Gossip

එදා ජීවිතය පරදුවට තබා මඩකලපු දියේ ගිලුණු ජීවිත බේරූ වීර සෙබළා වසරේ නිර්භීතම පුද්ගලයා ලෙසින් කිරුළු පැළඳූ හැටි – Photos

පසුගිය දිනෙක මඩකලපුව ප්‍රදේශයේදී දියේ ගිලුණු ත්‍රී රෝද රථයක සටි කුඩා දරුවෙන්, ගැබ්බර කතක් ඇතුළු පිරිසක් සිය ජීවිතය පරදුවට තබමින් බේරාගත් ගුවන් හමුදාවේ සේවයේ නියුතුව සිටි නවීන් ධනුෂ්ක නම් සෙබලාට ඊයේ (27) අද දෙරණ සම්මාන රාත්‍රියේදී වසරේ නිර්භීතම පුද්ගලයාට හිමි සම්මානය හිමිවුණා.

ඔහුට හිමි සම්මාන ලබාගන්නා අවස්ථාවට පවුලේ සාමාජිකයින්ද සහභාගී වී සිටි අතර ඔහු කළ වීර ක්‍රියාව සම්බන්ධයෙන් පසුගිය දිනෙක පුවත්පත් වාර්තා කර තිබුණේ මේ අයුරින්…..

මඩකලපු කලපු දිය අසල මාර්ගයේ මිනිසුන් 150 කට ආසන්න පිරිසක්‌ රැඳී සිටින්නට වූහ. “මෙතන කිඹුල්ලු ඉන්න නිසා කිඹුලෙක්‌වත් ගොඩට ඇවිල්ලද දන්නේ නැහැ.” යනුවෙන් නවීන්ට සිතුණි. ඇයි මොකද වෙලා තියෙන්නේ ඔහු අයකුගෙන් ඇසීය. වාහනයක්‌ කලපුවට වැටිලා කියත්ම නවීන් ධනුෂ්ක යතුරුපැදියෙන් බිමට බැස්‌සේය. කලපුව අසළ අයකු අඬමින් සිටිනු අයුරු ඔහු දුටුවේය. නමුත් දියෙහි ගිලිණු රියක සලකුණු හෝ කලපු දිය මත නොවීය.

නමුත් කිසිවකුත් රියෙහි සිටි අය බේරාගැනීම සඳහා කලපුවට නොබැස ජංගම දුරකථනවලින් වීඩියෝ කරමින් සිටින්නට වූහ. වතුර පොදක්‌ පෙවුණත් හුස්‌ම ගැනීමේ අපහසුව නවීන්ට දැනුණි. රියෙහි ඉන්නා අය හුස්‌ම ගන්නට නොහැකිව දැඩි වේදනාවෙන් සිටින බව පමණක්‌ නවීන්ට මතක්‌ විණි. එය කෙතරම් වේදනාබර මරණයක්‌ දැයි සිතුණි. සැණෙකින් තම ආම්පන්න පසෙක තබා කමිසය සහ කලිසම උනා දමද්දී නේවිද යනුවන් අයෙක්‌ ඔහුගෙන් ඇසීය. නැහැ මම එයා පෝස්‌ කියමින් කලපුවේ ගල්මුල් තිබේද? කම්බි තිබේද? මීනි කන කිඹුලන්ගෙන් හානියක්‌ වේදැයි නොසිතා තම ජීවිතය දැඩි අවධානමකට ලක්‌ කරමින් සීතල කලපු දියට පාළම මත සිට පැන්නේ එම ස්‌ථානය පිළිබඳ කිසිදු වග විභාගයක්‌ නොමැතිවය.

කලපු දියට බට නලින් කිහිපවරක්‌ම පිහිනමින් දියේ ගිලී තිබුණු වාහනය සොයන්නට වූවේය. එම ස්‌ථානය අඩි 15 ක්‌ පමණ ගැඹුරැති තැනකි. නමුත් ඔහුට වාහනය සොයා ගැනීමට නොහැකිවිය. අඩි කිහිපයක්‌ දිය යටට ගොස්‌ පාදයෙන් දියෙහි ගිලුණු රිය සොයද්දී එක්‌වරම ඔහුගේ පාදයේ යමක්‌ වැදෙන්නට විය. ත්‍රිරෝද රියක වහළයේ ආවරණයක්‌ බව ඔහුට සිතුණි.

