Gossip

“මගේ සුරතල් පැටියා මට නැති කළා. ඇයි දෙයියත් මේවාගේ අහිංසකයකුට මෙවැනි විපතක් වුණේ.. පුංචි කාලේ ඉඳලාම අහසේ ඉගිලෙන්න තමයි හින මැව්වේ”

“මගේ සුරතල් පැටියා මට නැති කළා. ඇයි දෙයියත් මේවාගේ අහිංසකයකුට මෙවැනි විපතක් වුණේ. සුරතල් කුරුලු පැටියාට  මොකද මේ වුණේ. පුංචි කාලේ ඉඳලාම අහසේ ඉගිලෙන්න තමයි හින මැව්වේ. ඒ හිනේ  එයාට සැබෑ කරගන්න ගුවන් හමුදාවට බැදෙන්න අවසරය දුන්නා. මම හිතුවේ නෑ මගේ අහිංසක කුරුලු පැටියා අපිව දාලා ඉගිලිලා යයි කියලා.” තම පුතුගේ අකල් වියෝවෙන් දැඩි සේ කම්පාවට පත්ව සිටි ශිරන්ති කුමාරි මාපිටිගම මහත්මිය එසේ පැවැසුවාය.

“පුතා හැමදේටම දක්‍ෂයෙක්. පුහුණු කඳවුරේ තුන්සියයක් අතරින් පළවෙනියා එයා. මගේ පණ මට නැති වුණා” යැයි ශාලින්දගේ අම්මා හැඟුම්බරව පැවැසුවාය. කන්තලේ සූරියපුරදී පෙරේදා (15) දහවල් ගුවන්යානයක් කඩා වැටීමන් පුහුණු වන ගුවන් නියමුවකු මියගිය පුවත සැලවීමත් සමග මුළු රටම මහත් කම්පාවට පත්විය. මියගිය ගුවන් නියමුවා පුහුණු ගුවන් නියමු කැඩෙට් නිලධාරියකු වන අතර ඔහුට ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ අයෙකි. කෑගල්ල මාපිටිගම අලුත් වලව්වේ පදිංචි කේ.ආර්. ශාලින්ද විමුක්ති බණ්ඩාර අමරකොන් වන ඔහු මිය යන විට 23 වැනි වියේ පසුවිය.

2019 වසරේ ජනවාරි මස ගුවන් හමුදා  සේවයට එක් වූ ශාලින්ද විමුක්ති බණ්ඩාර අමරකොන් කෑගලු මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.  සිය සොඳුරු තාරුණ්‍යය මව්බිම වෙනුවෙන් කැප කළ අභීත රණවිරුවාගේ තොරතුරු සොයා 16 වැනිදා රුවන්වැල්ල මාපිටිගම අලුත් වලව්ව වෙත ගිය අතර,  එහි යන විටත් අවට ගම්වැසියන්, නෑදෑ හිත මිතුරන් තැන් තැන්වල එක් රොක් වී ශාලින්දට වූ මේ හදිසි විපත පිළිබඳ කතාබහ කරමින් සිටිනු දක්නට ලැබුණි.  රුවන්වැල්ල මාපිටිගම අලුත් වලව්වේ සමන් කුමාර අමරකෝන් සහ ශිරන්ති කුමාරි මාපිටිගම යුවළට දාව 1997 සැප්තැම්බර් 8 වැනිදා මෙලොව එළිය දුටු ශාලින්ද විමුක්ති බණ්ඩාර අමරකෝන් පවුලේ එකම පිරිමි දරුවා විය. පවුලේ බාලයා වූ ශාලින්දට වැඩිමහල් සොහොයුරියන් දෙදෙනෙක් සිටිති. රන්දුලිකා අමරකෝන් ශාලින්දගේ වැඩිමහල් අක්කා වන අතර උදාරා අවන්ති අමරකෝන් දෙවැනි අක්කාය. පවුලේ සැමගේ සෙනෙහස ආදරය මැද මාපිටිගම අලුත් වලව්වේ හැදී වැඩුණු ශාලින්ද කෑගල්ල විද්‍යාලයට ඇතුළත්ව අකුරු උගත්ය.

ගණිත අංශයෙන් උසස් පෙළ සමත්වී රජරට සහ රුහුණ විශ්වවිද්‍යාලවලට යාමට සුදුසුකම් ලැබූ ඔහු ඒ සියල්ල අතහැර කුඩා කල සිට තිබූ සිහිනයක් සැබෑ කරගනිමින් කැඩෙට නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් විය. 2019 ජනවාරි 27 වැනිදා කැඩෙට් නිලධාරියකු ලෙස බැඳී දියතලාව පහුණු පාසලේ හය මසක පුහුණු පාඨමාලාවක් හදාරා ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා ගුවන් නියමු පුහුණු පාඨමාලාව හදාරමින් සිටියදී ඉකුත් 15 වැනිදා සිදු වූ ගුවන් අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්විය.

කන්තල් සූරියපුර ප්‍රදේශයේදී ගුවන් අනතුරෙන් මියගිය ශාලින්ද විමුක්ති බණ්ඩාර අමරකෝන් ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සිටි අයෙකි.

ඔහු පියාසර සැසි  84ක් අවසන් කොට ඇති අතර තවත් පියාසර සැසි 4ක් නිම කිරිමට තිබී ඇත. ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරන් දහවල් 1ට ගුවන් යානය පිටත් වී ඇති අතර ගුවන්ගත කර විනාඩි 15කට පමණ පසු එම ගුවන්යානය හා ප්‍රධාන මෙහෙයුම් මැදිරිය හා පැවැති සම්බන්ධතා බිඳ වැටී තිබේ. පසුව අනතුරට ලක් වූ මෙම ගුවන්යානයේ ගුවන් නියමු ශාලින්ද විමුක්ති බණ්ඩාර අමරකෝන් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

සිය සොහොයුරාගේ වියෝවෙන් දැඩි කම්පාවට පත්ව සිටින  උදාරා අවන්ති අමරකෝන් මෙනවිය මෙසේ පැවැසුවාය.

“ගුවන් අනතුරෙන් මියගොස් සිටින්නේ මගේ එකම මල්ලි එයා හරියට කුරුල්ලෙක් වගේ. අම්මා ආදරයට කිව්වේ කුරුල්ලා කියලා. පුංචි කාලේ ඉඳලාම එයාට ආසාව තිබුණේ ගුවන්  නියමුවෙක් වෙන්න.  ගුවන් නියමුවෙක් දැකලාවත් නැති කාලේ මල්ලි කිව්වේ මමත් කවදා හරි පයිලට් කෙනෙක් වෙනවා කියලා. එයාගේ ඒ  සිහිනය සෑබෑ කරගන්න අපි ඉඩ දුන්නා. අපේ ගෙදර වීරයා මුළු රටේම වීරයා වෙලා.

දිනමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!