Gossip

පෙමින් මත් කර පිරිමින් මරු තුරුලට යවන කළු වැන්දඹු මකුළුවා පොලිසියට කොටුවෙයි

ආදරය විවාහයෙන් නිමා වන බවක් අසා ඇත්තෙමු.
එසේ වුවත් මරණයෙන් නිමාවට පත්වන ආදර කතා ද අප අතර නැතුවා නෙවේ.
එය මානව වර්ගයාට මෙන්ම සත්ව වර්ගයාටත් පොදු ධර්මතාවකි.
මරණයෙන් කෙළවර බව දැන දැනම ස්ත්‍රීන් වෙත සමීප වන පිරිමින් ගැන විවිධ පුවත් අසන්නට ලැබෙද්දී එවැනි ඛේදජනක ඉරණමකට ගොදුරු වන මකුළු විශේෂයක් ගැන ද නොකියාම බැරිය.
ලිංගික ජීවිතයේ සැපතට ලොල්ව මරණයට ගොදුරු වන මකුළු වර්ගයේ ගැහැනු මකුළුවා හඳුන්වනු ලබන්නේ කළු වැන්දඹු මකුළුවා (Black Widow) නමිනි.
කළු වැන්දඹු මකුළුවා සංසර්ගයෙන් පසුව පිරිමි මකුළුවාගේ ඉරණම තීන්දු කරමින් ඌ ආහාරයට ගන්නා බව කෘමින් පිළිබඳ පරික්ෂණ පවත්වන විද්‍යාඥයෝ කියති.
පිරිමි මකුළුවාගෙන් ලිංගික පහස ලැබීමෙන් පසුව එවැනි ඉරණමකට ඌ ඇද දමන කළු වැන්දඹු මකුළුවා මත්තෙම ජිවිතය අහිමි කරගන්නා එවැනි මකුළුවන් ගැන ඊයේ පෙරේදා මතකය අලුත් වූයේ ජපානයේ චිසාකෝ කකේහි නිසාය.
70 හැවිරිදි මේ මහලු ගැහැනිය හැම අතින්ම කළු වැන්දඹු මකුළුවාට සමානව වරින් වර තම පෙම්වතුන් ඝාතනය කිරීම නිසා මරණ දඬුවමට මුහුණ දුන්නේ සමස්ත ජපානයම කළඹාලමිනි.
වසර 2007 සිට 2013 කාලය අතරතුර වරින් වර ජපානයේ මහලු ධනකුවේරයන් සමඟ අසාමාන්‍ය අන්දමේ පෙම් සම්බන්ධතා ඇති කරගත් ඇය ඔවුන් ඝාතනයට ලක් කළාය. නීතියේ රැහැනට ඇය කොටුවූයේ සිවුවැනි පුද්ගලයා ඝාතනය කිරීමට ගත් අසාර්ථක උත්සාහයෙන් පසුවය.
බ්ලැක් විඩෝ නමින් ජපානය පුරා කූප්‍රකට චරිතයක් බවට පත්වූ මේ මහලු ගැහැනිය ඇතැමුන් හඳුන්වන්නේ ‘poison lady‘ නමිනි.
ඇය සිය මහලු පෙම්වතුන්ට වස පොවා මරණයට පත් කර ඇත්තේ ඔවුන් සතු දේපල හිමිකරගැනීමේ චේතනාවෙනි. ඇය ඔවුන් ඝාතනය කරනු ලැබුවේ මහලු පෙම්වතුන්ගේ මිලියන ගණනක දේපල වත්කම් තමාගේ නමට ලියා ගැනීමෙන් පසුවය.
ඇයට එරෙහිව ක්යෝටෝ දිස්ත්‍රික් උසාවියේ නඩු පැවැරුණේ සයනයිඩ් මිශ්‍රකළ මිහිරි පානයක් තම පෙම්වතුන්ට පොවා ඔවුන් ඝාතනය කිරිමේ චෝදනාවටය.
ඒ මිහිරි පානය ඇය ඔවුන්ට පොවා ඇත්තේ එය සෞඛ්‍ය සම්පන්න කොක්ටේල් පානයක් බව කියමිනි. ඇය විසින් එසේ මහලු පෙම්වතුන් ඝාතනය කිරිමට පෙර ඔවුන් සතු සියලු දේපල හා යෙන් මිලියන ගණනාවක රක්ෂණ තැන්පත් ඇගේ නමට ලියා ගන්නා බවත් අනාවරණය විය.
උසාවිය ඇයට මරණ දඬුවම තීන්දු කළ මොහොතේ ඇය මෙසේ කීවාය.
