Gossip

“ජීවිතේ අලුත් කරගන්න කියලා මම අතුලගෙන් දික්කසාද වෙලා නැහැ. හර්ෂත් එක්ක ජීවත් වෙන්න අතුල මට ඉඩ දුන්නා.” – අමායා හෙළි කළ අලුත්ම කතාව මෙන්න

අමායා ආයෙත් මවු පදවි ලබන්න සූදානම් වෙනවා කියලා ආරංචියි?
ඔව්. මම දෙවැනි වතාවටත් මවු පදවිය ලබන්න සූදානම් වෙනවා. මවු පදවිය තමයි මේ ලෝකේ තියෙන සුන්දරම සහ හොඳම පදවිය.
මගේ දෙවැනි බබා තව මාස තුන හතරකින් අපේ කැදැල්ලට එනවා.

දුවත් නංගි හරි මල්ලි හරි එනකල් මඟ බලාගෙන ඇත්තේ?
අම්මෝ ඔව්… දුව හරිම ආසාවෙන් ඉන්නේ. එයා මගේ බඩ බදාගෙන අහනවා නංගියෙක් හරි මල්ලියෙක් හරි බඩේ ඉන්නවද කියලා.
මගේ අක්කාට බබාලා තුන් දෙනෙක් ඉන්නවා. අපේ දුවට අලුත් අත්දැකීමක් මම එයාට නංගියෙක් හරි මල්ලියෙක් හරි ගේන එක.ඉතිං එයා නිතරම ඒ ගැන අහනවා.

අමායා බලාපොරොත්තු වෙන්නේ දුවෙක්ද? පුතෙක්ද?
කොල්ලෙක් වුණොත් හොඳයි. මොකද දැන් කෙල්ලෙක් මට ඉන්නවනේ. දකින අයත් කියන්නේ මට පුතෙක් ලැබෙන්න ඉන්නේ කියලා. දුවෙක් වුණත් පුතෙක් වුණත් අපිට වටිනවා.

අමායාගේ ජීවිත කතාවෙත් වෙනසක් වෙලා නේද?
ජීවිත කතාව එතනමයි. මීට අවුරුදු හතරකට කලින් සිදුවුණ වෙනස තමයි තාම තියෙන්නේ. ජීවිතේ අලුත් කරගන්න කියලා මම අතුලගෙන් දික්කසාද වෙලා නැහැ.
අතුලටයි මටයි අවුරුදු හතක දුවෙක් ඉන්නවා. ආයෙත් කසාද බඳින්න මට බැරිකමක් නැහැ. ඒත් අපි අපේ දරුවා ගැන හිතනවා. අතුලගෙන් දික්කසාද වෙලා ආයෙත් කසාද බඳින්න ආසාවක් නැහැ.
හැබැයි මට කාට හරි ආදරය කරන්න අයිතියක් තියෙනවා. අතුලයි මමයි වෙන් වෙලා හිටියත් දික්කසාද වෙන්නේ නෑ. එයා මට වෙන කෙනෙක්ට ආදරය කරන්න එපා කියලා නැහැ.
කොච්චර ආදරෙන් ඉන්න අය වුණත් වෙනස් වෙන්න යන්නේ තත්පරයයි. ආයෙත් කසාද බැඳලා රටට ලෝකයට කසාදේ පෙන්නගෙන ඉන්නවට වඩා කසාද නොබැඳ හරි ආදරෙන් ඉන්නවා නම් ඒක හොඳයි.
පිටරටවල ඕන තරම් අය ලිවින් ටුගෙදර් ඉන්නවා. කසාද බඳින්න ඕන. ඒ බැඳගත්තම බැඳගත්ත බෙරේ ගහන්නම ඕනේ කියලා මම හිතන්නේ නැහැ.
කොහොම වුණත් මම ආදරය කරන කෙනා මාව හොඳට තේරුම් ගත්ත කෙනෙක්.

ඒ අමායා ආදරය කරන කෙනා කවුද කියලා කියමු?
මම අවුරුදු හතරක් තිස්සේ ආදරය කරන්නේ එයාට. ඒ හර්ෂ ධනෝෂ්.

පිටරටවලට ගැළපෙන, කසාද නොබැඳ එකට ජීවත්වීමේ සංකල්පය ලංකාවේ සංස්කෘතියට ගැළපෙනවාද?
ලංකාවේ පසුබිමට මුකුත්ම ගැළපෙන්නේ නෑනේ. ඇඳුමක් ඇන්දත් ඒකත් මේ රටට ගැළපෙන්නේ නෑනේ. අපි දැන් වැඩිහිටියෝ. අපි හිතන විදිහ වෙනස්.
මේක මගේ කැමැත්ත. අතුලටත් ප්‍රශ්නයක් නැත්නම් මට ආදරය කරන කෙනාටත් ප්‍රශ්නයක් නැත්නම් ඇයි මම වෙන අය කියන දේවල් ගණන් ගන්නේ? අතුලව මම ජීවිත කාලයේම බලාගන්නවා. හර්ෂත් ඒකට එකඟයි. ගොඩක් අය අපිට ඇඟිල්ල දික් කරන්න බලනවා.
අපි ෆොටෝ එකක් දැම්මත් සමහරු ඒක අගය කරනවා. සමහරු අහනවා වෙන මුකුත් නැද්ද කියලා. සමාජයට ඕන විදිහට අපි ඉන්න ඕනේ නැහැ නේ.

අතුලගෙන් දික්කසාද නොවෙන්නේ ඇයි?
අපිට දික්කසාද වෙන්න තීරණයක් ගන්න බෑ. හර්ෂට මම පණ වගේ ආදරය කරනවා. මට එයා එක්ක විවාහ වෙන්න බැරිකමක් නැහැ.
නමුත් අතුලගෙන් දික්කසාද වෙලා අතුලව අතහැරියොත් මම ඒක එයාට කරන අසාධාරණයක්. දන් මට වයස අවුරුදු 30යි. අතුලට වයස අවුරුදු 53යි. මේ මම එයාගේ ළඟින් ඉන්න ඕන කාලේ. අපි වයස් පරතරය දැනගෙන තමයි විවාහ වුණේ. අපිට එකට ඉන්න බරි වුණාට දික්කසාද වෙන්න මම එයාටවත් එයා මටවත් වරදක් කරලා නැහැ.
අතුල කොළඹ ඉන්නේ එයාගේ වැඩවලට. අතුල මාසෙකට සතියක් හරි දුව බලන්න එනවා. එයාට අසනීපයක් වුණත් මම එයාව බලාගන්නේ. අතුල කියන්නේ හරිම ධනාත්මක පුද්ගලයෙක්. අතුලගේ වයසත් එක්ක එයා අවුරුදු විස්සක් ජීවත් වුණොත් මට ඒ වගේ දෙගුණයක් ජීවත් වෙන්න කාලය තියෙනවා. අපි දන්නේ නැහැ කාට ඉක්මනින් යන්න වෙයිද කියලා. කොහොම වුණත් අතුල හිතනවා ළමයව, මාව බලාගන්න කවුරුහරි කෙනෙක් ඕනේ කියලා. අතුල මට වරදක් කරලා නැති නිසා මට එයාව දික්කසාද කරන්න ඕනේ නැහැ. අතුල මට වරදක් කළොත් බලමු.

අමායා හර්ෂට ආදරය කරන එකත් අතුලට ප්‍රශ්නයක් නෙමෙයිද?
එයා ආදරය හඳුනන මනුස්සයෙක්. හර්ෂත් මට පණ වගේ ආදරෙයි. අතුල හර්ෂගේ ලොකු කොලිටි එකක් දැකලා ඇති.
ඒකනේ එයා හර්ෂට මාත් එක්ක ජීවත් වෙන්න ඉඩ දෙන්නේ. හර්ෂ හොඳ නැත්නම්, එයාගේ දරුවට වෙනස්කමක් කරන කෙනෙක් නම් එයා එක්ක ජීවත් වෙන්න අතුල ඉඩ දෙන්නේ නෑනේ. හර්ෂයි අතුලයි හරිම යාළුයි. අතුලටත් හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. මට වයස තියෙනවා, ආදරය කරන්න අයිතිය තියෙනවා කියලා එයා පිළිගන්නවා.

හර්ෂ කවදාවත් අමායාට විවාහ වෙමු කියලා නැද්ද?
අපි විවාහ වෙමු කියලා හර්ෂ මුල් කාලේ කියලා තියෙනවා. ඒත් අපි දෙන්නම හිතුවා අතුලට අසාධාරණයක් කරන්න හොඳ නෑ කියලා.
හර්ෂ මට තියෙන වගකීම තේරුම් ගත්තා. හර්ෂටත් ඕන තරම් රසික රසිකාවියෝ ඉන්නවා.
ඒ ඉන්න අය අතරේ බලෙන් ඇඟට එන අයත් ඉන්නවා. මටත් ආදරය කරන අය ඉන්නවා. මගේ පස්සෙන් එන අයට මම ඔළුව වනන්නේ නෑනේ. කසාද බැන්දා නොබැන්දා අපි ආදරයෙන් ඉන්නවා.

