මේ වෙනකොට ආනන්ද වෙඩිසිංහ කියන්නේ කව්ද කියන එක හැමෝම දන්නවා. ඔහු දක්ෂ මෝටර් බයිසිකල් ධාවන තරඟකරුවෙක්.අනපේක්ෂිත මොහොතක ඔහුගේ ජීවිතය ක්‍රීඩාව වෙනුවෙන්ම පුජා කළා. ඒත් එක්කම ඔහුගේ පුත් කේන් වෙඩිසිංහ කරළියට පැමිණියා.මේ ඔහු සමග කළ කතාබහක්.
ආනන්ද වෙඩිසිංහ ඔබේ පියා මෝටර් බයිසිකල් තරඟයකදී මියගිය එක ගැන ඔබ පමණක් නෙමෙයි මුළු රටම කම්පාවට පත් වුණා. නමුත් ඔහුගේ සෙනෙහස ඔබට අහිමි වීම ගැන වෙන කාටත් වඩා දැනෙන්නේ ඔබටයි.එහෙම නේද..?
ඔව්. මගේ අම්මා ජපන් කාන්තාවක්. මම වගේම අම්මා බොහෝ කාලයක් ජිවත් වුණේ ජපානයේ. නමුත් තාත්තාගේ ආදරේ අපිට කවදාවත් මග හැරුනේ නැහැ. මොකද අපි සැරින් සැරේට ලංකාවට ආවා. තාත්තා වුණත් අපිව බලන්න නිතරම ආවා. ඒ නිසා මට කවදාවත් මගේ තාත්තාගේ අඩුවක් දැනුණේ නැහැ. එයා දැන් ජිවතුන් අතර නැහැ කියන එක මට තවම හිතා ගන්න බැහැ වගේම අඩුව තදින් දැනෙනවා.
ඔහු මිය ගියේ තරගයට අවශ්‍ය පසුබිම නැතිකම නිසා කියලා ඔබ කියනවා..?
මගේ තාත්තා වගේම මමත් ලංකාවේ විතරක් නෙමෙයි ජපානයේ පවා ක්‍රීඩා කළා. මම දන්නවා ඒ පසුබිම හොදට. මම තවම පොඩි වයසක ඉන්න කෙනෙක්.මගේ වයස අවුරුදු 24යි. මට වඩා ක්‍රීඩාවෙන් පරිණත අයනේ එතැන හිටියේ. ඒ අය හොදටම දන්නවා මගේ තාත්තා මැරුණේ කොහොමද කියලා. තාත්තා මැරෙන්න ඕන කෙනෙක් නෙමෙයි. ජිවත් වෙන්න ඕන කෙනෙක්. නමුත් තව කෙනෙක් නිසා මගේ තාත්තා මැරුණා. ඒකට වගකියන්න ඕන බොහෝ අය ඉන්නවා.
ඔබ කියන්නේ ඔබේ පියා එක්ක කරට කර තරග කරමින් හිටිය සුරාජ් පෙරේරාත් වග කිව යුත්තෙක් කියලද..?
අනිවාර්යෙන්ම ඔව්. ඒ තරගයේ වීඩියෝ එක බලන ඕනෑම කෙනෙක්ට තේරෙනවා ඒක සුරාජ් කළේ හිතාමතා කියලා. තාත්තාව මැරුවේ හිතාමතා නොවුණාට තාත්තාගේ බයික් එක වැද්දුවේ හිතලාමයි. මම කැමතියි සුරාජ්ගෙන් අහන්න එයාගේ හිත රිදුණේ නැද්ද මගේ තාත්තාට මෙහෙම කළාට කියලා. ඒ වගේම අපේ හිත් රිද්දලා මගේ තාත්තාව මගෙන් උදුරා ගත්තේ ඇයි කියලා.
සුරාජ් පෙරේරා ඔබේ පියාගේ දේහයට අවසන් ගෞරව නොදැක්වීම ගැන ඔබ කණගාටුවෙන්ද..?
මට කිසිම කෙනෙක් එක්ක තරහක් නැහැ. මොකද මම තරහා ගත්තා කියලා මගේ තාත්තා මට ආයෙමත් ලැබෙන්නේ නැහැනේ. නමුත් මට දුකයි. මේ රටේ මිනිස්සු මගේ තාත්තාට කොච්චර ආදරෙයිද. ඒත් එයා එක්ක සෑහෙන කාලයක් තරග කළ සුරාජ් වරදක් වෙලත් අපේ තාත්තාගේ මරණයට ආවේ නැහැ කියන්නේ මනුස්සකමක්වත් සුරාජ් ළග නැහැ කියන එකයි.එයාට මනුස්සකම නැහැ. එයාගේ හිත දන්නවා මේ වුණේ වරදක් කියලා. ඒ නිසයි ආවේ නැත්තේ. මම මුල් දවසේ නම් එයා වැරදියි කියලා හිතුවේ නැහැ. නමුත් දැන් මට හිතෙනවා එයා තමයි මගේ තාත්තාව නැති වෙන්න හේතුව කියලා. අඩු තරමින් කතා කරලා දුක ප්‍රකාශ කළේවත් නැහැනේ. ඒකටද මනුස්සකම කියන්නේ.
ක්‍රීඩාවේදී ඔබේ මුල්ම ගුරුවරයා ඔබේ පියා.ඔබ ජපන් ජාතිකයෙක් වුණත් පියාගේ නම ඉදිරියට ගෙනියන්න ඔබට මේ රට තුළ බාධාවක් නෙමෙයි එහෙම නේද..?
මගේ තාත්තාට තියෙන ආදරේ මගේ ඇස් දෙකින් මම දැක්කා. මම ටික කාලයක් ලංකාවේ ඉගෙන ගත්තේ මහනුවර ගේට්වේ විද්‍යාලයෙන්. ජපානේ ගියේ හොදට රේස් පදින්න ඉගෙන ගන්නයි. මගේ තාත්තා තමයි මට කිව්වේ පුතේ ඔයත් රේස් පදින්න ඕන මම වගේම කියලා. මට මතකයි මම මුලින්ම බයික් එකකට නැග්ගේ මට වයස අවුරුදු 5ක් විතර තියෙද්දී. බයික් රේස් කියන්නේ ජිවිත අවධානම්. නමුත් තාත්තා රේස් කරන විදිහ දැක්ක නිසයි ඒ ආසාව මටත් ආවේ.මම ලබන අප්‍රේල්වල තියෙන තරගයට සම්බන්ධ වෙන්න දැන් ඉදලම පුරුදු වෙන්න හිතාගෙන ඉන්නේ. තව ටික දවසකින් මමයි අම්මයි ජපානේ යනවා. නමුත් අපි දෙන්නා ඉඩහිටලා ඇවිත් යන්න එනවා. මම එනවා තරගවලට.
පියාගේ වියෝවෙන් පසුව ඔබ කරළියට එන්නේ..කොහොමද ඔබට ලැබෙන ප්‍රතිචාර..?
මට ගොඩක් සිංහල කතා කරන්න දන්නේ නැහැ. නමුත් මම ආසයි සිංහල වලට වගේම ලංකාවේ ජනතාවට. මොකද මේ රටේ මිනිස්සු ළග ගොඩක් ආදරේ තියෙනවා. මම පාරේ බැහැලා යද්දී දැන් හුගක් අය හිනා වෙනවා. කතා කරනවා. කේන් වෙඩිසිංහ නේද කියලා අහනවා. හොදයි සතුටුයි ඒ ගැන.