Gossip

“බිරිඳ නැතිවුණු එක මට දරා ගන්න බැරි වේදනාවක්”

ආත්මා ලියනගේ වැඩිහිටි මෙන්ම වත්මන් තරුණ පරපුර අතර ද තවමත් ඉතාමත් ජනප්‍රිය ගායකයෙක්.
 
ඒ උච්ච ස්වරයෙන් ගීත ගායනා කිරීමට ආත්මා සතුව ඇති විශ්මිත හැකියාවයි.
 
ඔහු ගායනා කල මාලී සිහින කුමාරී, ලියතඹරා, සමනළියා, කන්ද උඩින් වැනි මුල් යුගයේ ගීත එදා තරුණ තරුණියන් අතර අතිශයින් ජනප්‍රියවුණු අතර තවමත් ඒ ජනප්‍රියත්වය එක ලෙස පවතී.
 
එසේම දිගු නිහැඬියාවකින් පසුව ආත්මා ගැයූ ආයෙමත් ආදරෙන් ගීතයද වර්තමාන තරුණ පරපුර අතරද ආත්මා ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම නැංවීමට සමත්වී තිබේ.
 
ආත්මාගේ මේ ජනප්‍රියත්වයේ රහසක් තිබේ. ඒ මෙම ගීතවල ඇති නැවුම් පද මාලාවයි.
 
මෙම ගීත බොහොමයක්ම රචනා කර ඇත්තේ කුමාරි ලංකායි.
කුමාරි ආත්මාගේ ආදරණීය බිරියයි.සෑම සාර්ථක මිනිසකු පිටුපසම ගැහැනියක සිටී යන කියමන සැබෑකරමින් ආත්මාගේ ජීවන සහකාරිය මෙන්ම නිර්මාණ ගමනේ සහකාරිය වූයේ ඇයයි.
 
මාලී සිහින කුමාරී
ආවේ නිදි නැති යාමේ…
පවනේ සැලෙනා රහසේ
අඳුරේ සරනා .. සෙනෙහේ…
 
ආත්මාගේ මුවෙන් ගැයෙන කුමාරි ලංකා පදරචනය කළ මේ ගීතය අදත් රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රියයි.
 
බිරියගේ සිතුවිලි සැමියාගේ මුවෙන් ගයමින් සුවහසක් රසිකයන් ‍පිනවූ මේ දෙපොළ අද දෙතැනකය. එයට හේතුව දැනට මාස තුනකට පමණ පෙර ආත්මා ලියනගේ නම් සොඳුරු ගායකයාගේ බිරිය කුමාරි ලංකාගේ හදිසි වියෝවයි.
ඇයගේ අඩුව සැමියාටත් දරුවන්ටත් පමණක් නොව සුවහසක් ලාංකික ගීත රසවිඳින්නන්ට පාඩුවක් වනුයේ ඇය ඉතා දක්ෂ ගේය පද රචිකාවක වන නිසායි.
 
මේ සොදුරු ගායකයා හමුවී ඔහු සමග පිලිසදරක යෙදීමට අපට හැකියාව ලැබුනා.
‘ බිරිඳ කුමාරි ලංකා අපෙන් සමුගෙන මාස තුනක් ගතවුණා. තුන්මාසයේ දානය දී ඇයට පින් පැමිණවුයේ පසුගිය මාසයේයි.
බිරිඳ නැති වු මුල් දිනවල ඇයගේ වියෝව මටත් පුතුන් දෙදෙනාටත් දරාගත නොහැකි තරම් වේදනාවක්.’
 
හෙණයක් පාත් වුණා වගේ මොකක්ද අපේ ජීවිතවලට සිදුවුණේ කියා කරන කියන දෙයක්වත් හිතාගන්න බැරිව ගියා. ඒ නිසාම ඇයගේ දේහය දිනකට වඩා තියා ගත්තේ නැහැ.
ඒක නිසා වෙන්න ඇති කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් ඒ ගැන දන්නේ නැත්තේ.
දැන් ටික ටික අපේ පවුල යථා තත්වයට පත්වෙමින් සිටිනවා. එහෙත් ඇය නැති අඩුව අපි ජීවත්ව සිටින තුරු දැනේවි.
 
