Gossip

2019 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තාවක්.වැඩිම බිංදු ශ්‍රී ලංකාවෙන් – Photos

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ හරි අඩක් දැන් ක්‍රීඩා කර අවසන් වී තිබේ.
තරග 48කින් සමන්විත ක්‍රිකට් ලෝක කුසලානයේ 24 වැනි තරගය ඊයේ (18) එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වුණු අතර එහිදී වාර්තා රැසක් බිහිවිය.
2019 ලෝක කුසලානයේ මෙතෙක් පැවති තරග 24දී බිහිවූ වාර්තා සහ ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ සුවිශේෂී කරුණු කිහිපයක් මෙසේය.
2019ට පෙර ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේම වර්ෂාව නිසා තරග අතහැර තිබුණේ තරග 2ක් පමණි.
කෙසේ වෙතත් මෙවර ලෝක කුසලානයේ පළමු තරග 24න් තරග 4ක් ම වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය. එයින් තරග දෙකක්ම ශ්‍රී ලංකාව සම්බන්ධ තරග දෙකක් වීමත් විශේෂත්වයකි.
2019 ලෝක කුසලානයේ හරි අඩක් අවසානයේ පිතිකරු ලකුණු පුවරුවේ පෙරමුණ ගැනීමට බංගලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක සකිබ් අල් හසන් සමත්වී තිබේ.
තරග 4ක දී ශතක දෙකක් සමග ලකුණු 384ක් ලබා ගැනීමට ශකිබ්ට හැකිවී තිබේ.
වැඩිම ලකුණු ලැබූ පළමු ක්‍රීඩකයන් දස දෙනා අතර දැනට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් නොමැති අතර වැඩිම ලකුණු ලැබූ ශ්‍රී ලංකික ක්‍රීඩකයා වන්නේ ඉනිම් 3කදි ලකුණු 179ක් ලබාගත් නායක දිමුත් කරුණාරත්න ය.
එක ඉනිමක ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස සටහන් වන්නේ එංගලන්තයේ ජේසන් රෝයි සහ ඕස්ට්‍රේලියාවේ ආරොන් ෆින්ච් රැස් කළ ලකුණු 153ය. ආරොන් ෆින්ච් එම ලකුණු 153 රැස් කළේ ශ්‍රී ලංකාවට එරෙහිව ය.
වැඩිම 6යේ පහර
තරගාවලියේ දැනට වැඩිම 6යේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ එංගලන්ත නායක ඉයන් මෝගන් ය. ඔහු එල්ල කර ඇති හයේ පහර ප්‍රමාණය 22කි. එයින් 17ක් ම ඔහු එල්ල කළේ ඇෆ්ගනිස්තානය එරෙහිව වන අතර එය එක් තරගයක දී ක්‍රීඩකයෙක් එල්ල කළ වැඩිම හයේ පහර ප්‍රමාණයයි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයන් අතර දෙවැනි තැන හිමිව ඇත්තේ ඕස්ට්‍රේලියානු නායක ආරොන් ෆින්ච්ට ය. ඔහු තරග 5කදී හයේ පහර 14ක් එල්ල කර තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් දැනට තරගාවලියේ වැඩිම හයේ පහර ප්‍රමාණය එල්ලකර ඇත්තේ හයේ පහර 3ක් එල්ල කළ තිසර පෙරේරායි.
මෙතෙක්, තරඟාවලිය තුළ එකම ලකුණක් හෝ නොලබා දැවී ගිය ක්‍රීඩකයන් වැඩිම ප්‍රමාණයක් සහිත කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ඉදිරියෙන් සිටිති. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අවස්ථා 7ක දී ලකුණු නොලබා දැවී ගොස් තිබේ. ඇන්ජෙලෝ මැතිව්ස් සහ නුවන් ප්‍රදීප් තරග දෙකක දී ලකුණු නොලබා දැවී ගොස් තිබේ.
වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් ලෙස ඉදිරියෙන් සිටින්නේ කඩුලු 13 බැගින් දවාගත් පකිස්ථානයේ මොහමඩ් ආමීර් සහ ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් යන දෙදෙනායි. ශ්‍රී ලංකාව වෙනුවෙන් නුවන් ප්‍රදීප් සහ ලසිත් මාලිංග ඉදිරියෙන් සිටින්නේ කඩුලු 4ක් පමණක් දවාගෙනයි. තරගාවලියේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ පකිස්ථානයේ මොහමඩ් ආමීර්ගේ ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ 30/5 පන්දු යැවීමයි.
ලෝක කුසලාන ඉතිහාසයේ පන්දු යවන්නෙකු එක් ඉනිමක ලබාදුන් වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව ද මෙම ලෝක කුසලානයේ දී බිඳ වැටුණු අතර එම වාර්තාව ඇෆ්ගනිස්ථානයේ රාශිඩ් ඛාන් ඉදිරියේ සටහන් විය.
ඔහු විසින් යවනු ලැබූ පන්දු වාර 9ට ලකුණු 110ක් වාර්තා විය. රාශිඩ්ට පසු මෙම ලෝක කුසලානයේ වැඩිම ලකුණු ප්‍රමාණය ලබා දුන් ක්‍රීඩකයා වන්නේ තම පන්දුවාර 10 තුළ ඔස්ට්‍රේලියාවට ලකුණු 88ක් ලබා දුන් ශ්‍රී ලංකාවේ නුවන් ප්‍රදීප් ය. (වැඩි විස්තර: රෂීඩ් ඛාන් භාරගත් මුරලිගේ ‘අමිහිරි වාර්තාව’ )
මෙවර ලෝක කුසාලානයේ මෙතෙක් පැවති තරග අතරින්, කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස සටහන් වන්නේ එංගලන්ත කණ්ඩයම ඇෆ්ගනිස්තානයට එරෙහිව ලබා ගත් ලකුණු 397යි. දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ද හිමි කර ගෙන ඇත්තේ එංගලන්තය යි. ඒ, බංගලාදේශයට එරෙහිව ලබා ගත් ලකුණු 386 යි.
මෙවර තරගාවලියේ මේ දක්වා වැඩිම උඩ පන්දු ගිලිහුණු කණ්ඩයාම ලෙස එංගලන්ත කණ්ඩායම ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම අතින් ගිලිහී ගොස් තිබෙන්නේ උඩ පන්දු දෙකක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරග 3දී ම තම පන්දුවාර 50ට මුහුණදීමට නොහැකි විය. නවසීලන්තය සමග පන්දුවාර 29.2ක්, ඇෆ්ගනිස්තානය සමග පන්දුවාර 36.5ක් සහ ඔස්ට්‍රේලියාව සමග පන්දුවාර 45.5ක දී ශ්‍රී ලංකා කණ්ඩායම දැවී ගොස් තිබුණි.
දිමුත් කරුණාරත්න රැස් කළ ලකුණු 179 සහ කුසල් ජනිත් පෙරේරා ලබා ගත් ලකුණු 159න් පසු තරගාවලියේ තුන්වැනියට ශ්‍රී ලංකාවට වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාදී තිබුණේ අතිරේක ලකුණු 54යි.

උපුටා ගැනීම BBC සිංහල

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!