Gossip

“මම කොටට අදිනවා. ලස්සනට අඳින්නේ නැති අය තමයි ජරා විදිහට බනින්නේ.. මම නිළිකම ඔළුවට අරන් ජීවත් වෙන්නේ නෑ” – රිතූ ආකර්ෂා

පුංචි තිරයේ නිතරම දකින්න ලැබෙන චරිතයක් තමයි රිතූ ආකර්ෂා කියන්නේ.
ඇය ජනප්‍රිය තරුණ නිළියක්. කාලෙන් කාලෙට පුවත් මවන රිතූගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතක මේ විදිහට ලියවිලා තිබුණා.

රිතූ මේ දවස්වල පුංචි තිරයේ වැඩත් එක්ක කාර්යබහුලද?
මේ දවස්වල මම සම්බන්ධ වෙන ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා. තව ටෙලි නාට්‍යයකටත් රංගනයෙන් සම්බන්ධ වුණා. ඒකත් ළඟදීම විකාශය වෙයි.

වැඩ ගොඩක රිතූ හිරවෙලා නැත්තේ අධ්‍යක්ෂවරුන්ට රිතූව මඟහැරිලා නිසාද? නැත්නම් රිතූ වැඩ අතහැරලා නිසාද?
මාව එහෙම අමතක වෙලා හෝ මඟහැරිලා නැහැ. මට වැඩ ලැබෙනවා. පසුගිය කාලයේ මම සම්බන්ධ වුණු නාට්‍ය කිහිපයක්ම විකාශය වුණා. මම සාමාන්‍යයෙන් වැඩ ගොඩක් බදාගෙන කරන කෙනෙක් නෙවෙයි. පොඩි විවේක කාලයක් අරගෙන තමයි මම නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ.

කාලෙන් කාලෙට ක්ෂේත්‍රයට අලුත් රංගන ශිල්පිනියන් එකතු වෙද්දී තමන්ගේ පැවැත්ම ආරක්ෂා කරගන්න එක පහසු නෑනේ. රිතූ ඒ තරගයෙන් පරදින එකක් නැද්ද?
අලුත් අලුත් අය ක්ෂේත්‍රයට එන එක හොඳයි. අපිත් මේ ක්ෂේත්‍රයට අලුතින් එකතුවුණු පිරිසක්.
මට තරඟයක් නැහැ කා එක්කවත්. සමහරු ජනප්‍රිය වෙනවා. හැබැයි කාලෙකින් නොපෙනි යනවා. නමුත් මට එහෙම වුණේ නැහැ. දක්ෂතාව තියෙනවා නම් ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න පුළුවන්.

රිතූගේ දක්ෂතාවයෙන් අධ්‍යක්ෂවරු නිසි ප්‍රයෝජනය ගත්තා කියලා හිතනවාද?
මගේ දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගත්ත අය ඉන්නවා. දක්ෂතාවයෙන් තවත් ප්‍රයෝජන ගන්න පුළුවන්.
මට ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන්. ඒ අභියෝගයත් මම භාරගන්න ලෑස්තියි. අපේ දක්ෂතාව හඳුනාගෙන නිර්මාණවලට එය පාවිච්චි කරන එක අධ්‍යක්ෂවරුන්ගේ අතේ තියෙන්නේ.

එතකොට ලැබෙන ඕනෑම චරිතයක් ඔබ කරනවාද?
කලාවේ ඉන්න කෙනෙක් හැටියට මට රංගන කුසලතාවක් තියෙනවා. මම නිර්මාණයක් තෝරා ගනිද්දී පිටපත කොයි වගේද, අධ්‍යක්ෂවරයා කවුද? එයට සම්බන්ධ වෙන නළු නිළියන් කවුද? කැමරා අධ්‍යක්ෂ කවුද? වගේ කාරණා ගැන හිතනවා.
අපිට කලාවේ තනිව ගමනක් යන්න බෑ. පිටපත හරියටම නැත්නම් මම කොච්චර දක්ෂ වුණත් තේරුමක් නෑ. නිර්මාණයට සම්බන්ධ වෙන සියලුදෙනාගේ මහන්සියේ ප්‍රතිඵලයක් විධියට තමයි මම කරන දේ වුණත් සාර්ථක වෙන්නේ. නිර්මාණයේ හැම දෙයක්ම ප්‍රබල වුණොත් තමයි එය සාර්ථක මට්ටමකට ගේන්න පුළුවන් වෙන්නේ.
ඒ නිසා ලැබෙන නිර්මාණවල තෝරා ගැනීමක් කරනවා.