සැණෙකින් දිය මතුපිටට පැමිණි ඔහු හොඳ හුස්‌මක්‌ ගෙන නැවතත් දියේ ගිලුණි. කලපුවේ දිය කැළඹී ගොස්‌ කළු පැහැති මඩෙන් දිය ද කළුවන්ව තිබුණි. එනිසා ඔහුට කිසිවක්‌ නොපෙනුණි. ඒ සමඟම ජලයෙහි දියවී තිබුණ මඩ තට්‌ටුවකින් නලින්ගේ දෑස පිරී ගොස්‌ ඇස්‌ දෙකට දැවිල්ලක්‌ සමඟින් මහා වේදනාවක්‌ දැනුණි.

ඒ සියලු වේදනාවන් ඉවසා දරාගෙන දෑස්‌ පියාපත් තදකරගෙන තව තවත් දිය යටට පිහිනූ ඔහුට කලපු පතුළේ නැවතී ඇති රිය හසුවුණි. එහි වහළය සහ ටෙන්ට්‌ රෙද්ද නිසා දියේ ගිsලී ඇත්තේ නිසැකවම ත්‍රිරෝද රියක්‌ බව ඔහුට දැනුණි. දෑතින් ත්‍රිරෝද රිය අතගාමින් එහි පසුපස කොටස ඇතුළත අතපත ගාද්දී කුඩා දරුවකුගේ යෑයි සිතිය හැකි අතක්‌ හසුවූවේය. ඒ තුන් හැවිරිදි අනිපා දැරියයි. සැණෙකින් ඒ දරුවා ඇද රියෙන් එළියට ගෙන එක්‌ අතකින් තම සිරුරට තදකර තබා අල්වා අනෙක්‌ අතින් දිය පහර කලතමින් ශක්‌තිය යොදවා කලපු දියෙන් හිස එසවූහ. නමුත් කිසිවෙක්‌ මෙම ගලවා ගැනීමේ කටයුත්තට සහායක්‌ දෙන්නට දියට බැස නැති බව නවීන්ට පෙනුණි. සියලු දෙනාම වාගේ ජංගම දුරකථනවලින් මෙය වීඩියෝ කරමින් බලා සිටින්නට වූහ.

දියෙහි මතුවූ තැන සිට ගොඩබිමට තවත් මීටර් හත අටත් ඇත. අවුරුදු තුනක්‌ වයසැති සිඟිත්තිය ද තුරුලු කොට ගොඩබිමට පිහිනූ නවීන් දියෙහි ගිලී දරුවා ගොඩ තබා නැවත කලපු දියට පැන්නේ ගිලී සිටින අන් අයත් බේරා ගන්නටය. ත්‍රිරෝද රිය ගිලී තිබෙන ස්‌ථානයට පිහිනා ගිය ඔහු හොඳ හුස්‌මක්‌ අල්ලා නැවතත් දියෙහි කිමිදුනි. පෙර මෙන් දෑස්‌ වසා අතපත ගාමින් නැවතත් පරිශ්‍රමයක්‌ දරා ත්‍රිරෝද රිය සොයාගත් නවීන් එහි පසුපස කොටස අතපත ගාද්දී තවත් කුඩා දරුවකුගේ අතක්‌ හසුවූවේය. ඒ සිව් හැවිරිදි හෂාන් ළදරුවාය. ඔහු ද අතින් රියෙන් එළියට ගෙන ජලය මතුපිටට ගෙනැවිත් තබද්දී උදව්වට එවරත් කිසිවකුත් කලපු දියට බැස්‌සේ නැත. නැවත ගොඩ බිමට පිහිනා ගොස්‌ ඒ දරුවාද ගොඩබිමට තබා නැවතත් කලපු දියට පැන්නේය.

