Gossip

චන්දික හතුරුසිංහට අපේ ටීම් එක භාරගන්න කොච්චර කාලයක් ඉන්න වෙයිද..?

 බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ලබන මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් වැඩ බාරගැනීමට සූදානමින් සිටින බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී හතුරුසිංහ මහතාට ශ්‍රී ලංකාවේ පුහුණුකරු තනතුර බාරදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් එය බාරගැනීම සඳහා ඔහු සම්පූර්ණ සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් තහවුරු කර සිටියේය.

“එයා පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වන බවට බංග්ලාදේශයට දැනුම් දුන්නේ ඔක්තෝබර් මාසයේ 11 වැනිදා. එයා ගිවිසුමෙන් ඉවත් වෙනවා නම් ඒබ ව මාස තුනකට කලින් දැනුම් දෙන්න ඕනා. ගිවිසුම ඒකයි…ඒ නිසා නියමිත මාස තුනක කාලයක ගතවන තුරු එයාට බංග්ලාදේශය අතහැර එන්න බෑ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියා පැවසීය.

හතුරුසිංහ මහතා සහ බංග්ලාදේශය අතර ඇත්තේ 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා දිවෙන කොන්ත්‍රාත්තුවකි.

මේ අතර හතුරුසිංහ මහතා බංග්ලාදේශයෙන් නිදහස් කරන්න’යි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලිඛිත ඉල්ලීමක්ද කර තිබිණ. බංග්ලාදේශයටද එම ඉල්ලීම පැහැර හැරිය නොහැක්කේ වසර 2000 දී බංග්ලාදේශයට ටෙස්ට් තත්ත්වය පිරිනමන අවස්ථාවේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ජග්මෝහන් දල්මියා මහතා සමගින් එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයතු කළ තිලංග සුමතිපාල මහතාද ඊට විශාල සහයෝගයක් දැක්වූ බැවිනි.

කලකට ඉහතදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරුවා වශයෙන් කටයුතු කළ හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කරන ලද්දේ ක්‍රිකට් ආයතනයේ අවසර ගැනීමකින් තොරව ඕස්ටේ්‍රලියාවේ පුහුණු පාඨමාලාවකට ගියේ යැයි චෝදනා කරමිනි. එහෙත් සිම්බාබ්වේ සංචාරය අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ වාචික අවසරය තමන්ට ලැබුණ බවත් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව එවන් අවසරයක් දුන් බව ක්‍රිකට් බලධාරීන් ප්‍රතික්ෂේප කළ බවත් හතුරුසිංහ මහතා පවසා තිබිණ.

ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් විසින් නිර්මාණය කරන ලද ‘ඩිල් ස්කූප්’ පහර සම්බන්ධයෙන් කළ මූලික පුහුණුවීම් වලදීත් හතුරුසිංහ මහතා විශාල දායකත්වයක් දක්වා තිබේ.

“මම ඉස්සරවෙලාම ගගහ හිටියේ පැඞ්ල් ස්වීප් පහරයි. ඒකෙන් පන්දුව ඩීප් ෆයින් ලෙග් හෝ ඩීප් තර්ඞ් මෑන් කලාප වලට යන්නේ. ඒ තැන් දෙකේම ක්‍රීඩකයෙක් රඳවන්න පුළුවන්….ඒත් කඩුලු රකින්නාගේ හිසට ඉහළින් පහර ගහනවා නම් එතැන ක්‍රීඩකයෙක් රඳවන්න බෑ. ඒ නිසා ස්කූප් පහර සැලසුම් කළා”

“අපි මූලික පුහුණුවීම් කළේ ටෙනිස් පන්දුවක් යොදාගෙනයි. ඊට පස්සේ පන්දු යැවීමේ යන්ත්‍රයත් යොදාගෙන අවශ්‍ය පුහුණුවීම් කළා. ඒ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සහාය පුහුණුකරුවා වශයෙන් හතුරුසිංහ මහතා මට විශාල සහයෝගයක් දුන්නා” යයිද ඩිල්ෂාන් මහතා පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරය බාරගැනීමේදී බාහිර බලපෑම් වලින් තොරව සිය කාර්යය කරගෙන යාමට අවස්ථාව සැලසීමටත් තමන්ගේ රැකියාවේ සුරක්‍ෂිතභාවය ආරක්‍ෂා කරදීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වගකීමක් ඇතැයි හතුරුසිංහ මහතා ඉල්ලා ඇති බවද දැනගන්නට ඇත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!