පංචනංතරිය පාපකර්ම දන්නවද?
ඔව්
කියන්න බලන්න
මව මැරිම, පියා මැරිම, රහතුන් මැරිම, බුදුන්ගේ ලේ සෙලවිම සහ සංඝ හේදය.
ෂා… ඔය අපූරුවට කටපාඩම් කරලා තියෙන්නේ.
කොහෙන්ද ඉගෙන ගන්තේ?
දහම් පාසලෙන්
දහම් පාසලුත් ගියාද?
ඔව් ධර්මාචාර විභාගයට මාසයක් වෙනකම් දහම් පාසල් ගියා.
ඉස්කෝලේ?
ඉස්කොලේ ගමන නතර කළේ දහම් පාසල් ගමන එක්කම තමයි.
ඉගනිම කඩාකප්පල් කරගන්නේ ඇයි?
යාළුවෝ නිසා
ඒ යාළුවෝ කළ්‍යාන මිත්‍රයෝ ද? පාප මිත්‍රයො ද?
එදා මට උන්ව පෙනුණේ කළ්‍යාන මිත්‍රයෝ වගේ
ඒත් පස්සේ තමයි මම තේරුම් ගත්තේ කළ්‍යාන මිත්‍ර වේසයෙන් පෙනි හිටපු පාප මිත්‍රයෝ කියලා..
කියන්න බලන්න මුල ඉඳලා සිද්ධ වුණේ මොනවද කියලා?
මාගේ ඒ ඉල්ලිම හමුවේ විනාඩියක් පමන දැස් තදින් පියාගෙන සිටිය ඔහු ගැඔුරු හුස්මක් ගෙන එය සුසුමක් ලෙස පිටකිරිමෙන් අනතුරුව දිග කතාවකට මුල පිරුවේය.
ඉස්කෝලේ යන කාලේ මට වයස අවුරුදු දහාතුනක් විතර වෙද්දි මම අපේ පන්තියේ හිටපු කෙල්ලෙක්ට ආදරය කරන්න පටන් ගත්තා.
ඒකියි මායි හොද යාළුවෝ. මොන හේතුවකටද මන්දා මගේ හිතේ ඒකි ගැන ආදරයක් අශාවක් ඇති වුණා. ඒකි මට වරෙන් පලයන් උඔ බන් කියලා තමයි කතා කළේ.
මම දවසක් කිවුවා මට එහෙම කතා කරන්න එපා. මගේ හිතේ ඔයා ගැන ආදරයක් තියෙනවා කියලා. ඒ නිසා මම කිව්වා මට ආදරෙන් ගයාන් කියලා කතා කරන්න කියලා.
ඒක අහපු ඒකිගේ මුණ එක පාරට රකුසු වුණා. මගේ දිහා රවලා බලලා උඔට ආදරෙයි කියලා නෙවේයි මම උඔ එක්ක එක වචනයක් කතා කරන්නේ නෑ. ආයේ එන්න එපා මගෙත් එක්ක එක වචනයක් කතා කරන්න කියලා ඒකි ගස්සගෙන ගියා. ඒක අහපු මගේ ඔලුව කැරකිලා ගියා. මම තිෂ්තිම්භුත වෙලා වගේ එතනම හිටගෙන ටික වෙලාවක් එතනම හිටියා. එදා හවස පන්ති තිබුණා.
