Gossip

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලාංකිකයෙක් තරග කරයි

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 24 ද‌ා පැවැත්වේ. මෙහිදී ඡන්ද දායකයින් මිලියන 4.1ක් මධ්‍යස්ථාන 1800 කදී ඡන්දය පාවිච්චි කිරීමට නියමිතය.

මෙම මැතිවරණයේදී වික්​ටෝරියානු පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකය හෙවත් පහළම මන්ත්‍රණ සභාව සඳහා මන්ත්‍රීවරුන් 88ක් ද ඉහළ මන්ත්‍රණ සභාව හෙවත් සෙනෙට් මණ්ඩලයට මන්ත්‍රීවරුන් 40ක් ද තෝරා පත්කර ගනු ඇත.

ඕස්ට්‍රේලියාවේ නීතිය අනුව ඡන්දය පාවිච්චි කිරීම අනිවාර්ය වන අතර ඡන්දය පවිච්චි නොකළොත් එම පුද්ගලයාට දඩ මුදලක් ගෙවීමට සිදුවේ. යම් ඡන්ද දායකයකුට රෝගී තත්ත්වයක් නිසා ඡන්දය දීමට නොහැකි වුවහොත් ඔහු ඒ වෙනුවෙන් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.

මැතිවරණය පැවැත්වෙන දිනය නොවැම්බර් 24 ද‌ා වුවද ඡන්ද දායකයින්ට කැමැති නම් ඊට කලින් ඡන්දය පවිච්චි කළ හැකි වන පරිදි නොවැම්බර් 12 සිට නොවැම්බර් 23 දා දක්වා සීමිත ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාවක් විවෘත කොට තිබේ.

එසේම මෙහි ඕනෑම ඡන්ද දායකයකුට තම ඡන්දය තැපෑලෙන්ද ප්‍රකාශ කළ හැක. ඒ සඳහා දුරකථන හෝ ඊමේල් මගින් මැතිවරණ කාර්යාලයේ ලියාපදිංචි විය යුතුය. එසේ ලියාපදිංචි වූ අයට තැපෑලෙන් ඡන්ද පත්‍රිකා එවනු ලබන අතර ඔවුන් ඡන්දය ලකුණු කොට එම ඡන්ද පත්‍රිකා නැවත නොවැම්බර් 21 දාට පෙර තැපෑලෙන්ම යැවිය යුතුය. විදේශ ගතව සිටින ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට මෙම මැතිවරණය සඳහා ඔවුන් සිටින රටේ ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයට ගොස් සිය ඡන්දය පාවිච්චි කිරීමටද පහසුකම් සලසා ඇත.

එසේම රෝගී හෝ ආබාධිත වීම නිසා ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණීමට නොහැකි ඡන්ද ද‌ායකයින්ට විද්‍යුත් තැපෑලෙන් (ඊමේල්) හෝ දුරකථන මගින් ඡන්දය දීමටද ඕස්ට්‍රේලියානු මැතිවරණ නීතියෙන් ඉඩ සලසා තිබේ.

මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් මස 24 දා වික්ටෝරියානු ඡන්ද දායකයින්ට පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා කාලය තුළ ඡන්ද මධ්‍යස්ථාන 1800 කදී ඡන්දය පාවිච්චි කළ හැක. මෙහිදී එක් ඡන්ද දායකයකුට ලොකු සහ කුඩා ඡන්ද පත්‍රිකා 2ක් ලැබේ. මෙයින් කුඩා ඡන්ද පත්‍රිකාවක් පහළ මන්ත්‍රණ සභාවට තරග වදින අපේක්ෂකයින් වෙනුවෙනි. තම ඡන්ද කොට්ඨාසයට තරග කරන අපේක්ෂකයින්ගේ නම් මෙම පත්‍රිකාවේ සඳහන් වන අතර, එම නම් ඉදිරියේ ඇති කොටුවල තම මනාපය පරිදි පිළිවෙළින් අංක 1, 2, 3, 4, 5 වශයෙන් ලකුණු කළ යුතුය.

ඉහළ මන්ත්‍රණ සභාවට මන්ත්‍රීන් තෝරා ගනු ලබන්නේ කලාප මට්ටමිනි. වික්ටෝරියා ප්‍රාන්තය කලාප 8කට බෙදා එයින් එක් කලාපයකින් මන්ත්‍රීවරුන් තිදෙනා බැගින් ඉහළ මන්ත්‍රණ සභාවට තෝරා ගැනේ. මේ සඳහා ඡන්ද දායකයාට විශාල ඡන්ද පත්‍රිකාවක් ලැබේ. එය කොටස් දෙකකට බෙදා ඇත. එහි ඉහළ කොටසේ තමන් කැමති පක්ෂය ඉදිරියේ ලකුණු කළ යුතු අතර පත්‍රිකාවේ පහළ කොටසේ තමන් කැමති අපේක්ෂකයින් 5 දෙ​දෙනකුට පිළිවෙළින් 1, 2, 3, 4, 5 වශයෙන් ලකුණු කළ යුතුවේ.

