Gossip

මන්තර බලෙන් අලි මෙල්ල කරන්න කියලා දුන්නේ තාත්තා – අලි මෙල්ල කරන දුව කියයි

75

දරුවෝ පුදුමාකාරය. ඔවුහු කුඩා කාලයේ සිටම විවිධ දක්ෂතා පෙන්වති. ඇතැම් දරුවන් කුඩා කාලයේ සිටම බියගුලූ‍ ය.

නිතර දෙවේලේ ගෙදර බිත්තියේ දකින හූනාගේ කැරපොත්තා ගේ සිට විවිධ සතුන්ට බියක් දක්වන දරුවන් අතර කැලේ සද්දන්තයාට බිය නැති, දියණියක පිළිබඳ පසුගිය දිනවල විවිධ තොරතුරු පළ වූයේ ය.

මේ කැලේ සිට ඉදිරියට පැමිණි සද්දන්තයකු මන්ත‍්‍ර බලයෙන් මෙල්ල කර යළිත් කැලයටම යෑමට සැලැස්වූ දියණිය සොයා ඉකුත් දිනෙක මංජුල ඇතුගල මාධ්‍ය සඟයා කතරගම ගියේ ය.

ඇය යුතාරා දිල්සරි. වයස අවුරුදු නවයයි. කතරගම ශෂින්ද්‍ර රාජපක්ෂ විද්‍යාලයේ හතර වැනි ශේණියේ ඉගෙනුම ලබන්නීය. යුතාරා තමන් කළ හපන්කම පිළිබඳව අප හා මෙසේ දොඩමළු වූවා ය.

”මගෙ තාත්තා කැලේ යනකොට අලියෝ ඉස්සරහට හමුවුණාම මන්තර මතුරනවා මං දැකලා තියෙනවා. තාත්තා මන්තර මතුරද්දී අලියෝ හැරිලා කැලේ පැත්තටම යනවා. ඒක දැක්කම මටත් හිතුණා මමත් තාත්තා වගේ මන්තර ඉගෙන ගන්න ඕනෑ කියා. මං තාත්තට කිව්වා මටත් උගන්නන්න කියලා. ඊට පස්සේ තමයි තාත්තා මට ඔය මන්තරය කියලා දුන්නේ. එදා අපි ඒ කියන්නේ තාත්තයි, මල්ලියි ළහිරු අයියයි, රන් අයියයි තාත්තගේ ජීප් එකේ යනකොට තමයි අලියා ඉස්සරහට හමුවුණේ. මම තාත්තගෙන් ඇහුවා මං මතුරන්න ද කියලා. තාත්තා හා කිව්වා. මං මැතුරුවා. අලියා ටික ටික ආපහු හැරිලා යන්න ගියා.”
යුතාරා පවසන්නේ සතුටිනි.

යුතාරා දියණිය අලියා මෙල්ල කර යළිත් කැලයට ම යාමට ඉඩ සැලසූ බව ඇසූ දුටු ස‍ැවොම ඉන් පසුව යුතාරාගෙන් විවිධ දේ අසන්නට වූහ.

”ඉස්කෝලේ ගියාම, පාරෙදි හැමෝම මගෙන් අහනවා අලියා දැක්කම බය හිතුණේ නැද්ද කියලා. මං කිව්වා නැහැ කියලා. තව අය අහනවා කියපු මන්තරය මොකක්ද කියලා. මං ආයෙත් අලින්ට මතුරන්න යනවද කියලත් අහනවා.”

යුතාරා දියණිය සුරතල් ලෙස උත්තර දෙන්නීය.

යුතාරා දියණියගේ පියා දිනෙක සිල්වා ය. ඔවුන් පදිංචි කතරගම නගරයේ ය. සිය දියණියගේ දස්කම් විස්කම් දකින පියාගේ දෙනෙතේ ඇත්තේ සතුටු කඳුළකි. ඔහුට ස්ථිර රැුකියාවක් නැති නමුදු ඔහුගේ ආදායම් මාර්ගය වී ඇත්තේ කතරගම සිට කැබිලිත්ත දේවාලයට බැතිමතුන් ප‍්‍රවාහනය කිරීම ය. රූස්ස වනයේ සතා සිවුපාවා නැතැයි සිතිය නොහැක. කැබිලිත්තට යන අතරමඟදී හමුවන සතා සිවුපාවා සද්ධන්තයා මඟ හැර මෙල්ල කරගෙන ගමන ගොස් ඒමට දිනෙකට හුරුපුරුදු ය. ඔහුට ඇති ආරක්ෂාව මෙන් ම ඔහු සතු වටිනා දෑ වන්නේ සිය මාමණ්ඩියගෙන් උරුම වූ මන්ත‍්‍ර හා තාලන් ය.

