය නමින් සුලෝචනා දිල්රුක්ෂිය. මේ ඔවුන් සතිඅන්ත පුවත්පතක් සමග කළ සාකච්ඡාවයි මේ.

දුෂ්මන්ත් කොහොමද ජීවිතේ.
සුන්දරයි.

ඇයි මෙච්චර ඉක්මණටම විවාහ වෙන්න හිතුවේ.
ඉක්මන් කමක්ම නෙවෙයි. අවුරුදු 25 වෙද්දී විවාහ වෙන්න ඕනෑය කියන අදහසේ හිටියේ. ඒ හැරත් අපි දෙන්නගේ ප්‍රේම කතාවට අවුරුදු පහකටත් වඩා වැඩියි.

ඒ කිව්වේ?
පාසල් කාලයේදී දැන හඳුනා ගත්තෙ. ඉන්පසුව එය ප්‍රේමයකට පෙරළුණා.

ඒ ප්‍රේම කතාව ගැන කිව්වොත්.
අපි දෙන්නම හිටියෙ මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ සිසුන් ලෙසයි. පාසල් යන කාලයේදී ප්‍රේම කරන්න බැහැනෙ. අධ්‍යාපනයට තමයි ප්‍රේම කරන්න ඕනෑ. නමුත් එදා අපි අතර දැන හැදිනීමක් තිබුණා. පසු කාලයක එයාගෙන් ඇහුවාම කැමති වුණේ නැහැ. පසුව මම උසස් පෙළට මාරිස්ටෙලා ගියා. ඉන් පස්සේ ඇයව හමුවුණේ නැහැ. පසු කාලීනව ආයෙත් මම දැක්කෙ ෆේස්බුක් එකෙන්. නැවතත් පරණ මිතුදම අලුත් වුණා. අවුරුද්දක් විතර ඇයගෙ ආදරය ලබා ගන්න ඉවසා ගෙන ඉන්න සිද්ධ වුණා.

ඒ ප්‍රථම ප්‍රේමයද?
ප්‍රථම ප්‍රේමයයි.

ඇයි දුෂ්මන්ත් ඇයට විශේෂයෙන් කැමති වුණේ?
මට ගොඩාක් ආදරෙයි. මා ගැන සොයලා බලනවා. ගතිගුණ හරි හොඳයි. ක්‍රීඩකයකු ලෙස මගේ කරන කියන දේට සහයෝගය දෙන කෙනෙක් තමයි මම බලාපොරොත්තු වුණේ. ඒ වගේ කෙනෙක් ලැබීම ඇත්තටම වාසනාවක්.

මොන නමින්ද ඔබ බිරිඳව අමතන්නේ?
ආදරේ වැඩි නිසා නම් කිපයක්ම කියනවා.

සුලෝචනා ඇයි ඔබට දුෂ්මන්තට හිත ගියේ?
හේතුව කියන්න දන්නෙ නැහැ. එයා මට වඩා එක අවුරුද්දක් ඉහළ පංතියක හිටියෙ. ඒ කාලයේ ඇත්තට කිව්වොත් ආදරේ ප්‍රකාශ නොකළත් මම යන යන තැනදී එයාව දකින්ට ලැබුණා. මට තේරුණා මගේ පස්සෙන් එන බව.

එතකොට ක්‍රිකට් ක්‍රීඩකයෙක්ද?
පාසලේදී වේග පන්දු යවන්නෙක් කියලා අහලා තිබුණා. ඒත් එයා ක්‍රිකටර් කෙනෙක් කියලා විශේෂයෙන් දැනගෙන හිටියෙ නැහැ. ආ අන්න ඔයාගෙ ෆාස්ට් බෝලර් එනවා කියලා යාළුවෝ විහිළු කරලා තියෙනවා. මම ඇත්තටම ආදරේ කළේ එයාගෙ ක්‍රිකට්වලට නෙවෙයි. එයා හරි අහිංසක ගොඩාක් හොඳ මට ගොඩක්ම ආදරේ කෙනෙක්. පිටරටක හිටියත් මගේ ඉරියව්වක වෙනස පවා එයාට දැනෙනවා. මම ඒකට හරි ආසයි. එයා එක්ක යාළු වුණාට පස්සේ තමයි ක්‍රිකට් මැච් බලන්න ගියේ. එතකල් මැච් බලන්න ගිහින් තිබුණෙ නැහැ.

මොන වගේ අරමුණක්ද සුලෝචනාට තිබුණේ?
සරසවි යාම මාගේ එකම අරමුණ වුණා. පසුව සරසවියට තේරුණත්, නොගිහින් රැකියාවකට ගියා.

දැනුත් රැකියාවක් කරනවද?
විවාහයෙන් පසුව නැවතුණා.

දුෂ්මන්ත් ඔබට කතා කරන්නේ කොහොමද?
ගොඩාක් නම් කියනවා. ඒ අතරේ දිල් කියලත් කියනවා.

දිල් ආඩම්බරයිලූ නේද?
ආඩම්බර නැහැ. ඒත් මම බොරුවට හිනා වෙන්නෙ නැහැ. ඕනෑම වේලාවක අනුන්ට උදව් කරන කෙනෙක්. පවුලේ අයට මම ගොඩක්ම ආදරෙයි. ඒ වගේම සංවේදියි. කරන දේ අවසාන ඉලක්කය දක්වා හරියට කරන්න උත්සාහ ගන්න කෙනෙක්.

දුෂ්මන්තට ක්‍රිකට් හැර වෙන මොනවද හොඳට පුළුවන් කියල ඔබ හිතන්නෙ.
එයාට හොඳට සිංදු කියන්නත් පුළුවනි. අපි ඉල්ලීම් කළොත් ගීත ගයනවා. ප්‍රියා සූරියසේනගේ ගීත වලට බොහෝම ආසයි. ඒ වගේම සෑම දෙයක්ම එයාට පිළිවෙලට තියෙන්න ඕනෑ. ආරක්ෂාව ගැන බොහෝම හිතනවා.

දිල් වැඩිපුර ආසා මොනවටද?
චිත්‍ර අඳින්න, සිංදු අහන්න ආසයි. ඕගන් එක වාදනය කරන්නත් ආසයි

ආදරය මොකක් කියලද හිතන්නෙ?
තව කෙනෙක් ජීවිතයට සමීප වුණාම එයාගේ අභිවෘද්ධිය වෙනුවෙන් යහපත වෙනුවෙන් කැප වෙන්න ඕනෑ. ඒ කැපවීම නිසා එයා ජයක් ලබනවා නම් හදවතින්ම ඒ සතුට විඳදරා ගන්න පුළුවනි. ආදරය සැබෑ ලෙස දැනෙන්නෙ. හැඟෙන්නේ එවිටයි. විවාහය කියන්නේ ජීවිතයේ අරමුණු ඔස්සේ යන අතරේ අපි මැරෙනකල්ම ජීවත් වන්නෙ මේ කෙනා එක්කයි කියන අරමුණට ඒමයි. එය මව්පිය ආශිර්වාදය ඇතුව සිදුවීම වැදගත්. අපට ඒ ආශිර්වාදය ලැබුණා. එය අරුත්බර කිරීම දැන් අපි දෙන්නාගේ අරමුණයි.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!