පළාත් පාලන මැතිවරණයත් සමග මේ වෙද්දි දේශපාලන ක්ෂේත්රය උණුසුම්වී තිබෙනවා.
මේ වෙද්දි වත්මන් රජයේද අනාගතය අවිනිශ්චිත බවක් තමයි දකින්නට ලැබෙන්නේ.
ඊයේ දිනයේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
කෙසේවෙතත් අදාළ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව දැඩි ලෙස විවේචනය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් වන ලෙසට ද රනිල් වික්‍රමසිංහ මහතාට තමන් දැන්වූ බවද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා. එම ඉල්ලීම අග්‍රාමාත්‍යවරයා නොසළකා හැර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙන අතර ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදිද අග්‍රාමාත්‍යවරයා විසින් අනවශ්‍ය යෝජනා ඉදිරිපත් කර ඇති බවද ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ පවසා තිබෙනවා.
තමන් බිත්තර කට්ට කඩා ඇති බවත් දැන් කළ යුතුව ඇත්තේ පැටවා එළියට ගැනීම බවද ජනාධිපතිවරයා පවසා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කෙසේවෙතත් රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ලබන සිකුරාදා විශේෂ ප්‍රකාශයක් ද සිදු කිරීමට නියමිතයි.
