Gossip

“එළියට ගිය ගමන් මම උඹව මරවනවා මරනවාමයි.” ආමි අසිතට වෙඩි තිබ්බේ හර්ෂ මැරූ පළිය ගන්නද?

ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවට ඕනෑම සිදුවීමක් මතක තියෙන්නේ සති දෙකක කාලයක් පමණක් යැයි එල්.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වරෙක පවසා තිබිණි.
මෙරට ජනතාවගේ ක්‍රියාකලාපය අධ්‍යයනය කරන විට ඒ කතාවේ ඇත්තක් තිබෙන බව වැටහුණ ද එලෙස සති දෙකකින් නොව ජීවිත කාලය පුරාම සමහර දේවල් මතක තබාගෙන සිටින කොට්ඨාසයක් ද මෙරට සිටී. ඒ.. පාතාල කල්ලි සාමාජිකයන්ය.
ඔවුන් සිය විරුද්ධ කල්ලි සාමාජිකයන් තම කල්ලියට එරෙහිව සිදු කළ පුංචිම පුංචි දේවල් පවා හොඳ හැටි මතක තබාගෙන කවදා හෝ ඒ … වෙනුවෙන් පළිය ගන්නට මාන බලමින් සිටින බවත්, එලෙස අවස්ථාව ලද වහාම පළිය ගන්නා බවත් මෙරට පුරා සිදුවන පාතාල කල්ලි ගැටුම් වලින් මනාව පිළිඹිබු වේ.
බොරැල්ල , කොටාපාර දුම්රිය මාර්ගය අසල දී පසුගිය විසි වැනිදා සවස හයයි තිස් පහට පමණ වෙඩි තැබීමත් එවැනි සිදුවීමක් බවට අනාවරණය වී ඇත.
ළඟම ඥාතීන් කිහිප දෙනකු සමඟ ඔහු මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී යතුරු පැදියක පැමිණි දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකොට පලා ගියහ. රියදුරු අසුනේ සිටි පුද්ගලයා ඉලක්ක කොට මෙම වෙඩි තැබීම සිදුකර තිබු අතර ඔහුගේ උදරය ප්‍රදේශයට එල්ල වූ වෙඩි පහරින් හෙතෙම බරපතල ලෙස තුවාල ලැබීය.
මෙලෙස වෙඩි පහරට ගොදුරුව තුවාල වූ පුද්ගලයා කවුරුන්දැයි සොයා බැලීමේ දී හෙළි වුයේ ඔහු රණාලේ සමයං කල්ලියේ ප්‍රබල සාමාජිකයකු වන දොන් රණසිංහ ආරච්චිගේ ප්‍රසාද් කුමාර නොහොත් “ආමි අසිත” බවයි.
අපරාධ ලොවේ මොහුට හොඳ ඉතිහාසයක් ඇත. ඒ… යුද හමුදා සේවයෙන් ඉවත්ව සිටි අයකු බැවින් ඉලක්කයට වෙඩි තැබීමේ හැකියාව හේතුවෙන් විරුද්ධ කල්ලි සාමාජිකයන් වෙඩි තබා ඝාතනය කිරීම නිසාය. වෙඩි පහරට ගොදුරු වන විට මොහු මහාධිකරණ ඇප මත සිටියේය. ඒ… මාකඳුරේ මදුෂ්ගේ දකුණු අත වන් ගෝලයකු වූ හර්ෂ යසස් ජයසේකර යන අය වෙඩි තබා ඝාතනය කළාය යන චෝදනාවට මොහු පොලිස් අත්අඩංගුවට පත්ව පසුව රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටිම නිසාය.
හර්ෂ යසස්ගේ අපරාධ ඉතිහාසය ආමි අසිතට වඩා බොහෝ ප්‍රබලය. දකුණු පළාත් සභා මන්ත්‍රී වරයකු මෙන්ම හිටපු ජනාධිපති වරයාගේ සම්බන්ධීකරක ලේකම් වරයකු ලෙස ද කටයුතු කළ ඩැනී හින්කැටිය මහතාට වෙඩි තබන්නේ හර්ෂය. එම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට පත් හර්ෂ ඒ වන විට ද නොයෙක් අපරාධ වලට සම්බන්ධව සිටියේය.
දකුණේ පාතාල නායක මාකඳුරේ මදුෂ් ගේ ළඟම හිතවතා මෙන්ම හොඳම ගෝලයා ද, හොඳම වෙඩික්කරු ද වු හර්ෂ එම ඝාතනයට රක්ෂිත බන්ධනාගාර ගතවන අතර මාස කිහිපයකට මහාධිකරණ ඇප මත මුදා හැර තිබිණි.
ඉන් අනතුරුව කොළඹට එන ඔහු යළිත් අත්අඩංගුවට පත්වන්නේ ඔහු කරගෙන ගිය අපරාධ අතර කොළඹ ප්‍රදේශයේ දී සිදුකළ අපරාධයක් සඳහාය.