ලැබෙන චරිත අනුවත් තෝරා ගැනීම් වෙනවද?
මම මේ වෙනකොට විවිධ චරිත රඟපාලා තියෙනවා. නපුරු චරිත රඟපාලා තියෙනවා. ආදරවන්තියගේ චරිත රඟපාලා තියෙනවා. අහිංසක චරිත, මුඩුක්කු ජීවිතයක් ගෙවන චරිත මම රඟපාලා තියෙනවා. අද වෙනකල් මම රඟපාපු චරිත එකිනෙකට වෙනස්. මම ආසාවෙන් රඟපෑවා ඒ චරිතය. මට දැනෙන්නේ නැති චරිතයක් මම කරන්නේ නැහැ.
මොකද අපිට දැනෙන්නේ නැති චරිතයක් ප්‍රේක්ෂකයන්ට දැනෙන්න විධියක් නෑනේ.

රිතූට රංගන ක්ෂේත්‍රයේ ලැබිලා තියෙන තැන ගැන සතුටු වෙන්න පුළුවන්ද?
මට ඒ ගැන ගොඩක් සතුටුයි. මම කරපු දේවල්, මට ඉන්න ප්‍රේක්ෂක පිරිස ගැන හිතුවම අවංකවම සතුටු වෙන්න පුළුවන්.

ක්ෂේත්‍රයේ අවස්ථා ලබාගන්න හිතවත්කම් සහ වෙනත් සබඳතා පවත්වා ගන්න වෙනවලු. රිතූටත් එහෙම දැනිලා තියෙනවද?
එහෙම වෙනත් සබඳතා පවත්වාගන්න වෙන්නේ හැකියාව නැති අයට.
මගේ හැකියාව කෙනෙක් දන්නවා නම් මාව ඒ නිර්මාණයට ඕනේ නම් අදාළ කෙනා මාව එයට සම්බන්ධ කර ගනියි. හැඳුනුම්කම්වලින් ඕනේ නම් අවස්ථා දෙක තුනක් ලැබෙයි. ඒ තැන තාවකාලිකයි. ඒත් ඒ හිතවත්කම්වලින් හැමදාම පවතින්න බෑ.

රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වය එක්ක රිතූගේ පෞද්ගලිකත්වය අහිමි වෙලා නැද්ද?
මම මගේ පෞද්ගලික ජීවිතය රංගන ජීවිතය එක්ක ගළපාගෙන නැහැ.
රූගත කිරීම් කරන අතරේදී විතරයි මම රංගන ශිල්පිනියක් වෙන්නේ. පාරට බැස්සම මම සාමාන්‍ය කෙනෙක්.
මම නිළිකම ඔළුවට අරගෙන මවාගෙන ජීවත් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. මම කැමරාවෙන් පිටතදී සාමාන්‍ය කෙනෙක්. ඒ නිසා මට පෞද්ගලිකත්වය අහිමි වෙන තරමට කරදරවලට මුහුණදෙන්න සිදු වෙලා නැහැ.

ප්‍රේක්ෂක ආදරය කරදරයක් විධියට දැනිලම නැද්ද?
නැහැ. මම කවදාවත්ම ප්‍රේක්ෂකයන්ව කරදරයක් කියලා හිතලා නැහැ. මට ඉන්ස්ටර්ග්‍රෑම්, ෆේස්බුක් හරහා බොහෝ අය මැසේජ් කරනවා. මම ඒ මැසේජ්වලට පුළුවන් විධියට උත්තර දෙනවා. කමෙන්ට් එකක් දැම්මොත් ලයික් එකක් හරි දානවා.
මොකද අපි රැඳිලා ඉන්නේ ප්‍රේක්ෂකයන් නිසා. මාව මේ තැනට ගෙනාපු අධ්‍යක්ෂවරුන්ව, ප්‍රේක්ෂකයන්ව මම අමතක කරන්නේ නැහැ.

