
චීනය විසින් එරට වැසියන්ට 1979 වසරේ සිට පනවා තිබූ එක්දරුවෙකු පමණක් නීතිය ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනූව වසර 35ක පමණ කාලයක් තිස්සේ චීන වැසියන්ට එක්දරුවෙකු පමණක් හදා ගැනීමට ලබාදී තිබූ අවසරය නවතම තීරණයත් සමග දරුවන් දෙදෙනෙකු දක්වා වැඩි කිරීමට අවස්ථාව ලබාදී ඇත.
එක්දරු ප්රතිපත්තිය නිසා චීනයේ වැඩිහිටි ජනගහණය ඉහළයාමත් සමග ඔවුන් වයසට යාමේදී රැකබලා ගැනීමේ හටගෙන ඇති දුෂ්කරතා නව තීරණයට ඉවහල් වී ඇතැයි වාර්තා වනවා.චීනයේ පවුලකට එක දරුවකු පමණක් සීමා කෙරෙන නීතිය 1979 දී පනවනු ලැබුවේ එරට ශීඝ්රයෙන් ඉහළ යන උපත් අනුපාතය සැලකිල්ලට ගැනීමෙන් පසුවයි.
චීනයේ වැඩි වන ජනගහණයෙන් මිලියන හාරසීයක් පමණ අඩු කර ගැනීමට එම නීතිය දායක වූ බව ගණන් බලා තිබෙනවා.
මින් පෙර පවුලකට එක් දරුවෙකු සීමා කෙරෙන නීතිය කඩ කළ අයට විශාල දඩ මුදල් ගෙවීමට සිදු වූ අතර ඇතැම් විට ගබ්සා සැත්කම් සිදු නොකළහොත් ඔවුන්ගේ රැකියා අහිමිවීමේ අවදානමක් ඇති කිරීමට පවා චීන රජය පියවර ගෙන තිබුණා.
චීනයේ කොමියුනිස්ට් පක්ෂය විසින් නිකුත් කරන ලද ප්රකාශයක් පදනම් කර ගනිමින් ෂින්හුවා පුවත් සේවය පවසන්නේ ඒ අනූව චීන පවුලකට දරුවන් දෙදෙනකු සාදා ගැනීම සඳහා අනුමැතිය ලබාදීමට රජය තීරණය කර ඇති බවයි.
