බිස්කට් වැලෙන් බිස්කට් පැකැට්ටුවක් ගන්නට අත් උස්සන විට බිස්කට් පැකැට්ටුව ඉල්ලූ අය තමාගේ රන්මාලය කඩාගෙන හෝටලයෙන් පිටව දුවගිය බවට හලාවත ව්යාපාරික කාන්තාවක් හලාවත පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා තිබේ.
හලාවත කොළඹ පාර පදිංචි වර්ණකුලසූරිය ෂෙරින් පීරිස් නමැත්තිය පැමිණිලිකාරිය වෙයි.
15 දින තමා පෙරවරු 5.30 ට පමණ හෝටලය විවෘත කර ගනුදෙනු කටයුතු සිදුකරමින් සිටිය බවද එවෙලේ කළුපාටට හුරු අඩි 05 ක් පමණ උස ගුරුපාට කොටු සහිත ටී ෂර්ට් එකක් හා කාකිපාටට හුරු කොට කලිසමක් ඇඳගත් පුද්ගලයකු හෝටලය තුළට පැමිණ රුපියල් 50 ක්දී රුපියල් 20 ක මුරුක්කු පැකට්ටුවක් ඉල්ලා සිටි බවද ඔහුට මුරුක්කු පැකැට්ටුව දී රුපියල් 30 ක් ඉතිරි දුන් බවද කියා ඇත.
ඉන්පසු එම පුද්ගලයා උඩින් එල්ලා තිබූ බිස්කට් වැලෙන් බිස්කට් පැකැට්ටුවක්ද ඉල්ලා සිටියෙන් තමා බිස්කට් පැකැට්ටුවක් ගන්නට දෙඅත් උස්සන විට තම කරේ තිබූ රන්මාලය කඩාගෙන හෝටලයෙන් පැන දිවූ බවත් පවුම් දෙකකින් යුත් ඩයමන්ඞ් හැඩයේ කුරුසය සහිත රන්මාලය රුපියල් 180,000 ක් වටිනා බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඒ. යූ. ගුණපාල