ප්‍රේක්ෂකයන්ගේ ආදරයට වගේම ප්‍රේක්ෂකයන්ගේ විවේචනවලටත් රංගන ශිල්පිනියන් හසුවෙනවා. ඒ විවේචන රිතූටත් අදාළයිනේ. ඒවට රිතූ මුහුණ දෙන්නේ කොහොමද?
අපිව වර්ණනා කරනවා වගේම අපිව විවේචනය කරන්නත් ප්‍රේක්ෂකයන්ට පුළුවන්. අපිට ආදරය කරන ප්‍රේක්ෂකයෝ යමක් කිව්වොත් මම ඒ ගැන දෙපාරක් හිතලා බලනවා.
අපිට වඩා අපි කරන දේ හොඳ නරක පේන්නේ පිටින් බලන අයටනේ. කෙනෙක්ට අපිව හොඳ වෙද්දී කෙනෙක්ට අපිව නරක වෙන්න පුළුවන්. අපිට හැමෝගෙම අවශ්‍යතා සපුරන්න බෑ. නමුත් මම අදහස්වලට ගරු කරනවා. රංගන ශිල්පිනියක් විධියට නෙවෙයි ගැහැනියක් විධියට අපි සමාජයේ ඕන දෙයක් විඳගන්න පුළුවන් විධියට ජීවත් වෙන්න ඕන.

රංගන ශිල්පිනියන්ගේ විලාසිතාවලට විවේචන වැඩියි. රිතූ කොටට අඳින්න, විලාසිතා කරන්න බය නැද්ද?
මම කොට ඇඳුම් අඳිනවා. මගේ පහසුව ගැන හිතලා තැනට ගැළපෙන විධියට මම ඇඳුම් අඳිනවා.
අපි කොටට ඇන්දම සමහරු බනිනවා. හරියට ලස්සනට අඳින්නේ නැති අය තමයි එහෙම ජරා විධියට බනින්නේ. මම නම් කෙනෙක් කොටට අඳිනවාට කවදාවත් බැනලා නැහැ. වැරැදි විධියට දෙයක් බලන්නේ නැතිව ලස්සනට දේවල් දකිනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මම නම් තැනට ගැළපෙන විධියට ඇඳුම් අඳිනවා.

රිතූට ක්ෂේත්‍රයේ යාළු මිත්‍රයෝ නැද්ද?
මම වැඩ කරද්දී හැමෝම එක්ක සුහදව වැඩ කරනවා.
මට ගොඩක් ඉන්නේ පාසල් කාලේ ඉඳන් හිටපු යාළුවෝ. ක්ෂේත්‍රයේ අය එක්ක සුහදව වැඩ කරලා මම ගෙදර එනවා. එහෙම ඉන්න තරමට ප්‍රශ්න අඩුයි.

පුංචි තිරයේ ජීවත්වෙන රිතූ සිනමාවට එන්න ප්‍රමාද ඇයි?
ඇත්තටම චිත්‍රපටවලට මට ආරාධනා ලැබෙනවා. පසුගිය කාලයෙත් මට චිත්‍රපට තුනකට විතර ආරාධනා ලැබුණා.
සිනමාව ඇතුළෙත් මගේ තෝරාගැනීම් තියෙනවා. මම හිතනවා මම කරන පළමු සිනමා නිර්මාණය හොඳ නිර්මාණයක් වෙන්න ඕනේ කියලා. මම ආස කරන හොඳ නිර්මාණයක් ලැබුණොත් සිනමාවටත් එකතු වෙනවා. හදිස්සියක් නෑ. මම කැමැති මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට හොඳම දෙයක් දෙන්න.

රිතූ ආදර කතාවල රඟපානවා. සැබෑ ජීවිතයේදී රිතූටත් ආදර කතාවක් ඇති?
සුදුසු කෙනෙක් ලැබෙනකල් ඉන්නවා. මගේ ජීවිතේ හැම දෙයක්ම වෙලාවට වුණා වගේ ආදරය, විවාහය කියන දේවලුත් හරි විධියට හරි වෙලාවේදී සිද්ධ වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!