මව සහ පියා ළඟ නොමැතිව නිවෙසක නේවාසිකව සිටි 11 හැවිරිදි පාසල් සිසුවකු සොරකම් කීපයක් සම්බන්ධව රක්වාන පොලිසිය විසින් පෙරේදා (08) දා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර සිසුවා විසින් සොරාගන්නා ලද රන් භාණ්ඩ ළඟ තබා ගෙන සිටි එම සිසුවා නැවතී සිටි නිවසේ කාන්තාවක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකාර ළමයාගේ මව කොළඹ ප්රදේශයක ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවය කරන බවත් පියා ද නොමැති නිසා මව විසින් මෙම ළමයා සහ දියණියක් රක්වානට නුදුරු නිවෙසක නවතා පාසල් යවන බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
රක්වාන පන්සල්ගොඩ සහ කන්දකුඹුර යන ප්රදේශවල නිවාස තුනක් බිඳ රන් සහ මැණික් සොරාගෙන යෑමේ සිද්ධීන් ගැන පොලිසියට ලද පැමිණිලි අනුව පරීක්ෂණ කර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂක සම්පත් අබේවික්රම මහතා ඇතුළු නිලධාරීන්ට හැකි විය. මෙම සැකකාර සිසුවා විසින් නිවසක වෙළෙඳ සලක තිබූ කෙසෙල් ගෙඩි වගයක් ද සොරාගෙන ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබේ. සැකකරු සිටි නිවසේ ගෘහමූලික කාන්තාව ළඟ තිබී රන් මුදු දෙකක් තව රන් ආභාරණ කීපයක් සහ වටිනාකම අඩු මැණික් ගල් කීපයක් පොලිසිය විසින් සොයා ගෙන ඇත. ඒවා අයිතිකරුවන් විසින් හඳුනා ගෙන තිබේ. තවත් රන් මුදු දෙකක් ඇතුළු භාණ්ඩ කීපයක් සොයා පොලිසිය පරීක්ෂණ සිදු කරයි. රක්වාන පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක බමුණුසිංහ මහතාගේ උපදෙස් මත ප්රධාන පොලිස් පරීක්ෂක සම්පත් අබේවික්රම මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරුණි.