මෙක්සිකෝවේ, මෙක්සිකෝ සිටි අගනුවර වාර්ෂිකව පැවැත්වෙන සොම්බි පාගමන පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.
සෑම වසරකම මෙන් මෙවරත් එම පාගමන බොහෝ පිරිසකගේ අවධානය දිනාගන තිබෙන අතර බිය උපදවන ඇඳුම් ඇඳ පැළඳ, බිය උපදවන වේශ නිරූපණයක් ගෙන ඇවිද යන මළ මිනිසුන් හෙවත් සොම්බීන් රැසක් මෙක්සිකෝ සිටි නුවර පාගමනට එක්ව තිබෙනවා.
ඔවුන් මෙක්සිකෝ විප්ලවය සිහිපත් කිරීම වෙනුවෙන් මෙක්සිකෝ සිටි අගනුවර ඉදිකර ඇති ඓතිහාසික ස්මාරකය අසළට ඒකරාශී වී ඉන් අනතුරුව නගරයේ වීථිවල සැරිසරා ඇති අතර තම පවුලේ සාමාජිකයන් කැටුව වාර්ෂිකව මේ ඉසව්වට සහභාගී වීමට මෙක්සිකෝ වැසියන් දැඩි උනන්දුවක් දක්වන බව විදෙස් වාර්තා පවසනවා.
එය ළමුන්ට ඉතාමත් විනෝදජනක අවස්ථාවක් බවද එම වාර්තාවල සඳහන් වෙනවා.
සොම්බි පා ගමනේ ආරම්භය සනිටුහන් වන්නේ 2001 වර්ෂයේදී අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන්.
එතැන් පටන් නිව් යෝර්ක්, බොගෝටා, සිංගප්පූරුව, සාඕ පවුලෝ ඇතුළුව ලොව පුරා ප්‍රධාන නගර රැසකම එම ඉසව්ව ජනප්‍රියත්වයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.
