Gossip

විල්පත්තු මායිමේ ජීවත් වූ අලුත් පෙම්වතියත් සමඟ හැකි ඉක්මනින් තනිවන්නට ගිය තෙලුමාට වැඩ වැරදුනු හැටි

ඉක්මනට එන්න සුදෝ…
මම ඉක්මනට එනවා සුදෝ දැන් මීගමුවේ…

වැරදීමකින් තම දුරකථනට ආ ඇමතුම තෙලුමාගේ ජීවතයට ආලෝකයක් ගෙන දුන්නා වැනිය.
ඇමතුම ආවේ තරුණියකගෙනි. අංකය වැරදුන නමුදු ඇය තෙලුමා හා කතා බහ කිරීමට ප්‍රිය කළාය.
දින කිහිපයක් ගතවෙද්දී ඇය…. දුරකථනයෙන් තෙලුමාට බෙහෙවින් ළං වුවාය. ඇයගේ වදන් ආදරණීයයි. අවිහිංසකය. සරාගීය. කිසිදා දැසින් දැක නැතත් ඇය… තමාට බෙහෙවින් ප්‍රිය කරන බව ඇයගේ කතා බහින් තෙලුමා තේරුම් ගත්තේය.
එපමණක් නොව “හැකි ඉක්මනින් හමුවෙමු “යැයි ඇය කළ ආරාධනය තෙලුමා ගේ ඇඟ කිලිපොලා යන තරම් විය.
මේ…. තෙලුමා ඇය හමුවට යන හොරාවයි. ඔහුගේ සිතේ පැතුම් පොදියකි. අද තම සිතේ මෙන්ම ගතේ ද තෙරපෙන ආශා සියල්ල ඇය සමඟ එක්ව සංසිඳුවා ගත හැකි බව තෙලුමාට වැටහිණ.
ඇයගේ ආරාධනයට අනුව විල්පත්තුව අභය භූමිය අසල ස්ථානයකට ගිය තෙලුමා වට පිට බලන්නට විය. එහෙත් ඇය පෙනෙන්නට නැත.
ඇය දැකීමේ හදිසියෙන් තෙලුමාගේ හදවත ගැහෙයි. තව දුරටත් බලා සිටිය නොහැකිය. තෙලුමා කමිස සාක්කුවට අත දමා ජංගම දුරකථනය ගැනීමට උත්සාහ කළේ ඇයට දුරකථන ඇමතුමක් දීම සඳහාය.
එවිට…. තෙලුමාට යමක් ඇසිනි. ඒ…. කවුරුත් හෝ තමා අසලට එන බවය. ඔහු… වට පිට බැලීය. තමා වෙත එන පිරිස දුටු තෙලුමාට හීන් දාඩිය දමන්නට විය.
බාලවයස්කාරියන් තිදෙනකුට අතවර කිරිම් ඇතුළු අපරාධ ගණනාවකට පොලිසි රැසකටම අවශ්‍යව සිටි යන්තම්පලාවේ තෙලුමා නොචිච්යාගම පොලිසිය පසුගියදා කොටුකර ගත්තේ එලෙසය.
24 හැවිරිදි දෙදරු පියකුවන මොහු නොච්චියාගම පොලිසියට අවශ්‍යව තිබුණේ ඊට වඩා වෙනස්ම අපරාධයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවය.
නොච්චියාගම පොලිසියට පසුගිය දා හැඬු කඳුලින් යුතුව පැමිණියේ මැදිවියේ කාන්තාවකි. ඇයගේ අඳෙීනාව වුයේ රුපියල් එක්ලක්ෂ තිස් හත් දහස් පන්සියකටවත් වඩා වැඩි වටිනාකමින් යුතු රන් භාණ්ඩ කිසියම් පුද්ගලයකු විසින් සොරාගෙන ගොස් ඇති බවය.
ඒවාට වගකියන්නට ඇත්තේ කුලී නිවාස සොයන මුවාවෙන් නොච්චියාගම පදිංචි මිතුරකුත් සමඟ තමන්ගේ නිවෙසට ආගිය යන්තම්පලාවේ තෙලුමා විය හැකි බවට පැමිණිලිකාර කාන්තාව සැක කළාය. ඒ අනුව පොලිසිය මුලින්ම කළේ මේ කියන තෙලුමා කවුරුන්දැයි විපරම් කර බැලීමය. එවිට තෙලුමාගේ කැරැට්ටුව නම් කොහොමත් හොඳ නැති වග හෙළි විය. ඒ අතර දැරියන් කිහිප දෙනකුට අතවර කිරිම් පමණක් නොව ප්‍රසිද්ධ ස්ථානවල අඬදබර කරගැනීම් සොරකම් මෙන්ම විශ්වාසය කඩකිරිම් සම්බන්ධයෙන් තෙලුමාට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය දැන ගත්තේය.
කුරුණෑගල අවට පොලිසිවල පමණක් එවැනි සිද්ධි වලට සම්බන්ධ වරෙන්තු පහක් ඇත්තකු ලෙස නොචිච්යාගම පොලිසිය තෙලුමා හඳුනා ගත්තේය.
ඊළඟට පොලිසිය මුහුණ දුන් බැරෑරුම්ම කරුණ වුයේ ජාතික හැඳුනුම්පතක් හෝ නොමැති තෙලුමාව කොටුකර ගන්නේ කෙලෙසද යන්නයි. පදිංචිය කුරුණෑගල යන්තම්පලාව ප්‍රදේශයේ බව හඳුනාගත්තත් තෙලුමා ඒ ප්‍රදේශයේත් වැඩිපුර ගැවසෙන අයකු නොවීය. 24 හැවිරිදි වුවත් දෙදරු පියකු වන තෙලුමා ගේ දරුවන් අවුරුද්දක සහ මාස එක හමාරක් වන වයස් ඛාණ්ඩ වල පසුවෙති. කිරි දරුවන් තමන්ගේ මව ළඟ නවත්වා තෙලුමා ගේ බිරියත් ඔහුව අතහැර දමා මීට ටික කලකට පෙර කුරුණෑගල නිවෙසින් පිටව ගොස් ඇතිබවත් පොලිසිය කළ විපරම් වලද තහවුරු විය.
බිරිය සොයා අනුරාධපුරය සහ පුත්තලම අවට සැරිසරද්දි අහම්බෙන් හමු වී කතාබට වැටී තිබෙන නොච්චියාගම පදිංචි කාන්තාවගෙන් ඒ අවට තිබෙන කුලී නිවාස සහ ඒවායේ කුලී නිවැසියන් වශයෙන් ළඟදී පදිංචි වූ කාන්තාවන් පිළිබඳ තෙලුමා විපරම් කර ඇත. පසුව ඇය තෙලුමාට උදව් පදව් කරන්නට ඉදිරිපත් වූ අතර ඒ නිසා ඇයගේ නිවෙසට තෙලුමා නිතර එන්නට යන්නට පටන් ගත්තේය. ඒ නොචිචියාගමම පදිංචි තවත් තෙලුමාගේ මිතුරකු බව කියන තැනැත්තකුත් සමඟය. ඒ නිවෙසට ආගිය වාරවලදි ඇතිකරගත් දැන හැඳුනුම්කම මුවාවෙන් නිවෙසේ හිමිකාරියටත් සැක නොසිතෙන අන්දමින් තෙලුමා ඒ නිවෙසේ අල්මාරියේ රහස් ලාච්චුවක සඟවා තිබු ඇයගේ සහ පවුලේ ඥාතින්ගේ වටිනා රන් භාණ්ඩවලටත් වග කීවේය. ඒ රන්මාල තුනක් සමඟ තවත් පෙන්ඩන්, කරඹු සහ ටසල් ගණනාවකටය.
මුහුණපුරා සිනහවීගෙන නිවෙසේ ආලින්දයට ගොඩ වැදී කුලී ගෙවල්වල තොරතුරු විමසූ තෙලුමා මේ රණ් භාණ්ඩ අතුරුදන් වූ දිනයේ පටන් නොච්චියාගම අවට දකින්නට නොවීය. එයත් සැකයකටම කරුණක් කොට සැළැකූ ගෙහිමි කාන්තාව මේ සොරකම කරන්නට ඇත්තේ තෙලුමාම විය හැකි බව කීවත් තෙලුමාව පොලිසියට කොටුකර දෙන්නට ඇයද අසමත් වුවාය. ඇය සතුව තිබුණේ තෙලුමාගේ ජංගම දුරකථන අංකය පමණය. ඒ අංකය පිළබඳ සොයා බැලු පොලිසියට ඒ වනවිටත් එය අක්‍රිය කොට ඇති බව පෙනී ගියේය.
ඉන් අධෛර්යයට පත් නොවු පොලිසියට නවීන තාක්ෂණය යටතේ තෙලුමාගේ වෙනත් දුරකථන අංකයක් සොයා ගැනීමට හැකිවිය. එහෙත් ඒ ඔස්සේත් තෙලුමා කොටුකර ගැනීම දුෂ්කර බව වැටහුණු පොලිසිය ඉන් පසු ඊට කදිම උපායක් යෙදීය. ඒ කොහොමටත් කාන්තාවන්ට කෑදර තෙලුමා කාන්තාවක්ම උපයෝගි කොටගෙන කොටුකර ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමටය.
කිරි දරුවන් දෙදෙනා මව ළඟ නවතා නිවෙසින් පිට වූ බිරිය සොයා සොයා තැනින් තැනට යන ගමනේදී තෙලුමා ඊළඟට නැවතුණේ විල්පත්තුවේබව පොලිසිය සොයා ගත්තේය. නොච්චියාගම පොලිස් වැයික්කියට යාබද විල්පත්තු මායිමේ දුෂ්කර ගමක දුගී පැළක ජීවත්වෙමින් ගාමන්ට් රස්සාවක යෙදෙන බව කියු කාන්තාවක් පසුගියදා වැරදීමකින් මෙන් තෙලුමාට දුරකථන ඇමතුමක් ගත්තාය. ඇයත් සමඟ වරක් කතාබහ කළ පමණින්ම බිරිය හා දරු පැටව් අමතක වූ තෙලුමා එතැනින් පසුව රුවින් පාවා නුදුටු ඇයට ජංගම දුරකථනය ඔස්සේ මනමාලකම් පෑවේය.
අලුතින් ඔහුට දපනේ වැටුණු අහිංසකාවිය බිලිගන්නට දින ගනිමින් දුරකතන පෙමින් ඇයත් සමඟ දිගින් දිගටම ඔහු පෙම් පිළිසඳරේ යෙදෙන්නට විය. ඒ වන විට ද ඔහුට වශී වූ ලෙසින් පෙම් කළ ඇයත් තෙලුමා උසිගන්වමින් ඔහුට පෙම් පළහිලව්ව ඉදිරියටම ගෙන යාමට දැඩි උත්සාහක් ගත්තාය. එහි කිසිම අමුත්තක් නොවැටහුණු තෙලුමාටත් වුවමනා වුයේම විල්පත්තු මායිමේ ජීවත් වූ අලුත් පෙම්වතියත් සමඟ හැකි ඉක්මනින් තනිවන්නටය.
මේ අලුත් දැළ නොච්චියාගම පොලිසිය හොඳින් සිතාමතා එලූ බවටත් තමන් ගාමන්ට් කෙල්ලෙක් යැයි සිතා දුරකථනයෙන් පෙම් කෙළින්නේ පොලිස් නිලධාරිනියක් සමඟ බවටත් තෙලුමා දැන සිටියේ නැත. ඒ ඔස්සේ දිනක් කටුනායක සිටින තෙලුමා ඇමතූ පොලිස් කොස්තාපල්වරිය කළ අරාධනාවෙන් මුසපත් වූ තෙලුමා මිටින් හළ කුරුල්ලකු මෙන් හැඩ වැඩ වී ගෙන විල්පත්තුවට එන්නේ ඇය කළ “අද එන්නකෝ අපි දෙන්නා විල්පත්තු කැළේ ඇවිදින්න යමුකෝ. මං අද වැඩට නොගිහින් ඉන්නම් කෝ…” කියමින් කළ තොදොල් කතාවට වශීකෘතවය “මං එනවා සුදෝ” දැන් මීගමු සුදෝ” දැන් ඔන්න මං හලාවත පසුකළා ආදී වශයෙන් ප්‍රේමයෙන් මුසපත් වීගෙන පොලිස් කාන්තාවට දෙන ලද ඇමතුම්වලට ඇයත් “ඉක්මනට එන්න සුදෝ මට තනියි.” කියමින් මනමාල උත්තරම බැන්දාය.
