Gossip

මිලියන අසූවක ගීත ඇල්බම් ලොව පුරා අලෙවි වුණේ උණු කැවුම් වගෙයි

අසූව දශකයේ මුල් භාගයේදී ලන්ඩන් නුවර සංගීත ප්‍රසංගවල උඩ පැන පැන ගී ගැයූ විසි හැවිරිදි කඩවසම් ඉලන්දාරියා පසුකලෙක බටහිර පොප් ගී අඹරේ දිදුලන තරුවක් බවට පත්වුණේ තරුණ සිත් පුදුමාකාර විදියට වසඟ කරමිනුයි. මේ තරුණයා එක් රැයකින් බටහිර පොප් සංගීතයේ ඉහළටම ඔසවා තැබුවේ එදා සිය සමකාලීන සගයා ඇන්ඩෘ රිඩ්ලේ (Andrew Ridgeley) සමග එක්ව පිහිටුවාගත් වෑම් (Wham) සංගීත කණ්ඩායමේ මුල්ම ගීත එකතුවට ඇතුළත් වුණු ‘Wake me up before you go go‘ ගීතයයි.

එදා සිට තවත් දශක තුනක් එක දිගට සිය ජනප්‍රියත්වය නොනැසී පවත්වාගෙන යාමට ජොර්ජ් මයිකල්ට වාසනාව ගෙන දුන් අපූරු ගීතය ලාස්ට් ක්‍රිස්ට්මස් (Last Chrismas) හැම නත්තලකදීම බිඳුණු පෙම් සිත් සුවපත් කරවන්න සමත් වුණා. වසර 1984දී එළි දැක්වුණු මේ අපූරු ගීතය ගෙවුණු හැම නත්තලකදීම බටහිර ගීත ශ්‍රාවකයන් අතර යළි යළිත් ජීවමාන වුණා.

Last Christmas, I gave you my heart

But the very next day you gave it away

This year, to save me from tears

I’ll give it to someone special…!

ඒත් ඒ ගීතයේ හිමිකාරයාගේ අවාසනාවන්ත නික්ම යෑමත් එක්තරා නත්තල් උදාවක සිද්ධ වීම දෛවයේ සරදමක් වගෙයි.
අවුරුදු 53ක් වැනි කාලයක් තුළ බටහිර පොප් ගී අඹරේ යා හැකි උපරිම ඉහළට ගිය ජොර්ජ් මයිකල්ගේ ජීවන පහන නිවී ගියේ 2016 නත්තල් උදාවත් සමගයි.

2016 දෙසැම්බරයේ 25 වැනිදා හිරු උදාවෙද්දී මේ අපූරු හඬ සදහටම නිහඬ වී තිබුණා. ඔහු මියගොස් සිටියේ ලන්ඩනයේ පිහිටි සිය නිවහනේ ඔහුගේ කුටියේ නිදියහන මතදීමයි.
ඒක ස්වාභාවික මරණයක්. ඔහු අක්මාව ඉදිමීමේ රෝගයෙන් පීඩා විඳි කෙනෙක්.

සිය ජීවිතයේ අවසන් කාලයේ ලන්ඩනයේ ඔහුගේ සුපිරි මන්දිරයට වී හුදෙකලා ජීවිතයක් ගත කළ ජෝර්ජ් මයිකල්ගේ තනියට හිටියේ ඔස්ට්‍රේලියානු ජාතික තරුණයකු වූ ෆාඩි ෆවාස් පමණයි.
ෆාඩි කියන්නේ ජෝර්ජ් මයිකල්ගේ සහකාරයා බව නොකියාම බෑ.

සිය කටහඬත්, අපූරු නර්තනයත් නිසා ලොව පුරා තරුණියන්ගේ ඉමහත් ආකර්ෂණය ජොර්ජ් මයිකල්ට හිමිවුණත් ඔහුගේ සිත පිරිමින් වෙත ඇදී ගියේ කුඩා වියේ සිටමයි.
එය කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක් වගේම කිසිම මොහොතක ජෝර්ජ් මයිකල් පවා වසන් නොකළ සත්‍යයක්.

‘මම සමලිංගිකත්වයට ප්‍රිය කිරීම හරි ද වැරදිද කියන්න මම දන්නෙ නෑ. ඒ ගැන මම හොයන්න ගියේ නෑ. මම නිතරම හෙව්වේ මගේ ජීවිතයට නිවැරදි සහකාරයා කවුද කියන එක විතරයි.
‘සිය ලිංගික ජිවිතය ගැන ලන්ඩනයේ ටැබ්ලොයිඩ් පත්තර පිටු ගණන් ලිපි පළ කරද්දී ජෝර්ජ් මයිකල් කීවේ එවැනි කතාවක්.

පෞද්ගලික ජීවිතය කොහොම වුණත් ජෝර්ජ් මයිකල් කියන්නේ බටහිර පොප් ගීතයේ එංගලන්ත ලකුණ බව කවුරුත් දන්නවා. ඔහුගේ මිලියන අසූවක ගීත ඇල්බම් ලොව පුරා අලෙවි වුණේ උණු කැවුම් වගෙයි. ඔහුගේ ගීත 7ක්ම බ්‍රිතාන්‍ය ගීත දර්ශකයේ මුල් තැනට පත්වුණා. තවත් ගීත අටක්ම අමෙරිකානු බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ පෙරමුණ ගත්තා.

ඔහු ගැයූ කෙයාර්ලස් විස්පර් (Careless Whisper), ෆේත් (Faith), ෆාදර් ෆිගර් (Father Figure), වන් මෝ ට්‍රයි (One more try), මන්කි (Monkey), පසුකාලෙක ඔහුට බටහිර සංගීත ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ග්‍රැමී සම්මාන උලෙළේ ඉහළම අගැයීම ලබා දුන්නා.

ජොර්ජ් මයිකල් කාලෙන් කාලෙට විවිධ හිසකේ විලාසිතා, ඇඳුම් මෝස්තරවලින් තරුණයන් පිස්සු වට්ටපු ගායකයෙක්. ඔහුගේ හැම විලාසිතාවක්ම එංගලන්තයේ තරුණයන් අනුකරණය කළේ පුදුම ආසාවෙන්.

ඒත් ඒ සියල්ල ඔහුගේ අවාසනාවන්ත මරණයත් එක්ක වැළලිලා ගියා. සිය මෑණියන්ගේ සොහොන අද්දර සදාකාලිකව සැතපෙන මේ අපූරු ගායකයාගේ මතකය කාගෙත් සිත්වලින් වියැකී ගියත් තවත් සෑහෙන කාලයක් යනතුරු බටහිර ගීතලෝලින් අතර හැම නත්තලකදීම Last Christmas ගීතයෙන් ඔහු යළි යළිත් ජීවමාන වේවි.

සිළුමිණ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!