‘අන්‍යාගමිකයන් මරන්න කියලවත්, මරාගෙන මැරෙන්න කියලවත්, මෙහෙම කාලකන්නි වැඩ කරන්න ඉස්ලාම් දහමේ කියලා නෑ. මෙයාලා ඉස්ලාම් කියලා පිළිගන්න බෑ. මම අයිඑස් පිළිගන්නේ නෑ. මේ අයිඑස් කාලකන්නි මේ රටෙන් තුරන් කරන්න වැඩ කටයුතු කළ යුතු බව මම කියනවා ‘‘ යැයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාව හමුවේ සාක්කි ලබා දෙමිනුයි.
ප්රශ්නය – සතොස වාහන ත්‍රස්තවාදී වැඩවලට භාවිත කළා කියා චෝදනා තිබෙනවා?
පිළිතුර – පසුගිය ඔක්තෝබර් මාසයේ හදපු ආණ්ඩුට මට එන්න කියා නිතරම කිව්වත් මම නොගියපු නිසා එක මන්ත්‍රීවරයෙක් මට මේ චෝදනාව කළා. තවත් මන්ත්‍රීවරයෙක් මේක කිව්වා. මම බලං හිටියා මේ බරපතල චෝදනා ගැන ඔවුන් පොලිසියට පැමිණිලි කරයි කියලා. නමුත් කළේ නෑ. මම පොලිසියට ගිහින් එතුමන්ලාට විරුද්ධව පැමිණිලි කළා.
ප්රශ්නය – පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතුවලට බාධා කළා කියා චෝදනා තිබෙනවා? මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ උපදේශකයකුගේ දරුවකු සම්බන්ධයෙන් ඔබ යුද හමුදාපතිට කතා කළාද?
පිළිතුර – ඔහු රාජ්‍ය පරිපාලන පළමු වැනි ශ්‍රේණියේ නිලධාරියෙක්. මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමතිවරයකු ලෙස සිටියදී ඔහුගේ අමාත්‍යංශයක අතිරේක ලේකම්වරයකු ලෙසත් ඔහු කටයුතු කර තිබෙනවා. 1990 දී මුස්ලිම් වැසියන්ව එල්ටීටීයෙන් පන්නලා කඳවුරුවලට ආවට පස්සේ පුනරුත්තාපන අධ්යක්ෂ ලෙස හිටියේ ඔහු. ඔහු පොලිසියට පැමිණිලි කරලා තියෙනවා නොදන්නා පිරිසක් පුතාව අරගෙන තියෙනවා කියලා. පොලිසිය කිව්වලු අපි ගාව නෑ කියලා. එස්ටීඑෆ් එකෙනුත් කිව්වලු ගත්තේ නෑ කියලා. ඔහු මගේ ගෙදරට ඇවිත් අඬ අඬා කිව්වා පුතා කොහෙද කියලා බලලා කියන්න කියලා. දෙහිවල පොලිස් ස්ථානාධිපතිගෙන් ඇහුවාම ඔහු කිව්වා අපි හොයනවා කියලා. දෙහිවල භාර ඩීඅයිජී වික්‍රමසිංහ මහතාට ගත්තම කිව්වා අපි ගත්තේ නෑ කියලා. මම හමුදාපතිට ගත්තම කිව්වා බලලා කියන්නම් කියලා. තාත්තා දිගින් දිගටම අහන නිසා තවත් වරක් ගත්තා. ඔහු කිව්වා බලලා කියන්නම් කියන්නම් කියලා. ඉන් පස්සේ 28 වැනිදා ආයෙත් කතා කළාම කිව්වා අපි අරං ඉන්නවා පොලිසියට බාර දෙන්න ඉන්නේ කියලා. ඉන් පස්සේ මම ගත්තේ නෑ. මම බලාපොරොත්තු වුණේ මොකද වුණේ කියලා බලාගන්න විතරයි. ඒ තාත්තට ඕන වෙලා තිබ්බෙත් ඔහු ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියලා බලා ගන්නයි. හමුදා බාරයේ සිටින බව දැනගත් පසු මම ආයේ කතා කළේ නෑ.
