Gossip

රුවන් හෙට්ටිආරච්චි මෙතෙක් කාලයක් සැඟවූ රහසක් මාධ්‍යයට හෙළි කරයි

රුවන් හෙට්ටිආරච්චි කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත ගායකයෙක්. හැබැයි රුවන් කියන්නේ ගායකයෙක් විතරක්ම නෙවෙයි. ඔහු මනෝ චිකිත්සක උපදේශනයෙත් යෙදෙනවාලු. ඉතින් මේ රුවන් සති අන්ත පුවත්පතක් සමග ඒ ගැන කියා තිබූ අයුරුයි.

හැමෝම මම ගැන දන්නේ ගායකයෙක් විදියටනේ. හැබැයි ගොඩක් අය දන්නේ නැහැ මම මනෝ චිකිත්සන උපදේශනයේ යෙදෙන බව. යම් යම් හේතු නිසා මානසිකව කඩා වැටුණු අය ඉන් මුදවලා ඒ අයගේ මනස ශක්තිමත් කරන්න, පවුල් ආරවුල් හින්දා වෙන් වන්නට යන අඹු සැමියන්ගේ ගැටලුවලට උපදෙස් දීලා ඒ පවුල් ජීවිත යළි ගොඩ නගන්න මම සෑහෙන වෙහෙසක් ගන්නවා. මගේ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට මේ වෙද්දී බිඳිලා යන්න ගිය විවාහ ජීවිත කීපයක්ම මගේ උපදේශනයෙන් යළි එක්තැන් වෙලත් තියෙනවා. ඒ විතරක් ‍නෙවෙයි. විශාල මානසික කඩා වැටීමකට ලක්වෙලා ජීවිතයම අවුල් වෙලා ගිය අපේ ජනප්‍රිය කෙනෙකුත් මගේ උපදේශනයෙන් අද වනවිට සාර්ථක ජීවිතයක් ගත කරනවා. මේ විදියේ මගේ මනෝ චිකිත්සන උපදේශනය දෙන්න මම ඒ ගැන හැදෑරීමක් කරල තියෙනවාද කියලා දැන් ගොඩක් අය අහයි. ඒ ප්‍රශ්නෙට පිළිතුර තමයි මේ.

ඉස්සර අපේ පවුල තුළ ලොකු ලොකු ගැටලු තිබුණා. ආර්ථික ගැටලු හින්දා තමයි මේ විදියේ ප්‍රශ්න ගොඩක් ඇති වුණේ. එතකොට අපි හිටියේ නුවර. මම ගැටවර වයසේ. මේ ප්‍රශ්න හින්දා මම ජීවිතේ ගැන ගොඩක් කළකිරිලයි හිටියේ. අපි කතෝලිකයෝ. මම මගේ මානසික ප්‍රශ්නවලට විසඳුම් හොයාගෙන ගියේ පල්ලියටයි. ඒ තුළින් මම ආගමට දැඩි විදියට නැඹුරු වුණා. යාච්ඤාව තුළින් මගේ මනස ශක්තිමත් වුණා. ජීවිතය අලුත් වුණා. ඒත් එක්කම මම මනෝ විද්‍යාව ගැන ‍පොත පත කියෙව්වා. වයස 20 – 22 වෙද්දී මම මානසික වශයෙන් ගොඩක් හොඳ තැනකට ඇවිදින් හිටියා. ඊට පස්සේ මම කළේ මගේ යාළුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන එකයි. මගෙන් උපදෙස් ගත්තු ඒ තුළින් ජීවිත සාර්ථක කරගත්තු යාළුවෝ තව තව අයට මං ගැන කියලා තියෙනවා. මේ විදියට නාඳුනන අයත් මට කතා කරලා උපදෙස් පතන්න පටන් ගත්තා. ගායකයෙක් වෙලා කොළඹ ආවට පස්සේ මේ තත්ත්වය තව තවත් පුළුල් වුණා. මගේ උපදේශනය ගැන ආරංචි වෙලා ගොඩක් අය අද facebook හරහා මාව අමතනවා. මම ඒ අයට උපදේශනය ලබා දෙනවා. ඔන්න ඔය විදියට තමයි මම මගේ මේ උපදේශන සේවාව පවත්වාගෙන යන්නේ.

හැබැයි ඉතින් මේ විදියට කරන උපදේශනය වෘත්තීය මට්ටමකින් කරන එකක් නම් නොවෙයි. නොමි‍ලේ තමයි මම මේ හැමදෙයක්ම කරන්නේ. ඒ වගේම ගොඩක් අය මට කතා කරන්නේ දුරකථනයෙන්. සමහර වෙලාවට දෙදෙනාටම හමුවන්න පහසු නිදහස් තැනක හමුවෙලා මම ඒ අයත් එක්ක කතා බහ කරනවා. එහෙම නැතුව “මනෝ උපදේශනය” සඳහා වෙන්වූ කාර්යාලයක් නම් මම පවත්වාගෙන යන්නේ නැහැ.

නාඳුනන අයට උපදේශනය දෙන්න යද්දී විවිධාකාර අය මට මුණ ගැහිලා තියෙනවා. එක දවසක් එක පිරිමි ළමයෙක් මට මැසෙන්ජර් හරහා දන්වලා තිබුණා, එයාට ජීවිතය නැති කර ගන්න හිතෙනවා කියලා. මම ඔහු හමුවුණා. එයාට තියෙන ප්‍රශ්න ඇහුවට කියන්නෙම නැහැ. දිගින් දිගටම කතා කරද්දී මට තේරුණා මෙයා මානසිකව කඩා වැටීමකට ලක්වූ කෙනෙක් නොවන බව. එයාගේ සැබෑ තත්ත්වය තේරුම් ගත්ත බව හඟවන්නේ නැතුව මම “ඇහුවා තියෙන ප්‍රශ්න කියන්න බැරි නම් මගෙන් බලා‍පොරොත්තු වන උදව්ව මොකක්ද කියලා. ඒ වෙලාවේ ඒ ළමයා මට කියනවා “හැම ප්‍රශ්නයක්ම විසඳගන්න සල්ලි ටිකක් දෙන්න කියලා” මම අසරණ අයට පුළුවන් මට්ටමින් උදව් කරන කෙනෙක්. ඒත් මේ ළමයට නම් මුදල් දුන්නේ නැත්තේ එයා බොරුවක් කරපු හින්දා. ඔය වගේ වංචාකාර අය වගේම හිතාගන්න බැරි ගැටලුවලින් පෙළෙන අයත් මට මුණ ගැහිලා තියෙනවා.

මේ කතාබහ ආරම්භ වනවිට මම සඳහන් කළානේ ජනප්‍රිය කෙනෙකුගේ ප්‍රශ්නයකට මම උපදේශනය කළ බව. ඒ විදියට මාත් එක්ක තමන්ගේ ප්‍රශ්න කතාකළ සහෝදර කලාකරුවෝ තව ඉන්නවා. මේ වෙලාවේ මට මතක් වෙනවා පසුගිය කා‍ලේ රටේම කතාබහට ලක්වූ දසුන් නිශාන්ගේ සියදිවි නසාගැනීමේ පුවත. දසුන්ව මට මුණ ගැහිලා නැහැ. දසුන් මට හමුවෙලා තිබුණා නම්, අපි යාළුවෝ වගේ ඇසුරු කළා නම් ඔහු අදත් ජීවත් වෙනවා. ඒක මට විශ්වාසයි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!