Gossip

“රට තුළ ත්‍රස්ත ප්‍රහාර එල්ලවෙන මොහොතක මගේ විවාහය ජයට ගන්න මට පුළුවන් කමක් නැහැ” – අනූෂා දමයන්තිගේ විවාහය යළිත් කල් යයි

රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් විදිහටත් බොහෝ දෙනා ඇලුම් කරන අනුෂා දමයන්ති පසුගිය මැයි 23 වැනිදා යුගදිවියට පිවිසෙන්නටයි සූදානමින් හිටියේ.
නමුත් එම විවාහය සැලසුම් කර තිබූ විදිහට, ඇගේ විවාහය මැයි 23 වැනිදා පැවැත්වුණේ නැහැ.
ඒ ඇයි කියලා අනූෂා දමයන්ති සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

හදිසියේම මොකද වුණේ අනුෂා ….?
ආයෙමත් වතාවක් මට මගේ විවාහය කල් දමන්නට සිදුවුණා. රට තුළ ත්‍රස්ත ප්‍රහාර එල්ලවෙන මොහොතක මගේ විවාහය ජයට ගන්න මට පුළුවන් කමක් නැහැ.
ඒ නිසා මංගල ආරාධනා යවලා මැයි 23 සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පවත්වන්නට නියමිතව තිබුණු මගේ විවාහය කල් දැම්මා.

ඔබ මීට පෙරත් අවස්ථා කිහිපයක්ම විවාහය මේ විදියට කල් දැමුවා නේද?
විවාහය සැහැල්ලුවෙන් නොගන්නා නිසා තමයි නියම අවස්ථාව එනතුරු විවාහ නොවී ඉන්න මම තීරණය කළේ.
මීට පෙරදී නම් මගේ රංගන කටයුතු වෙනුවෙන් කාලය වෙන් කළ යුතු නිසා විවාහය කල් දැමුවත් මෙදා නම් රටම හඬන මොහොතක මට සතුටු වෙන්න බැරි නිසයි ඒ තීරණය පස්සට දැම්මේ.

ඉතින් දැන් හරියටම විවාහය සිද්ධ වෙන්නේ කවදාද?
රටේ තත්ත්වය යහපත් වුණාම අපි විවාහ වෙනවා.
බොහෝ වෙලාවට ජූලි මාසයේ ඒ ලස්සන දවස උදාවේවි. මේ අවුරුද්දේ මල්ඵල ගැන්වෙන්නේ අවුරුදු 10ක ආදර කතාවක්.

ඒ ආදර කතාවේ ඇරඹුම ගැන කතා කරන්න කැමැතිද?
එයා මගේ රසිකයෙක්. 2008 දී ඩාන්සින් ස්ටාර් කරන කා‍ලේ රසිකයෙක් වගේ මුලින් කතා කරපු එයා පස්සේ යාළුවෙක් වුණා.
එයා නිතරම මට මැසේජ් කළා. එයා එවපු ඒ ඉර්ඉ වල මොකක්දෝ දෙයක් ගැබ්වෙලා තිබුණා. ඒක හරියට මාව පරිස්සම් කරන ගතියක්. අන්තිමට එයා මට ආදරේ ප්‍රකාශ කළා.

ඒ වෙනකොට හිටියෙ?
අපි යාළුවෝ විදිහට දුරකථනයෙන්, කතා කළා.
ඒත් අපි මුණගැහිලා තිබුණේ නැහැ. සාමාන්‍ය ගැහැනු ළමයෙකුට වගේ මට ඒ වගේ නිදහසක් තිබුණේ නැහැ.
අපේ අම්මා හිතුවේ මාව හොරු අරන් යාවි කියලයි. මම යන එන හැම තැනකම එයා ආවා.