මට ඒකට යන්න තරම් මානසිකත්වයක් තිබුණේ නෑ. ඉස්කොලේ ඇරනු ගමන් මම පොත් ටිකත් අරගෙන ඉස්කෝලෙන් එලියට බැස්සා. ගෙදර යන්න බෑ වගේ අපේ ගෙවල් පැත්තට යන පාරේ එක පැත්තකට මිටර් පනහක් වගේ කැලේ ඇතුලට වෙන්න දොළ පාරක් ගලනවා. ඒ අයිනේ ගල් තලාවකුත් තියෙනවා. මම අර ගල් තලාවට ගිහිල්ලා එතන වාඩි වෙලා මොනවද කරන්නේ කියලා කල්පනා කර කර හිටියා. ඔහොම ඉන්නෙද්දි කොල්ලෝ හතර පස් දෙනෙක් අවා. එතනින් එක්කෙනෙක් අපේ ඉස්කෝලේ ලොකු පන්තියක අයියා කෙනෙක් එයා එදා ඉස්කෝලේ ගිහින් හිටියේ නෑ. මාව දැකලා එතන හිටපු අයියා ලඟට ඇවිල්ලා මෙතන මොනවද කරන්නේ මල්ලි කියලා ඇහුවා. මම කිවුවා මුකුත් නෑ අයියේ නිකන් මෙතන නිදහසේ ඉන්න ආවේ කියලා කිව්වා. ඒ අයියා කිව්වා අපි පොඩි වැඩකට මෙතනට ආවේ කියලා අඩි දෙකක් විතර එහායින් බිම වාඩි වුණා. ටික වෙලාවකින් මට ඒ පැත්තෙන් අමුතු සුවදක දුමක් එනවා වගේ දැනුණා. ඒ දුම් සුවඳ මට කවදාවත් දැනිලා නෑ.
මම පිටිපස්ස හැරිලා බලන කොට ඉයම් කොළයක් අතේ තියාගෙන ගිනිකුරු ගගහා මොනවද උරනවා. මම එතනින් නැගිටලා ගිහිල්ලා ඇලපාර ලඟ ගලක වාඩි වුණා. ටික වෙලාවකින් අර අයියා මගේ ලඟට ඇවිල්ලා ඇහුවා මල්ලි උඔට ප්‍රශ්ණයක් වගේ කියලා. කෙල්ලෙක් බූට් තියලා වෙන්න ඇති. ගනන් ගන්න එපා කියලා මාව අර යාළුවෝ ඉන්න තැනට එක්කගෙන ගියා. ගිහින් කිව්වා ඔය හිතේ අමාරුවට විතරක් නෙවෙයි ඇගේ අමාරුවත් නැති වෙන බෙහෙතක් අපි ලඟ තියෙනවා ට්‍රයි කරලා බලපන් කියලා. ඒ අයියාගේ කිමට මම එකඟ වෙලා අර ඉයම් කොලේට දාපු කුඩු ටික ඉරුවා.
උරලා ඉවර වෙච්ච ගමන් මාව කැරකෙන්න ගත්තා. වමනේ යන්න වගේ අවා ඒත් ටික වෙලාවක් ගියාම ඇගට මාර ගතියක් දැනුණා. බඩගින්නකුත් ආවා. ඒ අයියා කිව්වා මල්ලි උඔට හෙටත් ඕනා වගේ දැනුනොත් මේතනට මේ වෙලාවට වරෙන් කියලා, තියෙනවනම් රුපියල් හයසියක් විතර අරගෙන වරෙන් කියලා කිව්වා. මම හා අයියේ කියලා යන්න ගියා. ඊට පහුවෙනිදා ඉස්කෝලේ යන්න බොරුවක් කියලා රුපියල් පන්සියක් ඉල්ල ගත්තා.
මොකක්ද කියපු බොරුව?
පන්තියේ ළමයෙක්ගේ උපන් දිනෙට තැග්ගක් අරන් දෙන්න කියලා.
තාත්තා සල්ලි දුන්නද?
ඔව් තාත්තා පන්සිය දීලා ඇහුවා කොයි වෙලාවටද තෑග්ග ගන්නේ කියලා මම කිව්වා ඉස්කෝලේ ඇරිලා පන්තියට ගිහිල්ලා තෑග්ග දෙන්නේ කියලා. තාත්තා ඒක පිළිගත්තා.
මම ඉස්කෝලේ ඇරිලා කෙලින්ම ගියේ අතන ගල්තලාවට. ඒ වෙනකොටත් මගේ ඇඟට අමුත්තක් දැනෙන්න ගත්තා. අර අයියලා වෙලාවට අතනට ආවා. මගෙන් ඇහුවා සල්ලි ගෙනාවද කියලා. මම පන්සිය දුන්නාම කමක් නෑ කියලා මට බඩු දුන්නා. මම ඒක උරලා පැයක් විතර ගියාම මම එතන ඉඳලා ගෙදර ගියා.