අලුත් කඩේ අධිකරණයට ඉදිරිපත් කළ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන අතර ඔහුගේ හිතවතෙකුව සිට පසුව විරසක වූ රණාලේ සමයං ද ඒ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ කල්ගත කළේය. හර්ෂ මීට පෙර සමයං ගේ අවශ්‍යතාව මත ද පුද්ගලයකු ඝාතනය කර තිබිණි. ඒ…කඩුවෙල, රණාලේ පදිංචිව සිටි “චරා” යන අනවර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයාය.
සමයං ගෙන් ලබාගත් රුපියල් ලක්ෂ පහක කොන්ත්‍රාත්තුවකට “චාර”මරා දමන නමුත් එම මුදල හර්ෂට ලැබෙන්නේ නැත. ඒ වන විටද සමයං ඇතුලේ සිටි අතර මුදල නොලැබීම හේතුවෙන් හර්ෂ සමයං සමඟ වෛර බැඳගත්තේය. ඒ වන විට ද හර්ෂ මාකඳුරේ මදුෂ් ගේ හොඳම ගෝලයකු වී සිටියේය.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය හර්ෂ ට සමයං හමුවිය. තමාට ලබාදෙන බවට පොරොන්දු වු රුපියල් ලක්ෂ පහ දැන්වත් ලබාදෙන ලෙස හර්ෂ සමයං ගෙන් ඉල්ලා සිටියේය. එහෙත්… ඒ දිනවල කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ චන්ඩියකු වී බලය පතුරුවාගෙන සිටි සමයං හර්ෂගේ ඉල්ලීම තඹයකටවත් ගණන් ගත්තේ නැත. එහි අවසන් ප්‍රතිඵලය වුයේ හර්ෂ සිය ශක්තිය පෙන්වීමය. එනම් සමයං දන ගැස්ස වූ හර්ෂ ඔහුට හොඳ හැටි පහර දුන්නේ ඔහුගේ ගෝල බාලයන්ට ද ළං වීමට ඉඩ නොතබමිනි.
“එළියට ගිය ගමන් මම උඹව මරවනවා මරනවාමයි.”
ගුටි කෑ ලැජ්ජාව ඉවසා සිටිය නොහැකි නැත සමයං එලෙස හර්ෂ ට අනතුරු ඇඟවිය.
දෙදහස් දාසය වර්ෂයේ පෙබරවාරි මස විසිහය වැනිදා හර්ෂ යසස්ශ්‍රීට ඇප ලැබිණි.
ඒ….අලුත් කඩේ අධිකරණයෙනි.
ඇප ලැබුණු නමුත් ඔහු එදින අධිකරණ භූමියෙන් පිටව නිවෙස බලා යන්නට ගියේ නැත. ඒ තමා එළියට එන තුරු මාරයා බලා සිටින බව දැන සිටි නිසාය. ඇප ලැබීමෙන් අනතුරුව බන්ධනාගාර බසයට ගොඩ වු ඔහු වැලිකඩ බන්ධනාගාරයට ගොස් එදින ගෙවා දැමීය.
ඊට පසු දින එනම් 27 වැනිදා උදේ ඔහු බන්ධනාගාරයෙන් පිටව යන්නේ සමයං කල්ලියේ සියල්ලන්ගේම ඇස් වැසු බවත් දැන් තමන්ට සැඟවී සිටීමට හැකි බවත් තමා සිටින්නේ කොහිදැයි කාටවත් සොයා ගැනීමට නොහැකි වු ඇති බවත් සිතමිනි.
ඔහු කෙලින්ම පැමිණෙන්නේ රාජගිිරිය ඔබේසේකරපුර අරුණෝදය මාවත අංක 133 දරණ ලිපිනයේ පදිංචි සිය බිරිය වෙතටය. එලෙස නිදහස ලබා ආ ඔහු ඊට පසුදින උදේන් ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා පවුලේ අය ද සමඟ පිටත්ව යන්නේය.
ශ්‍රී පාදය වන්දනා කොට සීත ගඟුලෙන් දිය නා පවු සෝදා ගන්නා හර්ෂ යළි රාජගිරිය ඔබේසේකරපුර මුඩුක්කු නිවාසයට එන්නේ මාර්තු මස දෙවැනිදාය. හර්ෂ සිය බිරිය සමඟ පදිංචිව සිටින මුඩුක්කු නිවෙස අඩි අටක් පමණ පළල අඩි හයක් පමණ දිගකින් යුතු ඉතා කුඩා පැල්පතකි. එහි මේ යුවලට අමතරව බිරියගේ නැන්දා බිරියගේ වැඩිමල් සහෝදරිය සහ ඇයගේ සැමියා ද ජීවත් වෙති.
මාකඳුරේ මදුෂ් ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබලයකු මෙන්ම ඔහුගේ ළඟම ගෝලයා වු නමුත් මදුෂ් හර්ෂට අතපය දිග හැර වියදම් කිරීමට මුදල් ලබා දී තිබුණේ නැත. එබැවින් මදුෂ් ට මුදල් හරි හම්බ කර දුන් හර්ෂ ට උරුම ව තිබුණේ අතපය දිග හැර නිදි සුව විඳිමට පවා ඉඩකඩ නොමැතකි ජරාවට ගිය පැල්පතකි.
