පරම්පරාවෙන් වෙනත් අයකුට අයිති වීමට තිබූ මහ ගෙදර තමා සතු කර ගැනීමේ අරමුණින් ගොළු සොහොයුරාගේ හිසට පොල්ලකින් ගසා මැරූ බව කියන සොහොයුරෙකු පිළිබඳව කළුතර ප්රදේශයෙන් වාර්තා වනවා.
කෙසේවෙතත් එම සැකකාර සොහොයුරා කළුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය පසුගිය 01 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුවන් කුමාර නමැති 29 හැවිරිදි අයගේ මරණය පිළිබඳව මෙලෙස සැකපිට අත්අඩංගුවට පතුවුණේ ඔහුගේ වැඩිමහලු සොහොයුරා වන 37 හැවිරිදි පුද්ගලයකුයි.
දසමස් හැවිරිදි බිළිඳියකගේ පියකු වන මියගිය පුද්ගලයා ගොළු අයකු වන අතර ඔහු තම පවුලේ මහ ගෙදර බිරිඳ සහ බිළිඳු දියණිය සමග ජීවත් වී තිබෙනවා. ඔහු ස්ථිර රැකියාවක් හෝ නොමැති අයෙක් බවයි පැවසෙන්නේ.
පසුගිය සතියේ දිනක ඔහුගේ හිසට පොල්ලකින් පහරදීම නිසා මරණයට පත්වී ඇති අතර ඔහුගේ මරණයට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීමට කරන ලද පරීක්ෂණයේදී මියගිය අය මරණය සිදු වූ අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් සැකකාර සොහොයුරා සිටි පිළියන්දල ප්රදේශයේ වාඩියක තිබී හමුවී තිබෙනවා.
ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණය අනුව මොරපිටිය ප්රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මරණය දේපළ සම්බන්ධව සිදු වූවක් බවට පොලිසිය සැක කරන අතර එම පවුලේ තවත් වැඩිමහල් සොහොයුරකු මීට කලකට පෙර සිට ආගිය අතක් නොමැති බවද පොලිස් පරීක්ෂණයේදී හෙළිවී තිබෙනවා.