නීතියෙන් විවාහ නොවුණත් හර්ෂ ඔබව හැර යන්නේ නැතුව බැඳීම ආරක්ෂා කර ගනියි කියලා හිතනවද?
බැඳීම් හදාගත්තම ඒවායෙන් ගැලවෙන්න ලේසි නැහැ. කායිකව, මානසිකව බැඳුණම ආයේ අමතක කරන්න ලේසි නැහැ. ගෙදර බල්ලා මැරුණම අපි කොච්චර අඬනවද? ඒ බල්ලා අපිට මොනවා කළාටද? තිබ්බ බැඳීම නිසා තමයි අපිට දුකක් ඇති වෙන්නේ.
මනුස්සයෙක් ගැහැනියෙක් අතර ඇති වන බැඳීම කොළයක අස්සන් කළා කියලා ඇති වෙන්නෙවත් නැති වෙන්නෙවත් නෑ.
ආදරය කරන කෙනෙක්ව අපට ලේසියෙන් අමතක කරන්න බැහැ. වෙන මනුස්සයෙක්ට මාව ගඳ වුණාට මගේ මනුස්සයට මාව සුවඳයි. අන්න ඒකයි ඒ බැඳීම. ඒ බැඳීම කොළේකට අස්සන් කරලා පවත්වා ගන්නවත් නැති කරන්නවත් බෑ.

ඔබෙයි හර්ෂගෙයි ආදර කතාවෙන් එළියට එන දරුවාට අනාගතයෙදි ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙන එකක් නැද්ද?
බබා ලැබුණට පස්සේ ඒ ගැන බලන්න ඕනේ. මගේ ඇඟ ඇතුළේ දරුවා හැදෙන්නේ. ඒ මගේ දරුවා. මගේ ලේවලින් හැදුණම ඒක ලස්සන බැඳීමක් විදියට ඉතිරි වෙයි. බලමුකෝ ඉදිරියට.

දුව හර්ෂට එකතුද?
ඔව්. හර්ෂ දුවට පණ වගේ ආදරෙයි. මම හර්ෂට ආදරය කරන්න අරගෙන අවුරුදු හතරක් වෙනවා.
දුවට අවුරුදු දෙකහමාරේ, තුනේ ඉඳන් එයා හර්ෂව හඳුනනවා. ලේ බැඳීම නොතිබුණත් ඒ දෙන්න, අතරේ තියෙන්නේ අපූරු බැඳීමක්. තාත්තගෙනුයි අම්මගෙනුයි කාටද වැඩිපුර ආදරේ ඇහුවම දුව කියන්නේ තාත්තාට ආදරේ කියලා. රොකා අයියගෙනුයි අම්මගෙනුයි කාටද වැඩිපුර ආදරේ ඇහුවොත් දුව කියන්නේ රොකා අයියට වැඩිපුර ආදරේ කියලා.
දුව හර්ෂට ආදරේට කියන්නේ රොකා අයියා කියලා. දුව වැඩිපුර ආදරේ තාත්තටයි හර්ෂටයි.
මම තුන්වැනි තැන ඉන්නේ. එයා හර්ෂට හරිම ආදරෙයි. රොක්සන්, රොකා අයියා, සිකන්දර් වගේ එක එක නම්වලින් තමයි දුව හර්ෂට කතා කරන්නේ.

රංගන කටයුතුවලිනුත් දැන් අමායාට අයින් වෙලා ඉන්න සිදුවෙනවා නේද?

තව දුරයි ජීවිතේ ටෙලි නාට්‍යයෙන් පස්සේ මම අහස් මාලිගා නාට්‍යයට සම්බන්ධ වුණා. ඒ නාට්‍යයෙන් මම යම් හේතුවක් නිසා අයින් වුණා. සමහරු හිතනවා මාත් එක්ක වැඩ කරන්න බෑ කියල. ඒ නිසා තෝරලා බේරලා තමයි නිර්මාණවලට කතා කරන්නේ. තව දුරයි ජීවිතේ නිෂ්පාදකවරයා ජනක සම්පත්. ඔහුගේ හැම නිර්මාණයකටම මට කතා කරනවා. අපි හරිම සහයෝගයෙන් වැඩ කළා. මේ පාරත් මට නිර්මාණයකට කතා කළාම මම කිව්වා අම්මා කෙනෙකුගේ චරිතයක් කරන්න තිබ්බොත් මට කතා කරන්න කියලා. මේ දවස්වල නම් මම ගෙදරම තමයි ඉන්නේ.

දරුවා ලැබුණට පස්සෙත් අමායා කාලයක් රංගනයෙන් නිහඬ වෙයිද?
ඔව්. ටික කාලයක් ඉන්න වෙයි. මොකද බබා ටිකක් ලොකු වෙනකල් ඉන්න වෙනවා. දැන් වුණත් දුවව දාලා කොහේ හරි මම ගියොත් මට එයාව බලන්න එනකල් ඉවසුමක් නෑ. දෙවැනි බබා ලැබුණට පස්සෙත් මට එයා වෙනුවෙන් ඉන්න වෙනවා. කොහොම වුණත් මෙගා නාට්‍යවලට නම් යන්න බැරි වෙයි. මගේ දක්ෂතාව පෙන්වන්න පුළුවන් හොඳ නිර්මාණයකට කතා කළොත් සම්බන්ධ වෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!