Gossip

ඔබ ඡන්දය දැමූ පක්ෂය පැරදිලාද? ඒ ගැන ඔබ ඉන්නේ කලකිරීමෙන්ද? එහෙනම් මේ විදියට කරන්න

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණය මේ වෙනකොටත් ගොඩක් දෙනා කතාබහ කරනවා. ඒවගේම තමයි මේ වෙනුවෙන් ඡන්ද ඔට්ටුවලට පවා මිනිස්සු හවුල් වුණා. මේ ලැබුණු ප්‍රතිඵලයත් එක්කම ගොඩක් අය සතුටට පත්වුණා වගේම තවත් පිරිසක් දුක්වුණා. මේ දුක දරාගන්න බැරිතරමට මානසිකව ඇද වැටුණු අයත් ඒ අතර ඉන්නවා. ඉතින් ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා මේ ගැන සිය ෆේස්බුක් ගිණුමට යොදා තිබුණේ මේ වගේ සටහනක්.

උදේ පාන්දර අවදි වුණහම තමන්ගේ පක්ෂය පරාද වුණ බව දැකලා ලොකු කම්පනයක් ඇති වෙන එක ස්වභාවිකයි. ඒත් එක්කම දැනෙන දුක, තරහ, කලකිරීම ,බය හා කාන්සාව පොදු හැඟීම්.
අහිමි වීම කාටත් පොදු දෙයක්. අපි ආදරය කරන කෙනෙක් අහිමි වුණොත්, ආදරය කරන දෙයක් නැති වුණොත් වියෝ දුකක් ඇතිවෙනවා. ඡන්දයක් පැරදුණාම තමන් බලාපොරොත්තු වෙන අපේක්ෂකයා පරාද වුනාම ඒ දැනෙන දුකත් එක්තරා විදියක වියෝ දුකක්. මෑත කාලයේ ලෝකයේ බොහෝ රටවල මේ වගේ වියෝ දුකින් පෙළෙන අය ගැන අහන්න ලැබුණා.
ලංකාවෙත් පහුගිය කාලෙ තිබුණු හැම චන්දයකටම පස්සේ වියෝ දුක නිසා මානසික පීඩනයට මුහුණ දෙන අය සුලබව හමු වුනා.සති ගනන් නොකා සිටි අය , තරහින් කලහ කළ අය ඒ අතර හිටියා.දුක දැනෙන්නෙ ජයග්‍රහණය අහිමි වූ නිසයි .එසේ නැත්නම් තමන් අපේක්ෂා කළ අපේක්ෂකයා තෝරා පත් වීමට අපොහොසත් වූ නිසයි. අනාගතය ගැන දැනෙන අවිනිශ්චිතතාවය ,අනාරක්ෂිතභාවය, බය, දුක තවත් වැඩි කරන්න පුළුවන්.
විරුද්ධවාදියාගේ ජයග්‍රහනය ඉවසීමට නොහැකි වීම, ඊර්ෂ්‍යාව ඇති කරනවා. තමන් හිතන විදියටම අනිත් සමාජයත් නොසිතීම නිසා දැඩි තරහකුත් ඇතිවෙන පුළුවන්. ඉතින් මේ වගේ හැඟීම් තමයි ඡන්දෙකට පස්සේ ඇතැම් දෙනා අත්දකින්නේ.
ඉතින් මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන අවස්ථාව කොටස් කීපයකට බෙදන්න පුළුවන්
පළමුව දැනෙන්නේ ප්‍රතිඵලය පිළි නොගැනීම, පරාජය භාර නොගැනීම, ප්‍රතිඵලය ගැන සැක කිරීම, ක්‍රමවේදය ගැන කලකිරීම වගේ සිතිවිලි.
ඊළඟට එන්නේ තරහක්. මේ තරහ තමන්ගේ දැඩි අරමුණ ඉෂ්ට කරගන්න බැරි වීමේ වේදනාවත් එක්ක එන දෙයක්. අපි කැමති දේවල් ඒ විදිහට ඉටු නොවුනාම ඒකට උදව් කරපු නැති අය ගැන අපිට තරහක් එනවා.
අපිට ඕන දේවල් ඒ විදියටම වෙන්න ඕන කියල දැඩි හැඟීමක් එනවා. ඒ තරහ අපේ අරමුණ ට විරුද්ධ අය මත පිටකරනවා. තමන්ගෙ යහලුවොත් එක්ක අසල් වැසියොත් එක්ක සමාජ මාධ්‍යවල , අනිත් මිනිස්සුන්ට පලු යන්න බනින්නේ. අවතක්සේරු කරන්නේ මේ තරහ පිට කරන්න.
ඊළඟට වෙන්නේ කේවල් කිරීමේ අවස්ථාව. වෙනසක් කරන්න තිබුණා මීට වඩා මහන්සි වුණා නම්.එක වලක්වගන්න තිබුණා. අපරාදෙ එහෙම කරන්න බැරි වුනේ වගේ සිතිවිලි හිතට එනවා.
ඊට පස්සෙ ටික ටික හිතට දුක එනවා. යථාර්ථය පිළිගන්න වෙනවා. කලකිරීම වැඩිවෙනවා. විශාද තත්වයකට සමහරුන් පත් වෙන්න පුළුවන්.