ඔබගේ බිරියට හිටි හැටියේම මෙවැනි රෝගී තත්ත්වයක් ඇතිවුණේ ඇය මීට පෙරත් කිසියම් රෝගයකින් පෙළුණාද.
 
ටික කලක් ඇය ඇසේ ආබාධයකට ප්‍රතිකාර ලැබුවා.පසුව එය සුවවුණා. ඉන් පසුව කිසිම රෝගයක් තිබුණේ නෑ. එකවරමයි මොළයේ නහරයක් පුපුරා මියගියේ. අපිට කියා කිසිම දෙයක් කරන්න ඉතුරු වුණේ නෑ.ඇයට අපිව හැරදා යන්න ගතවුණේ නිමේෂයයි. මිය යන විට ලංකාගේ වයස අවුරුදු 51යි.මේ තරම් ඉක්මනින් අප හැරදමා යයි කියා අපි සිහිනෙකින්වත් හිතුවේ නැහැ.
 
ගත වු මාස තුන කොහොමද සංගීත වැඩත් සමග නිවෙසේ වැඩ කටයුතු කරගෙන ගියේ.
අම්මා නැති අඩුව ලෙහෙසි පහසුවෙන් පියකුට සම්පූර්ණ කළ නොහැකියි. කොහොමද ඒ සියල්ලට මුහුණ දුන්නේ.
ලංකා කවදාවත් නිවසේ වැඩ වලට මාව සම්බන්ධ කර ගත්තේ නැහැ.
සෑම විටම මට සංගීතය පැත්තෙන් හොඳ ගමනක් යන්නට උපරිම සහයෝගය දී නිවසේ වැඩවලින් මාව නිදහස් කළා.
 
ගෙදර සියලු වැඩයි පුතුන් දෙදෙනාගේ වැඩයි සොයා බලා නොපිරිහෙලා ඉටු කළේ ඇයයි. නැතිවුණාමයි දැනුණේ මම මොනවද ගෙදරට කළේ කියා. ඒ තරමටම ඇය අපිට ශක්තියක්.
මේ දිනවල මගේ අක්කාත්, අම්මාත් අපේ නිවසේ සිටිමින් දරුවන් දෙදෙනාගේ වැඩත් මගේ වැඩත් සොයා බලා කරනවා. ඒක මට ලොකු ශක්තියක්.
 
ඔබේ බිරිය හොඳ ගී නිරිමාණ ශිල්පිනියක්.ඔබ ගායනා කරන ගීත රැසක්ම ඇය ලියන ලද ඒවා.
ආත්මා ලියනගේ කියන ගායන ශිල්පියාව ලංකාවම හඳුනා ගත්තේ ලියතඹරා ගීතයෙන්. ලියතඹරා ගීතයේ පද රචනය බිරිඳ කුමාරි ලංකාගේ.
ඉන් පසුව ලියතඹරා 1,2,3ට ම ගීත ලියා තිබෙනවා. එපා කඳුළැල් සලා, මාලී සිහින කුමාරි ගීතත් කුමාරි අතින් ලියැවුණු පදවැල්.
 
එම ගීත අදත් ජනප්‍රියයි.අප දෙදෙනා එක් වූ දා පටන් ඇය මගේ සංගීත නිර්මාණ දිවියට විශාල අත්වැලක් වුණා.දැනට ගීත 45ක් පමණ ගායනාකර තිබෙනවා. එයින් වැඩි ගීත ප්‍රමාණයක් ඇයගේ පද වැල්.
 
බිරිඳ සංගීත ක්ෂේත්‍රයට දැක්වු ඇල්ම නිසාම පුතුන් දෙදෙනා ගායකයන් කිරීමට විශාල බලාපොරොත්තුවකින් ඉන්න ඇති.ඒ ගැන ඔබ සමග කතා කරලා නැද්ද..?
ලොකු පුතා මයුර ලියනගේ.කළුතර විද්‍යාලයේ වානිජ විෂයයන් හැදෑරුවේ.
දැනටමත් සංගීතය පැත්තෙන් ගොඩක් දේවල්කර තිබෙනවා. අපේ නිවසේම ඔහුට ස්ටූඩියෝ එකක් පවත්වාගෙන යනවා.බිරිඳ ලොකු ‘පුතාට දේදුන්න වගේමයි’කියා ගීතයක් ලියන්න පටන්ගත්තත් එය අවසන් කරන්න ලැබුණේ නෑ.
 