ඔය විදියට තමයි මම කුඩු උරන්න පුරුදු වුණේ. ඊට පහුවෙනිදා තාත්තාගෙන් සල්ලි ඉල්ලන්න විදියක් නෑ. අම්මා ලඟ කොහොමත් සල්ලි නැහැනේ. මම එදා තාත්තාගේ පර්ස් එකෙන් සල්ලි හොරකම් කරා.
ඔය විදියට සති තුනක් විතර යද්දි මම ඉස්කෝලේ ගමන නතර කළා. දහම් පාසල් ගමනටත් මම අයුබොවන් කිව්වා.
ඊට පස්සේ ඔයා මොනවද කරේ ?
මම කුළි වැඩ කරන්න පටන් ගත්තා. අම්මටයි තාත්තටයි ඒ වෙනස මොකක්ද කියලා හිතාගන්න බැරි වුණා. ඒගොල්ලෝ මට ගහලා බැනලා ඉස්කෝලේ යවන්න හැදුවා. ඒත් මම ඒකට කැමති වුණේ නෑ.
ඔය විදියට අවුරුද්දක් විතර ගියා. මම ඒ වෙනකොට කුඩුවලට තදින්ම ඇබ්බැහිවෙලා. ඔය අතරේ මම පොකට් ගහන්නත් පටන් ගත්තා. දවසක් පර්ස් එකක් උස්සන්න ගිහින් මිනිස්සු මට වට කරගෙන ගැහුවා.
ඒ පාරවල් වලට මගේ කකුලත් ආබාධ වුණා. හොද වෙලාවට ඒ මිනිස්සු පොලිසි ගියේ නෑ. ගහලා ගහලා ඒ මිනිස්සු පර්ස් ඒක අරන් ගියා විතරයි. මම අමාරුවෙන් ගෙදර ආවා. එදා කුඩු ගහන්න විදියක් තිබ්බේ නෑ. රෑ නිදාගෙන අවදි වෙද්දි ඇගට හරිම අමාරුයි. ඒ වෙනකොට මට කුඩු සික් එක හැදිලා හිටියේ.මොකද කලින් දවසේ හවස ගහන්න බැරි වුණා. මම තාත්තාට කිව්වා අනේ තාත්තේ මට හරිම අමාරුයි සල්ලි දෙන්න කියලා. තාත්තා කිව්වා අමාරුයිනම් සල්ලි දිලා හරියන්නේ නැහැනේ ලැස්ති වෙයන් ස්පිරිතාලේ යන්න කියලා. ඒකට මට තරහා ගියා. කුඩු සික් එක මාව යකෙක් බවට පත් කළා. මම අන්තිම වතාවට තාත්තාගෙන් සල්ලි ඉල්ලුවා ඒ දුන්නේ නෑ. මම ඇදෙන් නැගිටලා කුස්සියට ගිහින් මෝල්ගහ අරගෙන තාත්තාගේ ඔලුවට ගැහුවා. තාත්තා කෑ ගහගෙන ඇදගෙන වැටුණා. ඒ සද්දෙට අම්මා දුවගෙන ආවා. අම්මටත් මෝල්ගහා දික්කරා අම්මා බයවෙලා පැනලා දිව්වා. මමත් මෝල්ගහා බිම දාලා ගෙදරින් පැනලා ගියා. ඊට පස්සේ මාව පොලිසියෙන් අල්ලගත්තා. අවුරුදු හතරක් එක දිගට ඇතුලේ.
දැන් කොහොමද කුඩු ගහන්නේ?
විදියක් නෑ ඔහේ ඉන්නවා.
තමුන්ට ඉදිරියෙදි දඩුවමක් කියලා දෙයක් ලැබෙනවා කියලා දන්නවද?
මගේ ඒ පැත්තට ඔහුගේ දැස් වල විශ්මයාර්තයක් මතු වුණා.
නෑ මම කිව්වේ මනුෂ්‍ය ඝාතනයට මරණ දඩුවමයි. පියා මැරිමට අපායේ දඩුවමයි කියලා.
මාගේ ඒ වදන් හමුවේ නිරුත්තර වු ඔහු මහා හයියෙන් හඩා වැටෙන්නට විය.