Gossip

ජනවාරි වල සිට ලෝකය පුරා ඇසෙන අද්භූත ශබ්දය කුමක්ද ?

හඳුනා නොගත් විශාල ශබ්දයක් ලෝකයේ ස්ථාන හැට හතරකින් නැඟුණ බව වාර්තා වේ. එකිනෙකට වෙනස් ප්‍රදේශ හැට හතරකට ශබ්දය ඇසී තිබෙන්නේ මේ වසරේ විවිධ අවස්ථාවලදී වීම තවත් විශේෂත්වයකි. අවසන් වරට එකී හඬ ඇසී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන්හි ජීවත් වන නිවැසියන් පිරිසකටය. පසුගිය 18 වැනිදා එය ශ්‍රවණය වූ බව පැවසේ. මෙම අද්භූත ශබ්දය ගැන පළමු වරට තොරතුරු වාර්තා වූයේ පසුගිය ජනවාරි තුන්වැනිදාය. එදින එම හඬ ශ්‍රවණය කර තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊශාන දිග ප්‍රදේශවල ජීවත් වන පිරිසකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්, මිසෝරි, ඔරේගන්, ලුසියානා, නිව් යෝර්ක් ආදී ප්‍රදේශ රැසක් තුළ ජීවත් වන පිරිස්වලටත් වසරේ විටින් විට මේ හඬ ඇසුණු බවත් සඳහන් වේ.

ඒ හැරුණු විට එක්සත් රාජධානිය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, සිරියාව, පින්ලන්තය වැනි රටවල වැසියන් ද වසරේ විවිධ අවස්ථාවලදී මේ හඬ ශ්‍රවණය කර ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රදේශයට පසුගියද 14 වැනිදා එම හඬ ඇසීමත් සමඟම එය “බාමා දෝංකාරය”ලෙස නම් එය කෙරිණ. අද්භූත මේ හඬ සම්බන්ධයෙන් විද්‍යාඥයෝ මේ වනවිට පර්යේෂණ පවත්වමින් සිටිති.

ලෝකයේ විවිධ රටවලට මේ හඬ ශ්‍රවණය කරන්නට ලැබුණු ආකාරය අනුව විද්‍යාඥයෝ ඊට විවිධ අර්ථ කතන ඉදිරිපත් කරන්නෝය. පසුගිය 14 වැනිදා ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රදේශයේ වැසියන්ට අද්භූත හඬ ඇසීමත් සමඟම ඇමෙරිකා විද්‍යාඥයන්ගේ අවධානය ඒ දෙසට යොමු වන්නට පටන් ගෙන ඇත. ඇමෙරිකාවේ ඇතැම් විද්‍යාඥයන් සඳහන් කරන්නේ එය අති ධ්වනික අහස් යානකින් හෙවත් සුපර් සොනික් යානාවකින් හෝ උල්කාෂ්මයකින් හෝ නැඟුණ ශබ්දයක් වන්නට ඇතැයි කියාය.

“දෝංකාරයක් සහිත විශාල ශබ්දයක් අපට ඇසුණා. ඒ ශබ්දය නැඟීමට හේතුවන විශාල ගින්නක්, දුමක් ආදිය රේඩාර්වලට හෝ චන්ද්‍රිකාවලට හෝ හසු වුණු වගක් සඳහන් වෙන්නේ නැහැ. අඩුතරමින් එය භූ කම්පනයක් නිසා ඇති වුණු හඬක් කියන්නත් සාක්ෂි නැහැ”යන අදහස්වලට සිය උපකල්පනයන් ඉදිරිපත් කරමින් එක්සත් රාජධානියේ බර්මින්ග්හැම් ජාතික කාලගුණ සේවාවෙහි නිලධාරීන් ට්විටර් සටහනක් තබා තිබිණ. එහි සඳහන් වූයේ අති ධ්වනික යානාවක් නිසා හෝ මේ වසරේ ඇති වී තිබෙන ලියොනිඩ් උල්කා වර්ෂාවේ උල්කාෂ්මයක් නිසා හෝ මේ ශබ්දය නැඟෙන්නට ඇතැයි කියාය.

