Gossip

චමු ශ්‍රී ඉරාජ් වගේ වෙන්න හදනවද..?

ඉරාජ් වගේම පෙරලිකාර මියුසික් වීඩියෝවලින් ලොකු උණුසුමක් ඇතිකරන චරිතයක් තමයි චමුශ්‍රී කියන්නේ.

ඉතිං ඔහුගේ අලුත්ම විස්තර ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට ලියැවිලා තිබුණා.

චමු ශ්‍රී ගේ නිර්මාණ යූ ටියුබ් එකේ Trendingවල තියෙන්නේ. මොකක්ද මේ රහස?

මෙහෙමයි. මිනිස්සු මම කරන රූප රචනාවලට දක්වන ආකර්ෂණය මත තමයි මගේ මියුසික් වීඩියෝ Trendingවලට එන්නේ. එහෙම හැම වීඩියෝවම Trending එනවා කියලා දේකුත් නැහැ. ඉතින් තමන්ට ලැබෙන ගීත වෙනුවෙන් මිනිස්සු අතරට යන විදියේ රූප රචනාවක් කරන්න පුළුවන් නම් ඒ ඒ නිර්මාණ යූ ටියුබ් එකේ Trending එන එක සාමාන්‍ය දෙයක්.

චමු ශ්‍රී දැන් තමන්ගේ රූප රචනා තුළ සරාගික දර්ශන අනිවාර්ය අංගයක් බවට පත් කරගෙන නේද?

ඇත්තටම එහෙම දෙයක් නැහැ. සරාගික දර්ශන අඩංගු නොවන නිර්මාණත් මගේ ඕන තරම් තියෙනවා. ඉතින් සමාජයේ මේ දිනවල කතාබහට ලක්වුණ නිර්මාණ කිහිපයක් විතරක් අල්ලගෙන චමු ශ්‍රී ගේ හැම නිර්මාණයකම සරාගික දර්ශන අනිවාර්යයයි කියනවා නම් ඒක හරි වැරැදි කතාවක්.

චමු ශ්‍රී ගේ නිර්මාණවලට සමාජ මාධ්‍ය තුළින් ලැබෙන ප්‍රතිචාර බලනවාද?

ප්‍රතිචාර බලනවා කියලා එහෙම විශේෂයෙන් කියවීමක් නම් වෙන්නේ නැහැ. නමුත් සමහර වෙලාවට අපි වීඩියෝ එකක් නිකුත් කරපු ගමන් ඒ වෙනුවෙන් ලැබෙන Comments නම් කියවනවා.

ඔය කියවපු ප්‍රතිචාර අතර වැඩියෙන්ම තිබුණෙ පැසසුම්ද? ගැරහුම්ද?

මෙහෙමයි. ප්‍රතිචාර කියන ඒවා එක එක වයස් මට්ටම්, සමාජ පසුබිම් එක්ක ඒ ඒ මිනිස්සු බලන ආකාරයත් එක්ක වෙනස් වෙනවා. ඉතින් අපි නිර්මාණකරුවෝ විදියට අපිට 100%ක් හොඳ ප්‍රතිචාර ලැබෙන විදියෙ කියලා නිර්මාණ කරන්නත් බැහැ. අනික අපිට 100%ක් හැමෝම සතුටු කරන්නත් බැහැ. ඉතින් සමහරු බනිනවා. සමහරු හොඳ කියනවා.

කවුරුහරි කිව්වොත් චමු ශ්‍රී ළඟ ආට් එකක් නැහැ. දන්නේ රෙදි ගලවන්න විතරයි කියලා. චමු ශ්‍රීට ඒ වෙනුවෙන් තියෙන්නේ මොන වගේ පිළිතුරක්ද?

මට කියන්න තියෙන්නේ ඒ කියන කෙනා මගේ මියුසික් වීඩියෝ හරියට බලලා නෑ කියලා තමයි.

කොහොම හරි Views ලැබෙන රූපරචනාවක් යූ ටියුබ් දාගත්තොත් ඕන හැටියට මුදල් හොයන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. මේ කතාව ඇත්තක්ද?

ඔව්.You tube කියන්නේ මිනිසුන්ට තමන්ගේ නිර්මාණයක් හරහා සල්ලි හොයන්න තියෙන සරලම මාධ්‍යයක්. You tube එක ලංකාවෙ ජනප්‍රිය වෙන්නේ මේ මෑත කාලෙකදී. නමුත් වෙනත් රටවල ගත්තොත් රූපවාහිනියටත් වඩා You tube එකෙන් තමයි මිනිස්සු ගොඩක් දේවල් බලන්නේ. ඉතින් ලංකාව තවමත් ඒ තැනට එමින් පවතින රටක් නිසා තමයි මිනිස්සු අතරෙ You tube එකෙන් සල්ලි හොයනවා කියන එක අමුතු දෙයක් විදියට කතා බහට ලක්වෙන්නේ. මට නම් කියන්න තියෙන්නේ ඔව්. You tube හරහා මුදල් හොයන්න පුළුවන් වගේම ඒක නිර්මාණකරුවන්ට හොඳ මාධ්‍යයක් කියල.

මෑත කාලීනව ඔබේ රූප රචනා අරන් බැලුවොත් ගැහැනු-පිරිමි සබඳතා වගේම සමලිංගික සබඳතා ඔබේ නිර්මාණ වෙනුවෙන් පාදක කරගෙන තිබුණා. ඉස්සරහට සත්තුත් මේ වගේ රඟපායිද?