එයාව දැකපු මුල්ම දවසේ මොකද හිතුනේ?
එයා මට විවාහ යෝජනාවක් ගෙනාවා. ගෙදරින් ඇවිත් අහන්න කියලා කිව්වත් ඊට කලින් මට එයාව දකින්න ඕනෑකම තිබ්බා.
ඉතින් අපේ ගේ ඉස්සරහ තිබ්බ ඉඩම ගන්න එනවා වගේ එන්න… මට ඔයාව බලන්න ඕනෙ කියලා මම කිව්වම එයා ආවා.
ඇවිත් මට කතා කළා. මම උඩ තට්ටුවට ගිහින් හැංගිලා එයා දිහා බලාගෙන හිටියා. එහෙම ඉඳගෙන මම එයාව ඒ වත්ත පුරා රවුමක් ඇවිද්දෙව්වා. හරිම සුන්දර තරුණයෙක් කියලයි මට හිතුණේ. ඒ විදියට පළවෙනි දවසේ මම රහසෙන් එයා දිහා බලාගෙන හිටියා. පස්සේ දවසක එයාගේ අම්මා, තාත්තා එක්ක විවාහ යෝජනාවක් අරගෙන අපේ ගෙදර ආවා.

මැණිකක් වගේ රැකගත්ත අනුෂව ඒ විදියහට නාඳුණනා අමුත්තෙකුට විවාහ කරලා දෙන්න අම්මා, තාත්තා කැමති වුණාද?
එයා ගොඩක් හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. ඒක අම්මලත් තේරුම් ගත්තා. ඒ නිසා එයාලා මේ යෝජනාවට කැමැත්ත දුන්නා.

ඒ කියන්නේ දුෂ්ටයෝ නැති බාධක නැති ආදර කතාවක්?
දුෂ්ටකම් කරන්න කවුරුත් ඉන්න හේතුවක් නැහැ. මම සිනමාවට ආවේ බොහොමත් අඩු වයසින්. ඒ වගේම මගේ බැඳීම වැඩියෙන් තිබුණේ වෘත්තියත් එක්කයි.
කොහොමත් මට ඕනෙකම තිබුණේ නටන්න, ඇඳුම් හදන්න මිසක් ආදරය කරන්න ‍නෙවෙයි.
එහෙම ඉන්න වෙලාවක තමයි එයා මේ විදියට විවාහ යෝජනාවක් අරගෙන ආවේ.

ඒ කියන්නේ ඔබට මීට පෙර ආදර යෝජනා ඇවිත්ම නැද්ද?
අ‍පොයි නැහැ. ගොඩක් යෝජනා ඇවිත් තියෙනවා. ඕන තරම් අය ආදරේ ඉල්ලලා තියෙනවා. ඒත් මට එහෙම හැඟීමක් තිබුණේ නැහැ.
කවුරු හෝ කෙනෙක් මට ආදරෙයි කිව්වොත් මම එයා එක්ක කතා කරන එක පවා නතර කරනවා.

එහෙම නම් ඇයි ඔයා මේ ආදරේට කැමැති වුණේ.
එයා හිතන පතන විදියට මම මුලින්ම කැමැති වුණා. එයාව දැක්කම ඒ හැඟීම තවත් වැඩිවුණා. මොකද එයා ගොඩක් ආදරණීයයි.

අම්මා නිතරම අනුෂගේ පස්සෙන්මයි. විවාහයෙන් පස්සෙත් ඒ වගේ පස්සෙන් එයිද?
අදටත් අපි එළියට යද්දී බොහෝ වෙලාවට අම්මත් අපිත් එක්ක එනවා. හැම වෙලාවෙම මාව පරිස්සම් කරනවා.
ඒත් විවාහයෙන් පස්සේ අම්මා තේරුම් ගනීවි, එයා මාව අම්මා වගේම රැක බලා ගන්නවා කියලා.

අනුෂා විවාහ වෙන්න කල් ගත්තා වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?
විවාහය කියන දේ මට ලොකුවට දැනුණු දෙයක් ‍නෙවෙයි. මොකද මගේ වෘත්තියත් එක්ක මම ගොඩක් කාර්ය බහුල වුණා. ඒ වගේම ආදරේ ගැන ලොකුවට දැනුනෙත් නැහැ. අනෙක මම මේ කාලයේ ක්ෂේත්‍රය පැත්තෙන් ජයග්‍රහණ බොහොමයක් ලබා ගත්තා.
මගේ විවාහය ඉක්මන් වෙලා තිබුණා නම් ඒ ජයග්‍රහණ මට නොලැබෙන්න තිබුණා. ඇත්තටම මට මගේ විවාහය ප්‍රමාද වීම ගැන කිසිම දුකක් හෝ පසුතැවීමක් නැහැ.
මොකද දෙයක් ලැබෙන්නේ, ලැබෙන්න තියෙන වෙලාවට කියන විශ්වාසය මට තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!