එයා හරි ආසාවෙන් හිටියේ දරුවන් දෙදෙනා හොඳ කලාකරුවන් වෙනවා දකින්න.
ඇයගේ වියෝවත් සමග පුතාලා දෙදෙනාගේ වැඩ ගොඩාක් පස්සට ගියා.මා ගායනා කරන ‘අහිමි නෙතු අග ‘ගීතය සංගීතවත් කළේ පුතා.තවත් ජනප්‍රිය ගායකයන් දෙදෙනකුට ගීත 2ක් සංගීතවත්කර තිබෙනවා.
 
ඒවා තවමත් එළි දැක්වුයේ නැහැ.ලබන වසරේ මුල වගේ පුතා එයාගේම නව නිර්මාණකින් රසිකයන් අතරට එයි. දැනටත් මගේ ගීත ප්‍රසංගවල ගායනා කරනවා. පොඩි පුතා කුමරු ලියනගේ පසුගිය වසරේ උසස්පෙළ හැදෑරුවා කලා අංශයෙන්. දැනටනම් පොඩි පුතා කියන්නෙ මගේ ගීත ගායනා කරන්නෙ නැහැ කියා.දැනටමත් මගෙනුත්, අයියාගෙනුත් උපදෙස් අරගෙන බටහිර සංගීතය හදාරනවා.
 
ඔබ දශක තුනකට ආසන්න කාලයක් ක්ෂේත්‍රයේ එකලෙසම ජනප්‍රියත්වය රඳවාගෙන සිටින ගායකයෙක්.වර්තමානයේ අලුතෙන් එන ගී නිර්මාණ හා ගායක, ගායිකාවන් ගැන මොකද හිතන්නේ..
හැමදාමත් කාලෙන් කාලෙට ක්ෂේත්‍රයට නවකයන් එනවා.
අමරදේව මාස්ටර්ගෙන් පසුව වික්ටර් රත්නායක යුගය ඉන්පසුව තව යුගයක් ඔය විදිහට කාලෙන් කාලෙට විවිධ තැනැත්තන් ක්ෂේත්‍රයට එනවා.විවිධ නිර්මාණ කරනවා.
 
ඒක අපි කාටවත් නවත්වන්න බැහැ.නමුත් එහෙම ආවා කියා හැම දෙනාම ක්ෂේත්‍රයේ රැඳෙන්නෙ නෑ. හොඳ නිර්මාණ කළ පිරිස රැ‍ඳෙනවා. අනෙක් පිරිස හැළෙනවා. ඔය තියරිය ඉදිරියටත් සිදුවෙයි.
 
බිරිය නොමැති නිසා නිවසේ වැඩත් සමග කාර්ය බහුලව සිටින නිසාවෙන් ඔබට පෙර මෙන් සංගීත සංදර්ශනවලට සහභාගි වීමට අවස්ථාව ලැබෙනවද..
බිරිඳ මියගොස් මාසයක් පමණ වනතුරු ප්‍රසංග සඳහා සහභාගි වුයේ නැහැ.දැන් ටික ටික ප්‍රසංග භාර ගන්නවා. බොහෝ වෙලාවට පුතාල දෙන්නගෙන් කෙනෙක් මා සමග ප්‍රසංගවලට යනවා.
ගෙදරට අවශ්‍ය ආහාර පාන ගේන එකත් කරන්න වෙලා.ඒවා ගෙදර ඉන්න වෙලාවට කරනවා.
 
අක්කාත්, අම්මාත් අපේ නිවසේ සිටින නිසා බියක් නැතිව ගෙදරින් යන්න පුළුවන්. ඉස්සර වගේ දැන් ‍වගකීම්වලින් මිදිලා ඉන්න බැහැ.
 
පුතාල සමහර වෙලාවට අම්මාට බැහැ කියපු දේවල් දැන් මම කරන්න කියනකොට හා කියනව. ඒ තරමට දරුවො දෙන්න මගේ හිත රිදවන්න කැමැති නෑ.
බිරිඳගේ බලාපොරොත්තු ඉටු කරමින් දරු දෙදෙනාව යහපත් මිනිසුන් කර ඔවුන්ට හොඳ අනාගතයක් සලසා දෙමින් අනාගතයට මුහුණ දෙනවා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!