‘මාව හෙට එල්ලා මැරුවත් මම මැරෙන්නේ සිනාමුසු මුහුණින් යුතුවයි‘
පසුගිය වසර දහයක් ඇතුළත මේ අයුරින් මහලු පෙම්වතුන් හා කම්සැප විඳ කළු වැන්දඹු මකුළුවකු මෙන් ඔවුන් සියලුදෙනාම මරණයට පත් කළ මේ ගැහැනිය ඒ කාලය තුල උපයා ගත් මුදල යෙන් බිලියනයක් පමණ වන බවට තක්සේරු කර තිබේ.
මේ මහලු ගැහැනියගේ ප්‍රේම මායා දැලේ පැටලුණු පුද්ගලයන් සියල්ලෝම අවුරුදු 70ට වැඩි අය වූහ. ඇය තම ගොදුරු බවට පත් කරගනු ලැබුවේ ධනවත් මෙන්ම දරුවන් අහිමි පුද්ගලයන්ය. මින් ඇතැමුන් විවිධ අවස්ථාවලදී ඇගේ මිත්‍ර සමාගමට වැටී වැඩ වරද්දාගත් අය වූ අතර සෙස්සන් ඇය විසින් සොයාගනු ලැබුවේ ජපානයේ අන්තර්ජාලය මගින් මංගල යෝජනා තහවුරු කරන නියෝජිත ආයතන (dating agencies) හරහාය.
කකේහිගේ මහලු සිරුරේ පහස ලබා මරු තුරුලට ගිය පුද්ගලයන් තිදෙනාම ඇය හා වරින් වර විවාහවී සිටි අය වෙති. වසර 2014දී මුලින්ම ඇය අත්අඩංගුවට පත්වූයේ ඇගේ 75 හැවිරිදි සැමියාගේ මරණය සම්බන්ධයෙනි. ඔහු 2013 වසරේ දෙසැම්බරයේ ඝාතනයට ලක්වෙද්දී ඇය සමග විවාහවී ගෙවී තිබුණේ මාසයක කාලයක් පමණි. අත්අඩංගුවට පත්වීමෙන් පසුව කරනු ලැබු විමර්ශන අනුව මේ මහලු ගැහැනිය ඊට පෙර ඇගේ 71 හැවිරිදි හිටපු පෙම්වතා සහ 75 හැවිරිදි පළමු සැමියා ද ඝාතනය කර තිබූ අතර 79 වැනි සිවුවැනි පෙම්වතා ඝාතනය කිරීමට කුරුමානම් අල්ලමින් සිටියාය.
වසර තුනක කාලයක් පුරා ඇදී ගිය මේ නඩු විභාගයේ මුල් අවස්ථාවේදී ඇය උසාවිය හමුවේ මුනිවත රකිමින් සිටියාය. ඇගේ නීතිඥයන් කකේහිගේ නිර්දෝෂිබව කියා පාමින් සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන්නට වූහ. එපමණක් නොව ඇය ඩිමෙන්ශියාව නැමැති උන්මත්තක රෝගයෙන් පීඩා විඳින බව කියමින් දඬුවම ලිහිල් කරගැනීමට ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු උත්සාහ ගත්තද උසාවිය එය ප්‍රතික්ෂේප කළේය.
කළු වැන්දඹු මකුළුවාගේ අඩිපාරේ ගිය චිකාසෝ කකේහිගේ ආන්දෝලනාත්මක සිදුවීමත් සමග ලොව පුරා විවිධ පුවත්පත් කඩිමුඩියේ එවැනි කළු වැන්දඹු මකුළුවන්ගේ ඉතිහාසය හාරා අවුසන්නට පටන් ගෙන තිබිණි.
එසේ අවුස්සාගත් ඉතිහාස තොරතුරු අතර වඩාත්ම කූප්‍රකට කළු වැන්දඹු මකුළුවාගේ වර්ගයේ ගැහැනුන් අටදෙනකු ගැන (Most Infamous Black Widow Murderers) තොරතුරු අනාවරණය විය.
ඒ අතරින් වඩාත්ම කතාබහට ලක්වූ ගැහැනිය ඇමී ආර්චර් ගිලිගන්ය. හෙදියක ලෙස සේවය කළ ඇය සිය පෙම්වතුන්ගේ ජීවිතාරක්ෂක රක්ෂණ ආවරණ ඩැහැගැනීමේ අරමුණින් වසර 1911 සිට 1916 දක්වා කාලය තුල ඇය රාජකාරී කළ රෝහලට ඇතුළත්වී සිටි මහළු රෝගීන් දුසිම් ගණනාවකට මරු කැඳවූයේ ඔවුන්ගේ රක්ෂණ වන්දි මුදල් ගෙඩි පිටින් තම නමට ලියා ගැනීමෙන් පසුවය.
