Gossip

ලෝකයේ විශාලතම නත්තල් ගස ශ්‍රී ලංකාවේ(වීඩියෝ)

 

නත්තලට ඇත්තේ තවත් හරියටම දින 21 කි. මේ දිනවල ඒ සඳහා බොහෝ දෙනෙකුගේ සූදානම් වීමක්‌ ද දකින්නට ලැබෙන්නකි. නත්තලට සමගාමීව මෙවර රට තුළ විශ්මිත ඉදිකිරීමක්‌ සිදුවන අතර මේ වන විටත් ලහි ලහියේ එම ඉදිකිරීම සිදුවෙමින් පවතින්නේ ගාලු මුවදොර පිටිය කේන්ද්‍රකර ගනිමිනි.

මෙතෙක්‌ කලක්‌ ලොව උසම නත්තල් ගස ඉදිකොට ලෝක වාර්තාව හිමිකර ගත් රට ලෙස ප්‍රංශය ඉතිහාසයට එක්‌ව තිබුණේය. එය උසින් අඩි 292 කින් යුක්‌ත විය. මේ වන විට ගාලු මුවදොර පිටිය තුළ ඉදිවෙමින් පවතින නත්තල් ගස ලොව අන් සියලු රටවල් යටකර දමමින් ඉදිවන්නක්‌ වන අතර එය උසින් අඩි 325 ක අගයක්‌ ගන්නේය. ඒ සඳහා අඟල් 2 1/2, 2, 1 1/2″ ප්‍රමාණයන්ගෙන් යුත් යකඩ බට ටොන් 30 ක්‌ ලී පිටපළු ලොරි 15 ක්‌ පයිනස්‌ ගෙඩි කිලෝ 15,000 ක්‌ සහ තීන්ත, විවිධ වර්ණක ඇතුළු තවත් අමුද්‍රව්‍ය රාශියක්‌ වැයවී ඇත. ඒ සඳහා වන දළ ඇස්‌තමේන්තු වියදම රුපියල් එක්‌ කෝටි විසි ලක්‍ෂයක්‌ (1,20,00000) වන අතර ඉදිකිරීම ආරම්භ කොට ඇත්තේ ඉකුත් අගෝස්‌තු මස 18 වන දින පෙ.ව. 10.01 ට යෙදී තිබූ සුබ මොහොතින්ය. හෙළිදරව්වෙමින් පවතින ආකාරයට මේ පිළිබඳව පාප් වහන්සේ ඇතුළු දේශීය විදේශීය පූජක ප්‍රසාදින් වහන්සේලා ඇතුළු ගිනස්‌ වාර්තා කමිටුව, අදාළ ආයතන හා බලධාරීන්, දැනුවත් කොට නිසි අවසරය ලබාගෙන ඇති අතර ඉදිකිරීම් භූමිය අවට ප්‍රදර්ශනය කර ඇති දැන්වීම් පුවරුවල සඳහන් ආකාරයට මේ සඳහා පූර්ණ අනුග්‍රහය සපයා ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරී කතෝලික සංගමය විසින්ය. ඒ සඳහා ඔවුන් විසින් නිසි අවසරය ලබාගෙන ඇත්තේ වරාය හා නාවුක කටයුතු අමාත්‍යාංශය මගින්ය.

මෙරට විසින් මෑත කාලීනව අත්පත් කරගත් සුවිශේෂී ලෝක වාර්තාවක්‌ වන්නේ 1996 වර්ෂයේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම විසින් දිනාගත් ලෝක ක්‍රිකට්‌ කිරුළය. එය රටක්‌ ලෙස සියල්ලන් එක්‌ව ඉමහත් සතුටක්‌ ලැබූ දිනයක්‌ විය.

1996 වසරේදී ලෝක ක්‍රිකට්‌ කිරුළ හිමිකර ගනිමින් අර්ජුන රණතුංග විසින් රටට හිමිකර දුන් ලෝක වාර්තාවත් මේ වන විට ගාලු මුවදොර පිටිය තුළ ඉදිවෙමින් පවතින ලොව වැඩිම උසකින් යුත් නත්තල් ගස ඉදිකිරීමෙන් අනතුරුව රට අත්පත් කර ගැනීමට නියමිත ලෝක වාර්තාවත් අතර වෙනස “අහසයි වට්‌බොටුයි” මෙන් කිසිසේත්ම එකිනෙකට නොපෑහෙන සිද්ධීන් දෙකක්‌ වුවද එයටද නායකත්වය සැපයීමට සිදුව ඇත්තේ මේ වන විට වරාය හා නාවුක කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාටය. කල්පනා කර බලන විට එය දෛවෝපගත සිදුවීමක්‌ බඳුය.