දැන්නම් නවීන්ට හොඳටම මහන්සිය. ක`ඵවන් කලපු දියේ රහ දිවට දැනෙමින් ඇත. නවීන්ට පෙවුණු කලපු දිය ඔහු දැඩි අසීරුතාවට පත්කළේය. පෙරසේම නැවතත් දියෙන් කිමිද ත්‍රිරෝද රිය සොයා අතපත ගෑ ඔහුට එවර කාන්තාවකගේ අතක්‌ හසු විය. ඇය අවුරුදු 57 ක්‌ වූ කච්චි උම්මාය. ඇය ද අතින් ඇද රියෙන් එළියට ගත් ඔහු දිය මතුපිටට විත් ඇස්‌ ඇර බලද්දී එවරත් කිසිවෙක්‌ සහයට නැත. නවීන් ධනුෂ්කට මහා වෙහසක්‌ දැනුණි. ඔහු මහත් වෑයමක්‌ දරමින් තමක්‌ගේ සිරුරේ තිබෙන ශක්‌තිය උපරිමයෙන් යොදවා එම කාන්තාව ද එක්‌ අතකින් ගෙන අනෙක්‌ අතින් කලපු දිය සමඟ පොර බදමින් ගොඩට ගෙනෙන ලදී.

ඇය කලපු දිය මත තැබූ නවීන් අධික වෙහෙසට පත්ව පැත්තක වැතිරී ගිමන් හරින්නට විය. ඇස්‌ දෙක මඩ ගොස්‌ දැවී කැවෙන්නේය. ජලය පෙවීම නිසා මඳක්‌ හුස්‌ම ගැනීමටද අපහසුවක්‌ දැනුණි. සුළු මොහොතක්‌ තුළ ඉතා වේගයෙන් ක්‍රියාත්මක වී තිදෙනෙත් බේරා ගැනීම නිසා දැඩිසේ මහන්සියක්‌ දැනුණි. දැඩි අපහසුවෙන් සිටි නවීන්ට එසේ ඉන්නට ලැබුණේ තප්පර කිහිපයකි. තවත් එක්‌කෙනෙක්‌ අඩුයි. තවත් එක්‌කෙනෙක්‌ ඉඳලා තියෙනවා කියලා කවුද කෑගසනවා ඔහුට ඇසිණි.

ඒ වදන ඇසෙත්ම නලින් වහා ක්‍රියාත්මක වූවේය. දැඩි වෙහෙසට පත්වූ ඔහුට මෙවර කාය ශක්‌තිය වෙනුවට ක්‍රියාත්මක වූවේ හිතේ ශක්‌තියයි. නැවතත් කලපු දිය සමඟ පොර බැද පිහිනා ගිය ඔහු පෙර මෙන් දෑස්‌ පියාගෙන කලපු දියේ ගිලෙන්නට විය. දියේ අඩි කිහිපයක්‌ කිමිදෙන විටම ගත් හුස්‌ම පොද අවසන්ව යන ආකාරය දැනෙන්නට වුවේය. ත්‍රිරෝද රිය සොයාගෙන පෙර මෙන් අතපත ගාන්නට විය. ඒත් කිසිවෙක්‌ ත්‍රිරෝද රියේ සිට හසුවූයේ නැත. ඒ සමඟම තමන්ගේ හුස්‌ම පොද ද හිරවෙන සෙයක්‌ නවීන්ට දැනිණි.

මෙහි සිටි අනෙක්‌ අයට කුමක්‌ද සිදුවූයේ සිතූ නලින් නැවතත් ත්‍ර්‍රsරෝද රියේ අනෙක්‌ පසට පිහිනා යන්නට විය. එක්‌ වරම කාන්තාවකගේ හිස හසුවිය. කිහිප වරක්‌ එළියට ඇද්ද ද ඇය එළියට නාවේය. ත්‍රිරෝද රිය තුළට අත දමා බැලූ පසු ඇයගේ පාදයක්‌ රියෙහි යකඩ බටයක හිරවී ඇති බවක්‌ දැනිණි. දැන්නම් තවත් මොහොතක්‌ හෝ දියෙහි කිමිදී ඉන්නට නොහැකිය. තමාගේ පපුව හිරවෙන සෙයක්‌ දැනුණි. එනිසා නවීන් නැවතත් දිය මතුපිටට පිහිනා විත් හුස්‌ම පොදක්‌ ගන්නට වුවේය.