”මගේ බිරිය ශාලිකා. එයාගේ තාත්තාගේ නම කේ. ඬේවිඞ්. තාත්තා වනජීවී එකේ රස්සාව කළේ. ඔහු හිටියේ යාල. මම මේ දේවල් ඉගෙන ගත්තේ තාත්තගෙන්. දුව පුංචි කාලේ ඉඳලම මා එක්ක යාල කැලේ යනවා‍. ඒ යන ගමන්වලදී ඉස්සරහට අලියෙක් එහෙම ආවොත් මඟහැර ගන්නම බැරි වුණොත් මම මතුරනවා. දුව මේවා දකිනවා. ඒ නිසා තමයි එයා මගෙන් ඉල්ලූ‍වේ එයාටත් මන්තර උගන්නන්න කියලා‍. මං එයාට එක මන්තරයක් ඉගැන්නුවා. එදා අපි කතරගම ප‍්‍රධාන මාර්ගයක යද්දී තමයි කැලයේ ඉඳලා අලියෙක් ආවේ. දුව මගෙන් ඇහුවා තාත්තේ මං මතුරන්නද කියලා. මම හා කිව්වා. දුව මතුරද්දී මමත් ඊට ටිකක් මෙහාට වෙලා හිටියා. මට මන්තරේ ගැන වගේ ම දුව ගැනත් විශ්වාසයක් තිබුණා. නමුත් මම ස‍ූදානමින් හිටියේ. දුව මතුරනවත් එක්කම අලියා වල්ගෙත් අකුළගෙන ආයේ කැලේ පැත්තටම යනවා දැක්කම මට මන්තර ගැන තිබූ විශ්වාසය වැඩි වුණා. ඒ වගේ ම දුව ගැන ආඩම්බරයකුත් ඇති වුණා.” දිනෙක පවසන්නේ ය.

ඔහු පවසන ආකාරයට අලි ඇත්තුන්ට පමණක් නොව වලස්සුන්ට, කුළු හරක්ට හා සර්පයින්ට ද මන්තර ඇත්තේ ය.

”අපි කැබිලිත්තේ යද්දී නොයෙක් සත්තු හමුවෙනවා. මගෙ බිරියගේ පියා මිය ගිහිල්ලා මේ වනවිට මාස කිහිපයක් වෙනවා. නමුත් ඔහු ජීවත්ව සිටියදී මට මන්තර ඉගැන්නුවා. කැලේ ඉන්න තනි අලියට මන්තර මැතුරුවත් අලි රංචුවක් ඉන්න විට මතුරන්න එපා කියලා තමයි තාත්තා කියලා දීලා තියෙන්නේ. ඒකට හේතුව ඒ අලි රංචුවේ පැටව් ඉන්න අලි ඇතින්නියෝ හිටියොත් දරුණු විදිහට කිරි එරෙනවා කියලා කියනවා. සමහර මන්තර තියෙනවා ගිනි මැලේට මතුරලා අපිට ඉතාම නිරුපද්‍රිතව කැලේ රැුය ගත කරන්න පුළුවන්. මට එහෙම අත්දැකීම් තියෙනවා. දවසක් මම වෛද්‍යවරුන් හතර දෙනෙකු සමඟ යාල කැලේ ගියා. අතරමඟදී අපේ වාහනයේ කාර්මික දෝෂයක් ඇති වුණා. අපි මඟ නතර වෙලා වාහනේ රෝද හදන්න ගත්තා. ඒ වෙලාවේ වෛද්‍යවරුන් හතර දෙනා බිම වාඩිවෙලා හිටියේ. එක පාරටම මහා සද්දයක් ඇහුණා. වෛද්‍යවරුන් හතර දෙනා දුවන්න ගත්තා. ඒ වෙලාවේ තමයි මං දැක්කේ පලූ‍ ගහක හිටපු තඩි වලහෙක් වාහනේ බොනට් එකට පැන්නා කියලා. හැමෝම බයවෙලා දිව්වා. මම වලහට මැතුරුවා. වලහා ගහකට නැග්ගා.”

දිනෙක පවසන්නේ හිනැහෙමිනි. මහ කැලය අරක් ගත් සතා සිවුපාවුන් පිළිබඳව ඔහුට හොඳ දැනුමක් අවබෝධයක් ඇත්තේ ය. එසේ ම ඒ දන්නා කියන මන්තර ටික ද ඔහුගේ රැුකියාවට බොහෝ පිහිටක් බව ද ඔහු පවසන්නේ ය.

”මම දන්නේ නැහැ දුව මොනවා කරාවිද කියලා ලොකු වෙලා. ඒත් එයා මේ මන්තර ඉගෙන ගන්න කැමැති නම් මං කැමැතියි එයාට මං දන්න හැමදේම උගන්නන්න. මං දන්න විදිහට නම් මීට පෙර ලංකාවේ කුඩා ළමයි කවුරුවත් මෙහෙම දෙයක් කරලා නැහැ. නමුත් මගෙ දුව බය නැතිව ඒ දේ කළා. මට ඇත්තටම මගෙ දුව ගැන, එයාගේ එඩිතරකම ගැන ආඩම්බරයි.” දිනෙක පැවසුවේ සිය දියණිය තුරුලට ගනිමිනි.

ඉනෝකා සමරවික‍්‍රම

1 2 3

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!