එදින රාත්‍රිය ගෙවී ගොස් මාර්තු මස තුන් වැනිදාට පහන් විය. එහෙත් හර්ෂ නිදි පැදුරෙන් පිබිදුණේ නැත. දහවලට ආසන්න වෙද්දී නින්දෙන් පිබිදුණ හර්ෂ තව ටික වේලාවක් කම්මැලි කමින් සිට දහවල් ආහාරය ගැනීමට සුදානම් විය. ඒ වන විට වේලාව දහවල් එකහමාර පමණ වී තිබිණි.
මුඩුක්කු කාමරයේ වු බංකුව මත හිඳගත් හර්ෂ බිරිය බෙදා ගෙනවිත් දුන් බත් පත අතට ගෙන කටවල් තුන හතරක් මුවට ඔබා ගත්තේය. ඒ… සමඟම ඔහුගේ නෙත් ඉදිරිපස දොරටුව වෙත යොමු විය. කළු ජැකට්ටුවක් හැඳ කලු පැහැ වයිසරයක් සහිත හෙල්මටයක් දමාගත් පුද්ගලයකු දොර අසල සිටිනු හර්ෂ දුටුවේය.
දුටු දෙයින් හර්ෂ කලබලයට පත්විය. එදා සිරගෙදර දී සමයං සපථ කළ දෙය දැන් සිදුවන්නට යන බව නොඅනුමානය. පැන දිව යා හැකි මඟක් හෝ ක්‍රමයක් ද නැත. දොර අසල සිටි පුද්ගලයා ක්ෂණයකින් පිස්තෝලයක් ගෙන හර්ෂ වෙත වෙඩි පහර තුනක් එල්ල කළේය.
ඉන් උණ්ඩ දෙකක් නිදැල්ලේ ගිය නමුත් එක් උණ්ඩයක් හර්ෂගේ පපුව පසාරු කරගෙන ගියේය. එම වෙඩි පහර කාගෙන එතැනින් පැනගත් හර්ෂ වැසිකිලියට රිංගා දොර වසා ගත්තේය.
හර්ෂ එලෙස ගොස් සැඟවුණ ද එල්ල වූ වෙඩි පහරින් ඔහු අනිවාර්යයෙන්ම මිය යන බව වටහා ගත් පිස්තෝලකරු කිසි කලබලයකින් තොරව අඩිපාර දිගේ ගොස් ප්‍රධාන පාරට පිවිසියේය. ඒ අසල මොහු පැමිණි යතුරු පැදිය පනගන්වාගෙන පැදිකරු මොහු එනතුරු බලා සිටියේය. මොහු යතුරු පැදියේ පිටුපස අසුනට ගොඩ වූ අතර පැදිකරු එය වේගයෙන් පදවාගෙන ඔබේසේකරපුර මාර්ගයෙන් පිටව යන්නට ගියේය.
වැලිකඩ පොලිසිය මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ අතර බස්නාහිර දකුණු විශේෂ (මිරිහාන) අපරාධ මෙහෙයුම් ඒකකය ද පරීක්ෂණ සඳහා එක්විය. ඒ අනුව එම ඒකකය සිදුකළ විමර්ශන වල දී හර්ෂ යසස් ශ්‍රී ඝාතනයට සම්බන්ධ කිහිප දෙනකු පිළිබඳ තොරතුරු හෙළිවිය.
කළු සාගර, ඩී මංජු, සංජු, සුරංග යන සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට ද වෙඩි තැබීම සඳහා උපයෝගී කරගත් රිවොල්වරය සොයා ගැනීමට එම ඒකකය හැකිවිය. අත්අඩංගුවට පත් පාපොච්චාරණයෙන් හෙළි වුයේ වෙඩි තැබීම සිදුකළේ “ආමි අසිත” බවය.
පසුව ඔහු ද අත්අඩංගුවට ගන්නා අතර මුඩුක්කු නිවෙසට ගොස් හර්ෂට වෙඩි තැබුවේ තමා බව හෙතෙම පිළිගත්තේය.
පසුගිය විසි වැනිදා කොටා පාර රේල් ගේට්ටුව අසල දී අසිතට වෙඩි තැබුවේ හර්ෂ ඝාතනය කිරීමේ පළිය ගැනීමට විය හැකි බවට පරීක්ෂක කණ්ඩායම් වලට සැකයක් මතුව ඇත. එය එසේ නම් මෙම වෙඩි තැබීම ද මාකඳුරේ මදුෂ් ගේ වැඩකි.
අසිත ට වෙඩි තැබීමේ සිද්ධියට මුල් වූ තවත් පැත්තක් තිබෙන බව ද පරීක්ෂණ කණ්ඩායම් වලට වැට හී ඇත. ඒ… අලුත් කඩේ අධිකරණ සංකීර්ණය අසල දී හුසේන් යන අය වෙඩි තබා ඝාතනය කිරීමය. ඔහු ද මදුෂ් ගේ ළඟම හිතවතෙකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!