මම නිර්මාණකරුවෙක්. රූප රචනා අධ්‍යක්‍ෂවරයෙක් විදියට මට එකම රාමුවකට කොටු වෙලා ඉන්න බැහැ. ඉතින් ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක් එක්ක ආදරයෙන් බැඳෙනවා හෝ ගෑනු ළමයා පිරිමි ළමයාව දාලා යනවා වගේ දේවල් විතරක් නෙවෙයිනේ ලෝකෙ සිද්ධ වෙන්නේ. සතකුට ආදරේ කරලා ඒ සත්ත්වයා වෙනුවෙන් ජීවත් වෙන තනි වෙච්ච මිනිස්සුත් රටේ ලෝකේ ඕන තරම් ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ මාතෘකාවක් වුණත් රූප රචනයකට නරකයි කියලා මම නම් දකින්නේ නැහැ.

චමු ශ්‍රීට ඉරාජ් එක්ක තරගයක් තියෙනවා කියන කතාව ඇත්තද?

ඒක සමාජ ජාල ඇතුළේ කවුරුන් හෝ හදපු දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ඉබේ හැදුණු දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් මට නම් එහෙම කාත් එක්කවත් තරගයක් නැහැ. ඉරාජ් කියන්නේ සින්දු කියන්නත් පුළුවන්, මියුසික් කරන්නත් පුළුවන් කෙනෙක්. මට ඔය මොකුත් බැහැ. මට පුළුවන් මියුසික් වීඩියෝ කරන්න විතරයි.

චමු ශ්‍රීටත් ඕන ඉරාජ්ට වගේම ලංකාවෙ සංස්කෘතිය කෑල්ලෙන් කෑල්ල කඩලා දාන්න කියලා කිව්වොත් මම හරිද?

නැහැ. මම දකින විදියට මියුසික් වීඩියෝ එකකින් සංස්කෘතිය කඩන්න පුළුවන් කියන එක බොරු කතාවක්. ඊට වඩා සංස්කෘතිය කැඩෙන දේවල් මේ රටේ ඕන තරම් වෙනවා. ඉතින් ඒවා උලුප්පලා පෙන්වන්නේ නැතිව මියුසික් වීඩියෝවකින් සංස්කෘතිය කැඩෙනවා කියනවා නම් ඒක හරි වැරැදියි. අද එළියට බැස්සොත් ඕන තරම් මත්ද්‍රව්‍ය ලංකාව ඇතුළෙ සංචරණය වෙනවා. ඉතින් ඒවා නවත්වන්නේ නැතිව ගීතයක රූප රචනයක් අල්ලන් සංස්කෘතිය කඩනවා කියලා කෑගහන එක ඇත්තටම බොරු වැඩක්.

ඒ කියන්නේ චමු ශ්‍රීගේ රූප රචනා තුළින් ලංකාවේ සංස්කෘතියට කිසිදු බලපෑමක් වෙලා නැහැ කියලා ඔබ වගකීමෙන් කියනවා?

ඔව්. එහෙම කිසිම ආකාරයක බලපෑමක් වෙලා නැහැ. මොකද යූ ටියුබ් එක ඇතුළට ගියොත් ඕන කෙනෙක්ට ඕන දෙයක් නරඹන්න අවස්ථාව තියෙනවා. ඉතින් කුඩා ළමයෙක්ට වුණත් තමන්ට කැමැති දෙයක් ගිහින් බලන්න පුළුවන්. එහෙම තියෙද්දී චමු ශ්‍රීගේ විඩියෝ එකක් නිසා මිනිස්සු නැහැදෙනවා කියන එක බොරු කතාවක්.

මියුසික් වීඩියෝ එකකින් වෙන්න ඕනෙ සමාජයට යම්කිසි ආදර්ශයක් ලබාදෙන එක නෙවෙයිද?

මියුසික් වීඩියෝ එකකින් සමාජයට ආදර්ශයක් දෙන්න පුළුවන් කියනවා නම් ඒක බොරු කතාවක්. මොකද මියුසික් වීඩියෝවක් බලලා යහමඟට ආපු කෙනෙක් හෝ නොමඟ ගිය කෙනෙක් මට තාම හමුවෙලා නැහැ. ඉතින් මියුසික් වීඩියෝවක් කරලා කවුරුහරි අපි මේක කළේ සමාජයට මෙන්න මේ ආදර්ශය දෙන්න කියලා කියනවා නම් ඒක අමූලික බොරුවක්. එහෙම ආදර්ශයක් දෙන්න පුළුවන් නම් ලංකාවේ තියෙන ප්‍රශ්න ඔක්කොම මියුසික් වීඩියෝවලින්ම විසඳලා දාන්න පුළුවන් වෙන්න ඕනේ.

මුදල් ගෙවීමක් සිදු කරන්නේ නැතිව අද රූපවාහිනි නාළිකාවල හෝ එෆ් එම් නාළිකාවල ගීතයක් ප්‍රචාරය කරගන්න බැහැ කියලා මතයක් තියෙනවා. චමු ශ්‍රී ට මේක බලපානවද?

ඔව්. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඇතුළේ ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. ඒක ඇත්තටම අලුතින් එන ආටිස්ලාට ලොකු අසාධාරණයක්. සමහරු හිතන් ඉන්නවා තමත් ගීතයක් කළාම ඒක අනිවාර්යයෙන් ටී. වී. එකේ හරි එෆ්. එම්. එකක හරි Play වෙන්න ඕනෙ කියලා. නමුත් මගේ යූ ටියුබ් චැනල් එක හරහා මට ඕන වුණා ඒක එහෙම නෙවෙයි කියලා පෙන්වන්න. ඉතින් හැඳුනුම්කමට, මුදල්වලට චාට් ෂෝවලට ගීත ගේන කාලෙක මං හිතනවා යූ ටියුබ් එක සාර්ථක පිළිතුරක් දීලා තියෙනවා කියලා ලංකාවේ මීඩියාවලට.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!