එයා හිරවෙලා ඉන්නේ. මට තනියෙන් උඩට ගන්න අමාරුයි. උදව් කරන්න එන්න කියා කෑගැසුවේය. ඒත් කිසිවෙක්‌ දියට බැස්‌සේ නැත. ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් ඔහේ බලාගෙන සිටින්නට වූහ. වතුර ඇතුළට යන්න එපා. මෙතෙන්ට ඇවිල්ලා මගේ කකුල් දෙකෙන් අල්ලගෙන ඉන්න. මම උඩට ආවේ නැත්නම් මගේ කකුල් දෙකෙන් උඩට ඇදලා ගන්න යෑයි නලින් කෑගසා බලා සිටින අයට කිවේය. ඒත් කිසිවෙක්‌ දියට බැස්‌සේ නැත. වෙනදා බොරුවට කුලප්පුව ජාති ආලයට තප්පර ගණනින් පාරට බැස කැති පොලු ගන්නා දෙමළ සහ මුස්‌ලිම් නගරවාසීන් එකෙක්‌ මේ අසරණයන් බේරා ගන්නට දියට බැස්‌සේ නැත.

කලපු දිය පතුලේ මේ වනවිටත් රැඳී සිටින්නේ ගැබ්බර කාන්තාවක්‌ බව නලින් දන්නේ නැත. තවත් බලා සිටීමෙන් තේරුමක්‌ නැති බව වටහාගත් නලින් මට මොනවා වුණත් කමක්‌ නැහැ මම කොහොම හරි මෙයාව ගොඩට ගන්නවා යෑයි සිතා ගෙන නැවතත් දියේ ගිලිණී. අඩි 15 ක්‌ දියේ කිමිදී සිටීම නිසා ඔහුට දැඩි අපහසුවක්‌ දැනෙන්නට වූහ. ත්‍රිරෝද රිය තුළට හිස දමා ඉහළට යැම වැළැක්‌වීම සඳහා හිස වාහනයේ පියස්‌ස තුළ තබා හිර කර ගත්තේය. මහත් වෑයමක්‌ දරා දියෙහි ගිලුණු එම කාන්තාවගේ හිරව තිබුණු පාදය මුදවා ගන්නට විය.

තරබාරු කාන්තාවක්‌ වූ ඇයගේ පාදයෙන් අල්ලා දිය මතුපිටට එද්දී ද එකෙක්‌වත් සහයට නැත. ඇත්තේ නරඹන්නෝම පමණි. ඉතා අපහසුවෙන් ගොඩබිමට ආ කල ඇය ගැබ්බර කතක්‌ බව නවීන්ට පෙනුණි. ඇයගේ දත කට තදව තිබුණු අතර ඇස්‌ උඩගොස්‌ තිබුණි. සැණෙකින් ඇයගේ කට මිරිකූ කල මුඛය විවර වන්නට වූවාය. හිස පසෙකට ඇලකර තබා ඇයගේ පපුව ප්‍රදේශය මඳක්‌ තෙරපන විට සෙම හා ජලය පිටවන්නට වූවාය. ඇයගේ අතක්‌ ගෙන නාඩි අල්ලා බලද්දී නාඩි තවමත් වැටෙන ආකාරය නවීන්ට දැනෙන්නට වූවේය. මේ වන විට කලින් ගොඩගත් තිදෙනාම කවුරුන් හෝ රෝහලට ගෙන ගොස්‌ තිබුණි.

දරුවෙක්‌ ලැබෙන්නට සිටි මවක්‌ වන තරබාරු කතක්‌ නිසා නවීන්ට තනිවම ඔසවා ගැනීමට අපහසු විය. මෙයා තවමත් ජීවත් වෙනවා ඉක්‌මනට මෙයාව ඉස්‌පිරිතාලෙට ගෙනියන්න උදව් කරන්න නවීන් කෑගැසුව්ය. පාරේ ත්‍රිරෝද රියක්‌ තිබුණි. එක්‌ අයෙක්‌ පැමිණ දියේ ගිලුණු කතගේ පැත්තකින් ඔසවා ත්‍රිරෝද රියට නැඟ එහි පසුපස ආසනයේ තබා අනෙක්‌ පසින් බැස යන ලදී. දැන් ත්‍රිරෝද රියෙහි දැමූ කාන්තාවගේ පාද ද එළියේය. කිසිවෙක්‌ ඈ අල්ලා ගන්නට ත්‍රිරෝද රියට නැඟීමට ඉදිරිපත් වූයේ නැත. වටපිට බැලූ නවීන්ට කිසිවෙක්‌ ඒ සඳහා ඉදිරිපත් නොවන බව පෙනුණි. මොහොතක්‌ හෝ පමාවෙන් ඇයගේ ජීවිතය විනාශ වන බව දැනගත් නවීන් සැනෙකින් ත්‍රිරෝද රියට ගොඩව ඇයගේ පාද දෙක නවා රිය තූළට ගනිමින් මඩකලපුව රෝහලට යන ලදී. නමුත් මේ යන විටත් තමන් සිටින්නේ යට කලිසම පිටින් බව නවීන්ටද නොදැනුණි. මේ ජීවිතය බේරා ගැනීමේ අදිටන පමණක්‌ ඔහුගේ සිතේ තැන්පත්ව තිබුණි.

