Gossip

උසස් නිර්මාණයක කලාත්මක විදියට නිරුවත යොදාගත්තට වරදක් නැහැ – අයිෂ් අතුකෝරාල

අයිෂ් අතුකෝරාල කවුද කියලා දැන් ගොඩක් දෙනෙක් දන්නවා. ඇය මෝස්තර නිරූපණ ශිල්පිණියක් වගේම රංගන ශිල්පිණියක්. ඇය රංගනයට පිවිසියේ පැණි මකුළුවෝ චිත්‍රපටය තුළින්. ඇය ගැන අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතක සඳහන් වෙලා තිබුණේ මේ විදියට.

බොහෝ නළු නිළියන් වේදිකාවේ පුංචි තිරයට හා රිදී තිරයට එද්දී අයිශාරා ඇයි සිනමාවෙන් වේදිකාවට ආවේ?
මම සිනමාවට ආවේ මෝස්තර නිරූපණය හරහා. මෝස්තර නිරූපණයේ යෙදෙන කා‍ලේ සිනමාවට එන්න අදහසක් මා තුළ තිබුණේ නැහැ. ඒත් මමවත් නොහිතපු විදිහට ඒ අවස්ථාව උදා වුණා. ඒ වගේම තමයි වේදිකාවට පැමිණීමත් සිද්ධ වුණේ. වේදිකා නාට්‍යයක රඟපාන්න ඕනෑ කියලා මීට කලින් හීනෙකින්වත් මම හිතලා තිබුණේ නැහැ. ඒත් ජයන්ත චන්ද්‍රසිරි මහතා ‘හංකිති දහතුන’ වේදිකා නාට්‍යයට කතා කළාම මට ඒ ආරාධනාව අහක දාන්න බැරි වුණා. අනික ජයන්ත චන්ද්‍රසිරි වැනි දැවැන්ත නිර්මාණකරුවකුගේ වේදිකා නාට්‍යයකට එකතු වීම මගේ රංගනය මුවහත් කරගන්න හොඳ අවස්ථාවක් කියලා මට හිතුණා. ඒ හින්දයි මම ඊට එකතු වුණේ. හැබැයි මීට පස්සේ වේදිකා නාට්‍යවල රඟපාන්නේ නැහැ.

හොඳ නිර්මාණකරුවකුගේ ගුණාත්මක නාට්‍යයකට ආරාධනා ලැබුණොත් ?
කොහොමත් වේදිකාවේ සුලබව බිහිවන්නේ ගුණාත්මක නිර්මාණ තමයි. හොඳ නිර්මාණකරුවන්ගේ ගුණාත්මක නිර්මාණවලට මේ වනවිටත් ආරාධනා ලැබුණා. ඒත් ඒවා මම භාර ගත්තේ නැහැ. හංකිති දහතුන මගේ පළමු සහ අවසන් වේදිකා නාට්‍යය වේවි.

ඇයි ඒ?
කාලය තමයි ලොකුම ගැටලුව. වේදිකා නාට්‍යයකට දායක වුණාම ඒ වෙනුවෙන් විශාල කාලයක් කැප කළ යුතුයි. මට අවශ්‍ය සිනමාවෙන් හොඳ ගමනක් යන්නයි.

ඔබේ අලුත් සිනමා නිර්මාණය ගැන කතා කළොත්?
අයිස්ක්‍රීම් චිත්‍රපටයේ මම රඟපාන්නේ සිනමා නිළියකගේ චරිතයක්. එය සිනමාව පසුබිම් කරගත්තු නිර්මාණයක්. හේමාල්, රුක්මල් නිරෝෂ්, බිමල් ජයකොඩි, දමිතා අබේරත්න, ජයලාල් රෝහණ වැනි ප්‍රවීණයන් සමග එහි රඟපාන්න මට අවස්ථාව ලැබුණා.

පැණි මකුළුවෝ චිත්‍රපටයෙන් පස්සේ ‘අයිස්ක්‍රීම්’ සිනමාපටයට විතරද ඔබ මෑතකදී දායක වුණේ ?
තවත් කිහිපයක්ම තියෙනවා. ඒත් ඒවායේ නම් හා විස්තර දැන්ම හෙළිකරන්න බැහැ.

රඟපෑමත් එක්ක තවමත් නිරූපණ ශිල්පයේ යෙදෙනවාද?
නැහැ, දැන් එයින් ඉවත්වෙලා පූර්ණකාලීනව රංගනයට යොමු වෙලයි ඉන්නේ.

සිනමාව වෙනුවෙන් මේ තරම් කැපවෙන ඔබ රඟපෑමේදී චරිත තෝරාගන්නේ මොන පදනම මතද?
මට වඩා ප්‍රවීණ අය සමග කලාවේ නියැලීම මට හොඳ අත්දැකීම් රැසක් එකතු කරනවා. ප්‍රවීණ අධ්‍යක්ෂවරු යටතේ ප්‍රවීණ නළු නිළියන් සමග එකතු වෙලා නිර්මාණ කරන්න ආසයි.

හොද නිර්මාණයක් වෙනුවෙන් නිරුවත් හෝ ලිංගික ජවනිකා වුණත් රඟපාන්න සූදානම්ද?
නිරුවත හා ලිංගිකත්වය විකුණගෙන කන අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට නම් යන්නේ නැහැ. උසස් නිර්මාණයක කලාත්මක විදියට නිරුවත යොදාගත්තට වරදක් නැහැ. හැබැයි ඉතින් මගේ සීමාවන් තුළ හිඳිමිනුයි ඒවායේ රඟපාන්නේ.

ප්‍රවීණ සම්මානනීය නිර්මාණකරුවකු වන අශෝක හඳගම තනි තටුවෙන් පියාඹන්න, ඇගේ ඇස අග නිර්මාණ සඳහා අනෝමා හා රිතිකාගේ පූර්ණ නිරුවත කලාත්මකව යොදා ගත්තා. එවන් අවස්ථාවක් ලැබුණොත් ?
අශෝක හඳගම කියන්නේ විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක් බවත් ඔය නිර්මාණ උසස් නිර්මණ බවත් මුලින්ම කිව යුතුයි. එවන් නිර්මාණයකට ආරාධනා ලැබුණොත් අධ්‍යක්ෂවරයා එක්ක සාකච්ඡා කරලා මගේ සීමාව තුළට ඇවිත් ඊට දායක වීමට හැකිනම් විතරක් ඒ නිර්මාණය භාර ගන්නවා.

අයිෂාරා කිසිම මාධ්‍යයකට තමන්ගේ කිසිදු පෞද්ගලික තොරතුරක් නොදෙන නිළියක් කියන්නේ ඇත්තද ?
ඔව්. ඒක ඇත්ත, මොකද පෞද්ගලිකත්වය පෞද්ගලිකවම තියාගෙන කලාවේ රැඳී ඉන්න මම කැමතියි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!