ප්රශ්නය – ඊබ්‍රහිම් නම් කුළුබඩු ව්‍යාපාරිකයාගේ බඩු ගන්න කියලා ඔබ බලපෑම් කරලා තියෙනවාද?
උත්තරය – ඒ ගැන ලේකම්ගෙන් අහන්න පුලුවන්. මම බලපෑම් කරලා නෑ.
ප්රශ්නය – තුර්කියෙන් අන්තවාදීන් පිරිසක් ගැන තොරතුරු එවා තිබු බව ඔබ දන්නවද?
උත්තරය – මම දන්නේ නෑ
ප්රශ්නය – ඔබ කාන්තන්කුඩියේ දේශපාලනය කරනවද?
උත්තරය – එතරම් ලොකු දේශපාලනයක් එහේ කරන්නේ නෑ. එක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විරතක් අපෙන් පත්වුණා.
ප්රශ්නය – සිද්ධිය වෙන්න කලින් මේ ත්‍රස්වාදී ක්‍රියා ගැන දැනගෙන හිටියද?
‘ඔයාලගේ ආගම ඔයාලට. මගේ ආගම මට ‘ කියලා කුරාණයේ තිබෙනවා. ආගමේ යම් ප්‍රශ්න ඇති. මම දේශපාලකයෙක්. මම ආගමික ප්‍රශ්නවලට සම්බන්ධ වෙන්නේ නෑ. සහරාන් කියන්නේ මවුලවි නෙමෙයි. ඔහු ආගමික නායකයෙක් නෙමෙයි. ඔහුම විතරයි මවුලවි කියලා හඳුන්වා ගන්නේ. ත්‍රස්තවාදී කල්ලිය ගැන මම දැනගෙන හිටියේ නෑ සිද්ධිය වෙන්න කලින්.
ප්රශ්නය – හිස්බුල්ලා ඔබේ පක්ෂයේ නේද හිටියේ?
පිළිතුර – හිස්බුල්ලා අපේ පක්ෂයේ අවුරුදු 5ක් පමණ හිටියා. පහුගිය ජනාධිපතිවරණයේ දී අපි මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දෙන්න ගත්තට පස්සේ ඔහු මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දෙන්න ගියා.
ප්රශ්නය – 2015 දී ඡන්දය ඉල්ලපු අය සහරාන් සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙන බව ඔබ දන්නවද?
පිළිතුර – මම මේ කමිටුවෙදි ඒ ගැන කියනවා දැක්කා. ඉන් පස්සේ මම අපේ අමීර් අලී මන්ත්‍රීතුමාගෙන් ඇහුවා. ඔහු කිව්වා එහෙම ගිවිසුමක් අත්සන් කළේ නෑ කියලා.
ප්රශ්නය – ඔබ සහාරන් හමුවෙලා නෑ කිව්වට ඔබ හා සහරාන් හමුවූ බවට මාධ්‍යවල ඡායාරූප පළවුණා.
පිළිතුර – 2015 ඔක්තෝබර් 15 වෙනිදා අරාබි විද්‍යාලයේ උත්සවයක ගත්ත පින්තූරයක් ඒක. ඒ ඉන්නේ සහරාන් නෙමෙයි. ඒ ඉන්නේ මවුලවි නිස්තාර්. ඔහු මට ලියුමක් එවලා තියෙනවා මාව සහරාන් කියලා නාලිකාවෙන් පෙන්වනවා කියලා. ඔහු නිට්ටඹුව පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාලත් තිබෙනවා. ඔහු කොළඹ පොලිස් මූලස්ථානයට ගිහිනුත් පැමිණිල්ලක් දාලා තියෙනවා. මේ බොරු චෝදනා.