එසේ අභිරහස් අන්දමින් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් 48ක් වනු ඇතැයි එකළ පුවත්පත් වාර්තා කර තිබිණි. මේ සියලු ඝාතන ඇය විසින් සිදුකරනු ලැබුවේ මීයන් මර්දනයට ගෙනැවිත් තිබූ ආසනික් විෂ වර්ගය භාවිත කරමිනි. බොහෝ චෝදනාවලින් ගැලවීමට ඇය සමත්වූවත් මේ අතරින් ඇගේ දෙවැනි සැමියා සමග තවත් පුද්ගලයන් පස්දෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට නම් ඇයට කට උත්තර නැතිවිය.
මේ ලැයිස්තුවේ දෙවැනි තැන සිටින්නේ එව්ලින් ඩික්ය. ඇය ඉතා සුරූපි කාන්තාවක් බව කවුරුත් කියති. එමෙන්ම ඇය ඇඟට පතට නොදැනී පෙම්වතුන් ඝාතනය කිරීමටත් හපනියක් බවත් කියති. බස් රථ රියැදුරකු වූ ජෝන් ඩික් සමග විවාහ වී මාස 6ක් යාමට මත්තෙන් ඔහු ඝාතනයට ලක්විය. එහි සැකය එල්ලවූයේ එව්ලින් කෙරෙහිය. කරුණු සොයා බලද්දී ඇය ඊට පෙර ඇසුරු කළ පෙම්වතුන් ගණනාවක්ම ඇය අතින් ඝාතනයට ලක්වී තිබිණි.
වසර 1955 සිට 1957 අතර කාලයේදී එක්සත් රාජධානියේ මේරි එලිසබෙත් විල්සන්ට සැමියන් සිවුදෙනකු අහිමිවිය. ඒ සියලුදෙනාම ඝාතනයට ලක්වී තිබුණේ ඇය අතින්මය. බෙටී බීට්ස් සිය දෙවැනි සැමියාට වෙඩි තැබුවාය. වාසනාවකට ඔහු මිය ගියේ නැත. එහෙත් ඇගේ සිවුවැනි සැමියාත්, පස්වැනි සැමියාත් අවාසනාවන්ත ලෙස ඇය අතින් ඝාතනයට ලක්විය. ඔස්ට්‍රේලියාවේ කැතරින් නයිට් සැමියාට වදදීමේ ආසාවකින් පෙලුණු ගැහැනියකි.
ඒ අතරතුර කාලයේදී ඇය අතින් පෙම්වතා ඝාතනයට ලක්වී තිබුණේ දරුණු වධහිංසාවලට භාජනය විමෙන් පසුවය. බෙටී නිවුමර්ගේ සැමියන් පස්දෙනාම ඝාතනයට ලක්විය. මේ අභිරහස් මරණවල අගමුල සොයා ගිය පොලිසිය අවසානයේදී සියල්ල හෙළිකර ගත්තේ ඇගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමෙන් පසුවය. ස්ටේසි කැස්ටර්ගේ පළමු සැමියා සිය දිවි හානිකර ගත්තේය. දෙවැනි සැමියා ද සිය දිවි හානිකරගත්තේය.
පසුව අනාවරණය වූයේ ඇය විසින් ඒවා සැලසුම් සහගතව කරනු ලැබූ බවය. මේ සියලු කළු වැන්දඹු මකුළු වර්ගයේ ගැහැනුන් සැමියාගේ මුදලට හා දේපලට ඇති තණ්හාව නිසා සිදුකරනු ලැබු ඒවාය.
ජපානයේ චිකාසෝ කකේහි කළු වැන්දඹු මකුළු වර්ගයේ අලුත්ම ගැහැනියයි. ඇය විසින් වස පොවා මරා දමනු ලැබූ මහළු පෙම්වතුන්ගෙන් අත්පත් කරගත් ධන සම්භාරය සමග අතිසුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම ඇගේ එකම ආසාව වී තිබිණි.
දැන් සියල්ල අවසානය. එහෙත් මරණය අතැතිව කළු වැන්දඹු මකුළුවාගේ ලිංගික පහස සොයා එන පිරිමින්ගේ ප්‍රමාණයේ අඩුවක් නම් නැත. තවත් ගොදුරක් තමා සොයා එනතුරු බලා සිටින කළු වැන්දඹු මකුළුවකු නැවත මතුවිය හැකිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!