යථාර්ථය තේරුම් අරගෙන ,පරාජය පිළි අරගෙන නැවත නැගී සිටින්න උත්සාහගන්න ශක්තියක් ලැබෙන්නේ ඊටත් පස්සෙ.
මේ විදියට මනෝවිද්‍යාවේ මේ අවස්ථා පිළිබඳව විග්‍රහ කරත් , සැබෑ ජීවිතයේදී මේ අවස්ථා ඇති වෙන්නේ එකිනෙක මිශ්‍රවයි.
කොහොමද ඡන්දයකින් පස්සේ ඇතිවෙන මේ මානසික පීඩනය දරා ගන්නේ.
වියෝ දුකේ කුමන අවස්ථාවක සිටිනවා ද කියලා අවබෝධ කර ගැනීම පළමු පියවර හැටියට ඉතාමත්ම වැදගත්.
පරාජය පිලිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීම,මානසික පීඩනය අඩු කරගන්න උදව් වෙනවා. සමහර වෙලාවට ‍ප්‍රතිඵලය විතරක් නෙවෙයි ප්‍රතිඵලය නිසා ඇතිවන තවත් බලපෑම් මානසික පීඩනය වැඩි කරන්න පුළුවන් උදාහරනයක් විදියට රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් වීම, රැකියාවට ඇති වන බලපෑම්, වරප්‍රසාද අහිමි වගේ දේවල් .
තරහ කළමනාකරණය කර ගැනීම ඉතාම වැදගත් දෙයක්. ඉවක් බවක් නැතිව බැන බැන යන්නේ නැතුව, රණ්ඩු කර කර ඉන්නේ නැතුව , පරණ තරහ මරහ සුහදව අවසන් කිරීම වැදගත්. පවුලේ අයත් එක්ක, සමාජ මාධ්‍ය වල ඉන්න යාළුවෝත් එක්ක විවේචනය කරමින් ඉන්නවට වඩා නැවත සුහදශීලී වෙන එක ඉතා වැදගත් දෙයක්. ඉදිරියේදී සමාජ වෙනසක් සිදු කරන්න උත්තේජනයක් හැටියට සමාජය ගැන තරහ යහපත් විදියට ගලප ගන්නත් පුළුවන් .
ටික කාලයකට කාලීන ප්‍රවෘත්ති බැලීමෙන් වෙන් වෙලා ඉන්න එක වැදගත්. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වලින් ඉවත් වෙලා ඒවයේ පළ කරන හිත රිදවන දේවල් නොකියවා ඉන්න. පවුලේ අය සමඟ හිතවතුන් සමග කාලය ගත කිරීම වඩා ඵලදායි වෙනවා.
තමන්ගෙම දේශපාලන අදහස් දරන අය සමඟ කතා කිරීම විරුද්ධවාදීන් සමඟ වාදයට යෑමට වඩා මානසික සෞඛ්‍යට හිතකරයි. සංගීතයට සවන් දීම ගීත වලට සවන් දීම වගේ හිත නිවන දේවල් මානසික සෞඛ්‍යයට උදව් කරනවා. විරුද්ධ අදහස් දරන කෙනෙක් කතාවට ආවත් ඒ අය සමඟ කතාවට යනවට වඩා ඒ අයගේ අදහස්වලට සවන් දීම කරනවා නම් වේදනාව අඩුයි . සමාජ සේවා කටයුතු යෙදීම අසරණයන්ට උදව් කිරීම වගේ යහපත් දේවල් ගැනත් සිත යොමු කිරීම වැදගත්.
ඔබ ඔබෙන්ම අහන්න, ඡන්දයේ ප්‍රතිඵල ඔබට ඕන විදියට ම වෙන්න ඕනද?
එහෙම වෙන්න ඕන කියලා සාක්ෂි තියනවද?
අනිත් අයත් මම හිතන විදියට හිතන්න ඕන කියලා සාක්ෂි තියනවද?
මේ පුද්ගලයා හෝ පක්ෂය , ජයග්‍රහණය කිරීම පිළිබඳ මම කැමති නැහැ, ඒ නිසා මට දුක දැනෙන එකේ වරදක් නැහැ කියලා හිතලා ඒ දුකම අනාගතයේ වෙනසක් කරන්න උද්දීපනයක් කරගන්න පුළුවන්.
ඒත් මම උදව් කරපු පක්ෂයේ අපේක්ෂකයා දිනන්නම ඕන කෙනෙක් අනිත් මිනිහා දිනලා නිසා මට ඉවසන්න බැහැ මේ මෝඩ ඡන්ද දායකයෝ නිසා කියලා, තරහව වෛරය වපුර ගත්තොත් ඒ විනාශකාරී හැඟීම් නිසාම ආත්ම විශ්වාසය අඩපන වෙලා අනාගත අරමුණු ඉටු කර ගන්නත් බැරිවෙනවා
කෙනකුට වෙනස් කරන්න පුළුවන් තමන් ම විතරයි .හැබැයි ඒ තමන්ගේ වෙනස තවත් කෙනෙකුට බලපෑමක් කරන්න පුළුවන්. අඩුගානේ එහෙම වෙනසක් කරන්න බැරි වුනත් තමන්ගෙ වෙනස හරි එතකොට ඉතුරු වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!