හැටන් ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක අවසන් කටයුතු සඳහා තිබූ මෘත දේහයක් 28 වැනිදා රාත්‍රි දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කිරීමට හැටන් පොලිසිය කටයුතු කර තිබෙනවා.
මෙසේ දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරනු ලැබුවේ හැටන් දුඹුරුගිරිය පාරේ පදිංචිව සිටි ඩැනියල් ක්‍රිස්ටොපර් නමැති 50 හැවිරිදි දෙදරු පියකුගේ මෘත දේහයයි.
ඩැනියල් ක්‍රිස්ටොපර් නමැති අය 28 වැනිදා උදෑසන 10ට පමණ නිවසේදී මිය ගිය බවත්, මිය ගිය අයගේ ඥාතීන් විසින් සිරුර හැටන් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල් ශාලාවකට භාරදීමෙන් අනතුරුව මල්ශාලා හිමිකරු විසින් මරණ සහතිකයක් හෝ හදිසි මරණ පරීක්ෂකවරයකුගේ සහතිකයක් නොමැතිව සිරුර අවසන් කටයුතු සඳහා සුදානම් කර මල් ශාලාවේම තැන්පත් කර තිබෙනවා.
මිය ගිය අයගේ බිරිඳ විසින් හැටන් පොලිසියට කළ දැනුම්දීමක් මත හැටන් අධිකරණ බල ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂක ඒ.ජේ.එම්. මොහොමඞ් ෆසිර් මහතා සහ හැටන් පොලිසියේ නිලධාරීන් මිය ගිය අය සම්බන්ධයෙන් වාර්තා වී නොමැති නිසා වහාම ක්‍රියාත්මක වී මල්ශාලාව වෙත ගොස් මිය ගිය අයගේ අවසන් කටයුතු සිදුකිරීමට නිකුත් කරනු ලබන මරණ සහතිකය හෝ හදිසි මරණ පරික්ෂකවරයාගේ වාර්තාව මල් ශාලා හිමිකරුගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ එවැන්නක් නොමැති බව මල්ශාලා හිමිකරු හැටන් පොලිසියේ නිලධාරීන්ට දැනුම් දී ඇත.
මල්ශාලා හිමිකරු පවසා ඇත්තේ වසම භාර ග්‍රාම සේවා නිලධාරිනිය තමන්ට දුරකථනයෙන් කථා කර මියගිය අයගේ සිරුර අවසන් කටයුතු සඳහා සූදානම් කරන ලෙස වාචිකව දැනුම් දුන් බවයි.
එම දැනුම් දීම මත මිය ගිය අයගේ සිරුර අවසන් කටයුතු සඳහා සුදානම් කළ බව ද මල්ශාලා හිමිකරු විසින් හැටන් පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇත.
වසමභාර ග්‍රාමසේවා නිලධාරිනියගෙන් හැටන් පොලිසිය ප්‍රකාශයක් ලබා ගැනීමේදී ඇය පවසා ඇත්තේ හදිසි මරණ පරික්ෂකවරයා වෙත මුලින් දැනුම් දී ඔහුගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු ඔහුගේ වාර්තාව අනුව තමන් මරණ සහතිකය ඉදිරිපත් කරන බවයි.
තමන් කිසිසේත් මල්ශාලාහිමිකරුට වාචිකව උපදෙස් නොදුන් බව ද ග්‍රාමසේවා නිලධාරිනිය පොලිසියට ලබා දී ඇති ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා.
හැටන් අධිකරණ බල ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂක ඒ.ජේ.එම් මොහොමඞ් ෆසිර් මහතා පවසන්නේ මිය ගිය අයකුගේ සිරුර අවසන් කටයුතු සඳහා සූදානම් කිරීමට මල්ශාලා හිමිකරුවකුට අනිවාර්යෙන් ම මරණ සහතිකයක් හෝ හදිසි මරණ පරීක්ෂකවරයකුගේ වාර්තාවක් තිබිය යුතු බවයි.
එවැනි වාර්තාවක් නොමැතිව හැටන් මල්ශාලාවේ හිමිකරු විසින් බරපතළ වරදක් සිදු කර ඇති බව ද ඒ.ජේ.එම්. මොහොමඞ් ෆසිර් මහතා මල්ශාලාවේ හිමිකරුට අවධාරණය කර සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් පරීක්ෂක පවත්වයි.
උපුටා ගැනීම – දිවයින පුවත්පත