උල්කාෂ්ම පිළිබඳ පර්යේෂණ පවත්වන නාසා විද්‍යාඥ බිල් කුකේ දරන්නේද බර්මින්ග්හැම් ජාතික කාලගුණ සේවාවෙහි නිලධාරීන් දරන අදහසටම සමාන අදහසකි. ඔහු පවසන්නේ ද ඇලබාමාහි ඇති වුණු ශබ්දයට හේතුව අති ධ්වනික ගුවන් යානාවක් හෝ විශාල ප්‍රමාණයේ උල්කාෂ්මයක් යැයි කියාය. එකී විශාල උල්කාෂ්මය දැනට ඇති වී තිබෙන ලියොනිඩ් උල්කා වර්ෂාවට පරිබාහිරව පෘථිවි වායුගෝලය තුළ පුපුරා ගිය එකක් විය හැකි බව විද්‍යාඥ බිල් සඳහන් කරයි. මේ අතර ඇමෙරිකා එක්සත් ජනපද භූ ගර්භ විද්‍යා සමීක්ෂණ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශබ්දය ඇති වන්නට හේතුව භූ චලනයක් නොවන බවය.

ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රදේශයට ඇසුණු හඬ ගැන ඒ විධියේ අර්ථකතනයක් ඉදිරිපත් කළත් ලෝකයේ සෙසු ස්ථානවලට වසරේ විවිධ කාලවලදී ඇසුණු ශබ්දවලට හේතුවත් එයම විය හැකි යැයි සාධාරණීකරණය කළ හැකිද? වසරේ විවිධ අවස්ථාවන්හිදී පෘථිවි වැසියන් අද්භූත හඬක් ලෙස අත් විඳි තිබෙන්නේ උල්කාෂ්මවල බලපෑමද? එසේත් නැත්නම්, හඬ ඇසුණ සෑම ප්‍රදේශයකින්ම ඒ කියන අවස්ථාවන්හිදී සුපර් සොනික් යානාවන් ගමන් කර තිබුණේ ද? යන ගැටලු පැන නැඟේ. මේ ගැටලුවලට තවමත් නිශ්චිත පිළිතුරු නැත.

පින්ලන්තයේ ලැප්ලෑන්ඩ් ප්‍රදේශය පුරා මේ හඬ පැතිර ගියේ පසුගිය 17 වැනිදාය. හඬ පැතිර යනවාත් සමඟම අහසෙහි ගිනි බෝලයක් ඇති වි තිබෙනු තමන් දුටු බව එහි වැසියෝ සඳහන් කරති. මේ තත්ත්වයම රුසියාවේ කොලා අර්ධද්විපයටත්, නෝර්වේහි උතුරු දිග ප්‍රදේශවලටත් එදින දිස් වී ඇත. සිද්ධිය සියැසින් දුටු ඒ රටවල වැසියන් පවසන්නේ ශබ්දය ඇසුණේ රාත්‍රීයෙහිදී බවත් එම අවස්ථාවේදී අහස දහවලක් මෙන් ආලෝකවත්ව පැවැති බවත්ය.

මෙවැනි ශබ්ද නැඟෙන්නට විවිධ හේතු ඇති බව විද්‍යාඥයෝ පවසති. ඒ අතර එක් හේතුවක් වන්නේ ශබ්දයේ වේගයට වඩා අධික වේගයකින් ගමන් කරන ගුවන් යානා යැයි ඔවුහු පෙන්වා දෙති. එනම්, සුපර් සොනික් අහස් යානාය. යුද අභ්‍යාස නිසාත් මෙවැනි ශබ්ද ඇති විය හැකිය. කිසියම් පිපිරවීමක් සිදු කරන විටත් එබඳු හඬ ඇති වන්නට ඉඩ තිබෙන බව විද්‍යාඥයෝ පවසති. අකුණු කුණාටු නැමැති කාලගුණ තත්ත්වය ඇති වූ විටත් මෙවැනි ශබ්ද ඇති වේ. විශාල උල්කාපාත පෘථිවියට ඉහළින් ගමන් කිරීමේදීත් විශාල ශබ්ද ඇතිවන්නට ඉඩ ඇති බව සනාථව ඇත. පිට සක්වල ජීවීන් මෙවැනි ශබ්ද ඇති කරන බව සමහරු පවසති. කෙසේ වුවත් පිටසක්වල ජීවීන් එවැනි ශබ්ද ඇති කරන බව සනාථ කරන්නට කිසිදු සාක්ෂියක් නැත.

මේ වසර පුරාම පෘථිවියේ විවිධ ස්ථානවලට අසුන ශබ්දය මේ හේතුවලින් එකක් වීමට පුළුවන. සමහර විට එයට ඉඳුරාම වෙනස් හේතුවක් වන්නට ද පුළුවන. වසරකට ආසන්න කාලයක් ඉක්ම ගියද ඇසුණු ඒ අද්භූත ශබ්ද ගැන තවමත් නිශ්චිත පැහැදිලි කිරීමක් සිදුව නැත. විද්‍යාව දියුණු මේ සමයේදී ඇසුණු මෙවැනි ශබ්දයකට හේතුව නිශ්චය කර ගන්නට මිනිසාට තවමත් නොහැකි වීමද එක අතකට පුදුමයකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!