පසෙකින් මේ නාටකය දිග හැරෙද්දී ළඟ ළඟ එන වරෙන්තුකරුගේ දෑතට දමන්නට මාංචු කුට්ටමක් සුදානම් කරගත් නොච්චියාගම පොලිසියේ පිරිස තෙලුමා එන පෙරමඟ රැකවල් යොදාගෙන සිටියහ.
කුලියාපිටියේ පදිංචිකරුවකුත් සමඟ ත්‍රිරෝද රථයකින් තෙලුමා එන බව දැනගත් පොලිසිය ඒ සඳහා ද සුදානම් ශරීරයෙන් පසුවිය. මිතුරා ත්‍රිරෝද රථයත් සමඟ අතරමඟ නැවතූ තෙලුමා අනංගයා මෙන් හැඩවීගෙන පෙම්බරිය කියු විල්පත්තුවේ ඉසව්වට පැමිණෙනවාත් සමඟ තෙලුමා දෙසට දිගු වුයේ ඔහු පැතූ පෙම්බරියගේ සුදෝ සුදු දෑත් නොවීය.
“යටත් වෙයං” යැයි අණ කරමින් කාකි නිල ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන් දිගු කළ ගිනි අවි ඉදිරිපිට දණින් වැටුණු තෙලුමා තමන්ට මේ වුයේ කුමක්දැයි අදහාගත නොහැකිව අන්ද මන්දව බලා සිටියේය. දෑත්වලට මාංචු වැටීමෙන් අනතුරුව නොච්චියාගම නිවෙසට සුද්දය දුන් රන් බඩු පිළිබඳ පොලිසියට වමාරනු මිසෙක තෙලුමාට වෙනත් ගැලවීමක් වුයේ නැත.
නොච්චියාගම පොලිසිය තෙලුමා ජීප් රියේ පටවාගෙන ඊළඟට කුරුණෑගල ගියේ රන් බඩු සොයන්නටය. තෙලුමා ළඟ තිබී හමු වූ රුපියල් 24,000 උකස් බඩු රිසිට්ටුවට වඩා රන් බඩු තෙලුමා නොච්චියාගම කාන්තාවගෙන් සොරාගෙන ඇතැයි හෙළි වූ විට පොලිසියම ඉතිරි රන් භාණ්ඩවලට සිදු වූ දෙයත් සොයා ගත්තේය. ඒ අන් කිසිවක් නොව තොලුමාගේ ඇසටත් වැලි ගසමින් ඔහුගේම මව සහ නැගණිය තෙලුමා ගෙදර ගෙනා රන් භාණ්ඩ වලින් කොටසකට වග කියා ඇති බවය.
“මං ඒ බඩු ගෙදර ගෙනිහින් නංගිට දුන්නා සර්. මං ගෙදරට කිව්වේ නොච්චියාගම ගේක වැඩ කරනවා කියලානේ. මං ඒ බඩු දීලා කිවුවේ ගෙදර නෝනා ඒවා මට දුන්නා කියලා. ඒත් සර් නංගී මට ඒ බඩුවලින් ලැබුණා කියලා රුපියල් 24000 යි දුන්නේ. එයා ඒවායින් ටිකක් තියාගෙන වෙනම ගාණකට උකස් තියලා. අම්මත් එහෙමමයි….”
අන්තිමේදී තමන්ටත් කොලේ වසමින් මව සහ සොහොයුරිය කර තිබු ඇස්බැන්දුම තෙලුමා පොලිසියට කීවේ එසේය. ඒ නමුත් මුලින් දින කිහිපයකට රක්ෂිත බන්ධනාගාරගත කරන්නට අධිකරණයේ නියම වූ තෙලුමාට කොන්දේසි සහිතව පසුගිය 17 වැනිදා අධිකරණයෙන් ඇප ලබාගත හැකිව තිබුණත් ඒ සඳහා ඉදිරිපත්වීමට කිසිවකු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියේ නැත.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!