ගාලු මුවදොරට ඉහළ අහසින් වැහෙන හිරු ගිණියම හමන සුළඟින් සමකය නොවන්නා සේය. යෝධ නත්තල් ගස ඉදිවෙන භූමි භාගයක්‌ විවිධ වැඩ රාජකාරිවල නිරත සේවක පිරිසක්‌ ඉරේ ගිනියම පයිසකට මායිම් නොකරමින් එවෙලෙහිද වැඩෙහි නිරත වෙමින්ය. කලින් සිදුකළ කතාබහක ඵලයක්‌ ලෙස නත්තල්ගස ඉදිකිරීමේ වැඩ මූලිකයෙක්‌ වන නානායක්‌කාර නමැත්තා සමඟ නත්තල් ගස පිළිබඳත් එහි ඉදිවීම් සිද්ධ වෙන ආකාරයත් පිළිබඳ කතාබහ ආරම්භවන්නේ වැඩ බිමෙහි පසෙකට වන්නට ඉදිවූ කුඩා කූඩාරමක්‌ තුළදීය.

ලොව මවිත කළ නිමැවුමක්‌ වන චීන මහා ප්‍රාකාරය ගල්, ගඩොල්, සිමෙන්ති හරි හරියට මුහුව “ඉදිවුමක්‌” ලෙස ස්‌ථාපිත වීමට පෙර එය කාගේ හෝ මිනිස්‌ සිතක සටහන් වූ මනෝමය රූප සටහනක්‌ව පවතින්නට ඇත. ගාලු මුවදොර ඉදිවෙමින් පවතින ලොව වැඩිම උසකින් යුත් නත්තල් ගසටද එම නියමය පොදුය. ඒ පිළිබඳ දළ සටහන මුලින්ම ඇඳී ඇත්තේ නානායක්‌කාරගේ සිත තුළය. ඉංජිනේරුවකු නොවන එහෙත් නිර්මාණශීලී මිනිසකු වන නානායක්‌කාර එකල ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොන්ත්‍රාත් පදනම මත සේවය කළ කන්ටේනර් රියෑදුරෙක්‌ පමණය. ජනවාරි 08 පෙරළියත් සමග ඔහු ඇතුළු තවත් පිරිසක්‌ වරාය අධිකාරියේ ස්‌ථිර සේවයෙහි පිහිටුවනු ලබන්නේ යහපාලනය පිළිබඳ ඔවුන් තුළ වූ සිහින සැබෑ කරමින්ය.

මෙතැන් සිට ලොව උසින් වැඩිම නත්තල්ගස පිළිබඳ විස්‌තරයට ප්‍රස්‌තූතය සපයන්නේ නානායක්‌කාර ඇතුළු වැඩබිමෙහි සේවයේ නියුතු කීප දෙනකුගේ කටහඬවල්ය.

මේ කටයුත්තේදී මූලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ අපි 10 දෙනකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌. ඊට අමතරව තවත් පනහක විතර පිරිසක්‌ මේ කටයුත්තේදී අපිට සහයෝගය දක්‌වනවා. එතන තිබෙන විශේෂත්වය තමයි ආගමික භේදයකින් තොරව අපි සියල්ලන්ම මේ කටයුත්තට මුල් තැනක්‌ දීල මේ උත්සාහය සාර්ථක කරගන්න දරන වෑයම. මේ වැඩ බිම ගත්තොත් මේකට දායකත්වය දෙන සියලුම දෙනා දිවා රෑ නොබලා තමන්ගෙන් වෙන්න ඕන වැඩ කොටස ඉෂ්ඨ කරනවා. මේ අයගේ ඉඳුම් හිටුම් ආහාර පාන ඒ හැම දෙයක්‌ම සිද්ධ වෙන්නෙත් මේ වැඩබිම මුල්කරගෙන. විශේෂයෙන් පනහකට හැටකට ආසන්න පිරිසකගේ තුන්වේල පිරිමැහෙන්න අපේ කණ්‌ඩායමේ කීප දෙනෙක්‌ ආහාර සකසනව. ඒකට අවශ්‍ය හාල් තුනපහ ඇතුළු සියලු දේ බැතිමතුන් විසින් මේ ස්‌ථානයට ගෙනත් දෙනවා. ඊට අමතරව මේ ස්‌ථානය විදේශිකයන් බහුලව ගැවසෙන තැනක්‌ හින්ද ඒ අයගේ ආධාර උපකාරත් යම් තරමක්‌ දුරට ලැබෙනව. ඊට අමතරව කියන්න තියෙන විශේෂම කරුණ තමයි මේ ඉදිකිරීමේ ප්‍රධාන වැඩකොටසක්‌ ඉටුකරන අපි දස දෙනා අතරින් නව දෙනෙක්‌ම බෞද්ධයො. මේ ඉදිකිරීම තුළින් අපි රටට ලෝකයට දෙන්න හදන පණිවිඩය වෙලා තියෙන්නේ ලෝක සාමය සහජීවනය සහ රටේ අභිමානය. ඊට අමතරව ලෝකයේ වැඩිම උසකින් යුත් නත්තල් ගස නිර්මාණය කරල ලෝක අවධානය රට වෙත යොමුකරවීම තවත් එක අරමුණක්‌ වෙලා තිබෙනවා.

