Gossip

“මම ආදරය කරන්නේ ඇගේ ආත්මයට, ඇගේ චරිතයට, සහ මගේ සිහින සපුරන එකම කාන්තාවත් ඇයයි” – පිලිස්සුණු ආත්මයකට ජීවය දුන් සැබෑ ප්‍රේමයක්

සැබෑ ප්‍රේමය යනු කුමක්දැයි නිතර නැඟෙන පැනයකි.
ඊට හේතුව නම් ආදරය, විවාහය වැනි උත්තරීතර ආධ්‍යාත්මික මානුෂීය සබඳතා රූපය, මුදල්, රැකියාව, සමාජ තත්ත්වය වැනි සරල භෞතික කාරණා මූලික කර ගනිමින් ඇරඹෙන අසාර්ථක ගනුදෙනු බවට පත් වී තිබීමත්, ඒ හේතුව නිසාම සමාජය පුරාම රුවටීම්, වංචාවන් බහුල වී තිබීමත්ය.
මේ නිසා අද සෑම තැනකම දක්නට ඇත්තේ ආදරය, විවාහය පිළිබද කලකිරුණු පුද්ගලයන්ගේ බිඳවැටුණු හදවත්ය.
පසුගිය දිනවල අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධියට පත්වූ ටුරියා සහ මිචෙල්ගේ කතාව එවැනි ආදර කතාවලට වෙනස් මුහුණුවරක් ගෙනදෙනු ඇත.
27 හැවිරිදි ටුරියා පිට් (Turia Pitt) යනු ඔස්ට්‍රේලියානු පතල් ඉංජිනේරුවරියකි, දිරිගන්වන්නියක (motivationalist) සහ ග්‍රන්ථ කතුවරියකි.
මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරමින් සිටි ඇය 2011දී කිම්බර්ලිහි පැවති මැරතන් තරගයකට සහභාගී වෙමින් සිටියදී ළැව් ගින්නකට හසුවූවාය.
වෛද්‍ය මතය අනුව ඇගේ සිරුරින් සියයට 65ක්ම පිලිස්සී තිබූ අතර, වමතේ ඇඟිලි හතරක්ද, දකුණතේ මහපටැඟිල්ලද ඉවත් කරන ලදී. වසර 2ක් පුරා රෝහලට වී ප්‍රතිකාර ලබන්නටද ඇයට සිදුවිය.
මෙම වේදනකාරී කාලය පුරාවටමද ඉන් ඉදිරියටද එක් පුද්ගලයෙක් ඇයට දිරි දෙමින් නිබඳවම ඈ පසෙකින් විය.
ඒ ඇගේ පෙම්වතා වූ මිචෙල් හොස්කින් (Michael Hoskin)ය. පොලිස් නිලධාරියකු වූ ඔහු ඇය රැකබලා ගැනීමට තම රැකියාවෙන්ද ඉවත්වූ අතර කිසිදු විටෙක ඇය තනි නොකළේය.
පසුගිය දිනයකදී වාර්තාකරුවකු මිචෙල්ගෙන් විමසා සිටියේ “සාත්තු සේවිකාවක් ඈ ළඟ නවතා ඔබේ ජීවිතය ඉදිරියට ගෙනයන්න කිසියම් මොහොතක ඔබ කල්පනා කළේ නැතිද?”යන්නය. එම පැනයට ඔහුගේ පිළිතුර ලොව දහසක් හදවත් සසල කරවන්නට සමත් විය. “මම ආදරය කරන්නේ ඇගේ ආත්මයට, ඇගේ චරිතයට, සහ මගේ සිහින සපුරන එකම කාන්තාවත් ඇයයි”
විවාහ ගිවිස ගැනීමෙන් පසු ටුරියා ඇයගේ සහ මිචෙල්ගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ, “මෙම ආදරණීය මිනිසා මගේ ජීවිතයට සවියක්! ඔබ ගෙනෙන්නේ මාගේ යහපත්ම ස්වරූපයයි. අපගේ ජීවිත ඉදිරියටද එක්ව ගතකරන්නට ඉවසුම් නැත” යනුවෙන් සටහනක් තබමිනි.
රුවින් ධනයෙන් අඩුයැයි තම සහකරු හැරදමා යන, මිල මුදලට විකිණෙන මිනිසුන් අතරේ මෙවන් පිවිතුරු ආදරයක් පිළිබඳව අසන්නට දකින්නට ලැබීමත් කෙතරම් වාසනාවක්ද? මේ කතාව ඔබටත් ආදර්ශයක් ගෙන දෙනු නොඅනුමානයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!