මේ අනුව වික්ටෝරියානු පාර්ලිමේන්තුව සඳහා ඉහළ හා පහළ මන්ත්‍රණ සභා දෙකෙන්ම පත්වන මන්ත්‍රීන් ගණන 128 කි.

මෙවර මැතිවරණයට ප්‍රධාන දේශපාලන පක්ෂ වන ලේබර් පක්ෂය, ලිබරල් පක්ෂය හා කුඩා පක්ෂ වන වන් නේෂන් (ONE NATION) හා ග්‍රීන් (GREEN) පක්ෂ තරග වදිති. ලේබර් පක්ෂයේ ඡන්ද ව්‍යාපාරය මෙහෙය වන්නේ වර්තමාන වික්ටෝරියා අගමැති ඩැනියෙල් ඇන්ඩෲ මහතාය. ලිබරල් පක්ෂ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවනු ලබන්නේ එහි නායක හා විපක්ෂ නායක මැතිව් ගයි මහතාය.

මැතිවරණයට ඇත්තේ තවත් සතියකටත් වඩා අඩු කාලයකි. එහෙත් පෝස්ටර්, කටවුට්, බැනර්, ප්‍රසිද්ධ රැස්වීම් කිසිවක් මෙම ඡන්ද ව්‍යාපාරයේ දක්නට නැත. මැතිවරණයක් පැවැත්වෙන බවට කිසිදු සලකුණක් වත් නැති අතර, ජනතාව ඒ ගැන දුම්රියේ බස් රියේ හෝ ප්‍රසිද්ධ ස්ථානවලදී කතා නොකරති. මෙම මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරය ගෙන යන්නේ ප්‍රධාන පුවත්පත්වලට ප්‍රකාශ ලබා දෙමිනි. ඒ ප්‍රකාශවලින් ඉදිරිපත් කෙරෙන්නේ එම පක්ෂවල මැතිවරණ පොරොන්දුය. ලේබර් පක්ෂය බලයට පැමිණියොත් දුම්රිය සේවය තවත් දියුණු කරන බවටත්, සමාජ සුබසාධන කටයුතු සඳහා වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කරන බවටත් අගමැති ඩැනියෙල් ඇන්ඩෲ මහතා විසින් දී ඇති පොරොන්දුවලින් කිහිපයකි.

තම පක්ෂය බලයට පැමිණියොත් මෙගාවොට් 500ක ධාරිතාවක් ඇති විදුලි බලාගාරයක් ඉදිකොට බලශක්තිය තවත් වැඩිදියුණු කරන බවත්, දෙලක්ෂයක් පමණ වන ළමුන් උදෙසා රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකක ඇති කරන බවත් පාසල් සඳහා රජයෙන් ලබාදෙන මුදල් ප්‍රතිපාදන තවත් වැඩි කරන බවත් ලිබරල් පක්ෂ නායක මැතිව් ගයි මහතා සිය ප්‍රධාන පොරොන්දු වශයෙන් ප්‍රකාශ කොට තිබේ.

ලේබර් පක්ෂය සහ ලිබරල් පක්ෂය තමන් බලයට පැමිණි පසු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සංවර්ධන වැඩපිළිබඳව රූපවාහිනී නාළිකාවල දැන්වීම් ප්‍රචාරය කිරීමටද පියවරගෙන ඇත. එහෙත් කිසිදු පක්ෂයක ඡන්ද අපේක්ෂකයින් පුවත්පත් හෝ රූපවාහිනියේ සිය ප්‍රචාරක දැන්වීම් පළ නොකිරීම මේ රටේ මැතිවරණයේ කැපී පෙනෙන කරුණකි. ඕස්ට්‍රේලියානු මැතිවරණ ක්‍රමයේ ප්‍රධානම ලක්ෂණය නම් දේශපාලන පක්ෂවලට ඡන්ද ලකුණු හෝ අපේක්ෂකයින්ට මනාප අංක නොමැති වීමයි. ඡන්ද දායකයින් ඡන්දය දෙන්නේ පක්ෂයේ නමට හා අපේක්ෂකයාගේ නමටය.

එසේ වුවද පහළ මන්ත්‍රණ සභාවට තරග කරන සමහර අපේක්ෂකයින් ඔවුන්ගේ නම සහ ඡායාරූප ඇතුළත් පුවරු (කටවුට්) සමහර ස්ථානවල ප්‍රදර්ශනය කොට තිබේ. ඒවා විශාල ප්‍රමාණයේ කටවුට් නොමැති අතර එම කටවුට් සවිකොට ඇත්තේද මග දෙපස පෞද්ගලික ස්ථානවලය. මේවා බහුල වශයෙන් නැත. කිලෝමීටර් 5ක් 6ක් පමණ යන විට මෙවැනි කටවුට් 1ක් හෝ 2ක් ඉඳහිට දක්නට ඇත.