මඩකලපුව රෝහලට ගිය නවීන් සිය දෑතින්ම එම කත ඔසවා හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇඳ මත තබද්දී රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්‌ඩලය ඇතුළු දුටුවන් විස්‌මයට පත් වූහ. යට කලිසමක්‌ පමණක්‌ ඇඳ ගැබිනි කතක්‌ ඔසවාගෙන එන තරුණයා කවුරුන් දැයි ඔවුන් සිතන්නට වූහ. ඒ වන විටත් දියේ ගිලී ගොඩගත් පිරිසට වෛද්‍යවරු ප්‍රතිකාර කරමින් සිටින්නට වූහ. ඔසවා ගෙන පැමිණි කාන්තාව ඇඳ මත තබා විස්‌තර පැවසූ නවීන්ට තමන් දැන් මේ සිටින්නේ යට ඇඳුම පිටින් බව සිතුණි. දැන් නැවතත් ගුවන් හමුදා කඳවුරට යා යුතුය. මොකද කරන්නේ කොහොමඳ මෙහෙම යන්නේ කියා සිත සිතා ඉද්දී නවීන්ට රෝහලේ කාර්ය මණ්‌ඩලයේ අයෙක්‌ මල්ලි මේක ඇද ගන්න කියා තුවායක්‌ ගෙනත් දෙන ලදී. තුවාය ඉනේ දවටාගෙන රෝහලෙන් එළියට එද්දී ගුවන් හමුදාවේ අයෙක්‌ දියේ ගිලිච්ච අයෙක්‌ බේරාගත්තා යෑයි මඩකලපුව නගරය පුරා පැතිර යන්නට වූහ.

ඒරාවුර් පදිංචිව සිටි කේ. කබීර් සිය බිරිඳත් බිරිඳගේ නැඟණියත් සිව් හැවිරිදි පුතා තුන් හැවිරිදි දියණිය සහ නැන්දණියත් සමඟින් මඩකලපුව රෝහලට යන්නට පිටත් වූයේ ප්‍රතිකාර ලබන ඥාතියකු බැලීමටය. නමුත් මඩකලපුවට එන ගමනේදී කබීර් පැදවූ ත්‍රිරෝaද රිය පාලනය කර ගැනීමට නොහැකිව මඩකලපුව කලපුවට වැටී දියේ මු`ඵමනින්ම ගිලී යන ලදී. එම අවස්‌ථාවේ කබීර් සහ බිරිඳගේ නැඟණිය වන ඒ.සී. අනුෂියා ත්‍රිරෝද රථයෙන් ඉවතට පිහිනා විත් දිවි ගලවාගෙන තිබුණි.

අවසානයේ දියේ ගිලුණු තුන් හැවිරිදි අන්යා සහ සිව් හැවිරිදි හෂාන් සහ කච්චි අම්මා යන තිදෙනා දියේ ගිලී මරුවා වැළඳගෙන අවසන් ගමන් යන්නට ඔන්න මෙන්න කියා තිබියදී නවීන් නිසා දිවි ගලවා ගන්නට තරම් වාසනාවන්ත වුවෝය. නමුත් අවසානයේදී ගොඩට ගත් ඒ.සි. ෂරිනා වන ගැබ්බර කත දින කිහිපයක්‌ මරු හා සටන් වදිමින් මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියාය. නමුත් ගොඩ සිට වීඩියෝ කරමින් පොටෝ ගසමින් නරුම ලෙස බලා සිටි අයකුගෙන් එකෙකු මෙම කලපුවට බැස නවීන්ට උදව් කළේ නම් මිය ගිය කතද කලින්ම දියෙන් ගොඩගෙන ඇයගේ දිවි ද බේරා ගැනීමට හැකිවනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!