“නත්තල් ගහ ඉදිවෙන්නෙ මෙහෙමයි… අඩි 80 ක විශ්කම්භයක්‌ ඇතුලෙ තමයි මේ ඉදිවීම සිද්ධ වෙන්නේ. එතැන ඉඳලා අඩි 30 ක්‌ වෙනකම් පිටපළු ලෑලි ආධාරයෙන් තමයි නත්තල් ගස ඉහළට යන්නේ. එතැන ඉඳල ඉතිරි උස සම්පූර්ණම නිම කරන්නේ ෆයිනස්‌ ගෙඩි හා යකඩ ආධාරකරගෙන. යකඩ බට සහ කුකුල් කොටුවලට ගහන කම්බි දැල ඒ සඳහා උපයෝගි කරගෙන තිබෙනවා. විශේෂයෙන් ගසේ පාදම අඩි අටක්‌ යටට හාරල ඒව කොන්ක්‍රීට්‌ කරල ඒ මත තමයි යකඩ කණු සවිකරල තියෙන්නේ. යකඩ කණු 24 ක්‌ තුළ තමයි මේ මුළු බරම රඳවල තියෙන්නේ.

මේ නිර්මාණය සඳහා ෆයිනස්‌ ගෙඩි 15,000 ක්‌ පමණ අවශ්‍ය වෙනව. මේ වන විට රික්‌ල්ලගස්‌කඩ, හේවාහැට ආදී ප්‍රදේශවලින් මේ ස්‌ථානයට ෆයිනස්‌ ගෙඩි ලැබෙමින් පවතිනවා. ඒ සඳහා වෙනම පිරිසක්‌ ඒ ගම්මානවල ඉන්නවා. ඒ අයට ගෙවීමක්‌ සිද්ධ කරල තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නෙ. ඊට අමතරව අපට අවශ්‍ය පිටපළු ලබා ගන්නෙ කැලණිමුල්ල, සේදවත්ත මොරටුව ආදී ප්‍රදේශවල ලී මෝල්වලින්… අඩි 325 කියන්නේ විශාල උසක්‌ හින්ද ආරක්‍ෂාවට මුල් තැනක්‌ දෙමින් තමයි මේ සියල්ල සිද්ධ කරන්න අපට උපදෙස්‌ ලැබිල තියෙන්නේ. විශේෂයෙන් මුළුමණින්ම යකඩවලින් කරන නිර්මාණයක්‌ හින්ද විදුලි සන්නායක පවා රඳවල තියෙනව.

“අපි විශ්වාස කරගෙන ඉන්නව මේ ඉදිකිරීම් සියල්ලක්‌ම දෙසැම්බර් 15 වැනිදා වෙනකොට අවසන් කරන්න. ඒ සඳහා පනහකට හැටකට ආසන්න ප්‍රමාණයක්‌ දිවා රෑ නොබලා වැඩ කරනව. මේක නිල වශයෙන් මහජනතාවගේ ප්‍රදර්ශණය පිණිස නිරාවරණය වෙන්නේ දෙසැම්බර් 25 වැනිදා. එතැන ඉඳන් දින 15 ක්‌ පමණ මෙය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් හදලයි තියෙන්නේ. විශේෂයෙන් නත්තලට සමගාමීව ගාලු මුවදොර පිටියෙ පැවැත්වෙන වෙළෙඳ සැණකෙළියත් සමග අපේ නිර්මාණය පිළිබඳ රටේම අවධානය යොමුවේවි කියල ලොකු විශ්වාසයක්‌ පවතිනව…”

රුපියල් එක්‌ කෝටි විසි ලක්‍ෂයක ව්‍යාපෘතියක්‌ ලෙසින් ඉදිවෙන ලොව වැඩිම උසකින් යුත් නත්තල් ගස ඉදිවීමේ කතාව ඒ අයුරින් නිමා වුවද මේ මොහොත වන විටද රටේ ඒ පිළිබඳ යම් කතා බහක්‌ මතුවී ඇත. සමාජ ජාල වෙබ් අඩවි හරහා මේ පිළිබඳ විවේචනය කරන පිරිසක්‌ද වන අතර ඔවුන්ට අනුව මෙය නාස්‌තිකාර වියදමක්‌ය. ඇතැමෙක්‌ ආගම්වාදී දෘෂ්ඨියකින් ලෝකයේ උසම නත්තල්ගස දකින අතර ඔවුනට ඇත්තේ වෙනම විවේචනයක්‌ය. අපටද යමක්‌ පැවසීමට ඇත. අප ජීවත් වන්නේ සර්ව ආගමික නිදහසක්‌ ඇති රටක බැවින් තමන් අදහන ආගමක දහමක්‌ සංකේතාත්මකව ප්‍රකාශ කිරීමට ඕනෑම කෙනෙකුට ඇති අයිතිය ප්‍රශ්න කිරීමට අපට අයිතියක්‌ නැත. ඇත්තේ කුඩා ගැටලුවක්‌ බැවින් මේ ආකාරයෙන් එය ලියා තැබිය හැක. මේ වන විට අපට ඉතිරිව ඇත්තේ ලෝක වාර්තා අභිබවා යැමේ තරගයක්‌ පමණද?

 

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!