වික්ටෝරියා පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලාංකිකයකු ද ඉදිරිපත්වී සිටී. ලිබරල් පක්ෂයේ අපේක්ෂකයකු වශයෙන් ඩැන්ඩිනොන් කොට්ඨාසයට ඉදිරිපත්වී ඇති ඔහු විරෝෂ් පෙරේරා මහතාය. ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඇති ශ්‍රී ලාංකිකයකු වන විරෝෂ් වෘත්තීයවේදියෙකි. ඔහු සිය ඡන්ද ප්‍රචාරක කටයුතු මෙහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ඉලක්ක කරගෙන සිදු කරයි.

මෙයට අමතරව මෙම මැතිවරණයට තරග කරන සෑම අපේක්ෂකයකුගේම නම හා ඔහු පිළිබඳ විස්තර ඕස්​ට්‍රේලියානු මැතිවරණ කොමිසම විසින් ඡන්ද දායකයින් වෙත තැපෑලෙන් යවනු ලැබේ. ඒ මගින් තමන් කැමති අපේක්ෂකයා නම් කර ගැනීමට ඡන්ද දායකයින්ට අවස්ථාව ඇත.

එසේම ඡන්ද මධ්‍යස්ථානයට මීටර් 100ක් ඈතින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට රැඳී සිටීමට අවසර දී ඇති අතර ඔවුන් තම අපේක්ෂකයාගේ පත්‍රිකා ඡන්ද දායකයින්ට බෙදා දෙයි.

ඕස්ට්‍රේලියාවේ මැතිවරණ උණුසුමක් දක්නට නොමැතිවීම ගැන වසර 30කට අධික කාලයක සිට මෙල්බන් නුවර ජීවත් වන ශ්‍රී ලාංකිකයකු වන ගාමිණී ෆොන්සේකා මහතාගෙන් මා විමසූ විට ඔහු පැවසුවේ මේ රටේ ජනතාව දේශපාලනය ගැන උනන්දුවක් නොදක්වන බවයි.

“මෙහෙ මිනිස්සු ඡන්ද දෙන්න යන්නෙ ඡන්දෙ නුදුන්නොත් දඩ ගෙවීමට සිදුවන නිසයි. දඩ ගැසීම නැත්නම් ඡන්ද පොළක ඡන්ද 50ක් වත් වැටෙන එකක් නැහැ”යි ඔහු කීය.

ඡන්දය දීල ආවාට පසු ඔවුන් දිනුවේ කව්ද ප්‍රතිඵල කොහොමද කියලවත් සොයන්නෙ නැහැ. හැබැයි ඡන්දය අවසන් වූ දිනයේ රෑට සියලුම ඡන්ද අපේක්ෂකයො ඒ අයගෙ ආධාරකරුවන්ට පාටි දානවා. දිනූ අයත් පැරදුන අයත් අනිවාර්යයෙන්ම පාටි දාලා සතුටින් විසිරිලා යනවා. යැයිද ෆොන්සේකා මහතා පැවසීය.

මැතිවරණය දා ඡන්ද විමසීම අවසන්වූ පසු ඡන්ද පත්‍රිකා ගණන් කිරීම සිදු කරනු ලබන්නේ ද එම ඡන්ද මධ්‍යස්ථානයේදීමය. එක් එක් ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රතිඵල ඡන්ද පොළ බාර නිලධාරියා විසින් මැතිවරණ කොමිසම වෙත විද්‍යුත් තැපෑලෙන් (ඊමේල්) යවනු ලැබේ. සෑම ඡන්ද මධ්‍යස්ථානයකින්ම ලැබෙන ප්‍රතිඵල එකතු කොට මැතිවරණ කොමිසම විසින් සමස්ත ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනු ලබයි. මේ අනුව ඡන්ද විමසීම අවසන් වී පැය 3ක් හෝ 4ක් ඇතුළත සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වන බැවින් මැතිවරණයෙන් ජයගන්නේ කුමන පක්ෂයද කුමන අපේක්ෂකයින්ද යන්න කඩිනමින්ම දැන ගැනීමට හැකි වන බව පසුගිය මැතිවරණ කිහිපයකම ඡන්ද මධ්‍යස්ථාන නිලධාරියකු වශයෙන් කටයුතු කොට ඇති උදය ගෝවින්න මහතා මා සමග පැවසීය.

නාම යෝජනා බාරදුන් දිනයේ සිට මැතිවරණය පවත්වා සති ගණනක් යනතුරුත් කෝලාහල මිනී මැරුම් ආදී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන ශ්‍රී ලංකාවේ අප ඕස්ට්‍රේලියාවේ මැතිවරණ ක්‍රමය දෙස බලා සැනසෙනවා හැර වෙන කුමක් කරමුද?

දයා ලංකාපුර ( උපුටා ගැනීමකි)
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!