Gossip

මට ඉන්නේ අම්මත්, නංගිත් විතරයි, ඔවුන් තමයි මගේ ලෝකය – දෙවෙනි ඉනිමේ ෂෙරාන්

දෙරණ නාළිකාවෙන් විකාශය කෙරෙන’දෙවෙනි ඉනිම ‘ ටෙලි නාට්‍යය මේ දිනවල අතිශය ජනප්‍රියයි. එහි එන ෂෙරාන්ගේ චරිතය නිරූපණය කරන නිරුක්ෂාන් ඒකනායක සමග කළ කතා බහකි මේ.
නිරුක්ෂාන් කොහොමද දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයට සම්බන්ධවුණේ..

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ දෙවෙනි සහාය අධ්‍යක්ෂවරයකු ලෙස සම්බන්ධව සිටින නිසා ෂෙරාන්ගේ චරිතය නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. දෙවැනි ඉනිමේ සහාය අධ්‍යක්ෂවරු හතරක් ඉන්නවා.අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස්, නිෂ්පාදිකාව චම්පිකා මෙන්ඩිස් . මේ සියලු දෙනාගේම කැමැත්ත මත ෂෙරාන්ගේ චරිතය නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණා.රංගනයට අමතරව සහාය අධ්‍යක්ෂණය තමයි මගේ වෘත්තිය. ඒත් මට හිතෙන්නෙ දෙවෙනි ඉනිමේ රඟපෑමත් සමග මම සහාය අධ්‍යක්ෂණයට වඩා රංගන ශිල්පියකු ලෙස ඉස්මතු වෙලා කියායි.

ෂෙරාන් කියනවට වඩා අවන්තගේ යාළුවා කීවිටයි ඔබව දෙවෙනි ඉනිම නරඹන ප්‍රේක්ෂකයන්ට මතක. එහෙම වෙන්න කුමක් හෝ විශේෂත්වයක් තිබෙනවාද..

අවන්තගේ යාළුවා ලෙස ගොඩක්ම ප්‍රේක්ෂකයන් මාව හඳුනන්නේ අවන්ත පැටලෙන හැම වරදකටම උපදෙස් දෙන යාළුවා මම වන නිසයි. හැමෝම කියන්නේ අවන්ත නරක නෑ ෂෙරාන් තමයි එයාව නරක්කරන්නේ කියා. මම හිතන්නේ ම‍ම චරිතය හොඳට කරන නිසා වෙන්න ඇති ප්‍රේක්ෂකයන්ට එය ඒ තරමටම දැනෙන්නේ. පාරේදි දැක්කත් ප්‍රේක්ෂකයන් මට ඔරවගෙන යන තරමට ෂෙරාන් එපා වෙලා.ෆේස් බුක්වල එහෙමත් නිතරම ඇයි අනුහස්ට ඔයාලා එහෙම කරන්නෙ කියා කමෙන්ට් කරනවා. ඒ තරමටම ප්‍රේක්ෂකයන්ට එම චරිතය දැනිලා. ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නෙ ෂෙරාන්ට කොච්චර බැන්නත් චරිතය අවසානය වෙනතුරුම තියෙනවා කියන එක. පසුගිය කාලයේ එක් අවස්ථාවක් තිබුණා චබියා ෂෙරාන්ව උස්සලා පොළොවේ ගහනවා. ඒ සිදුවීම ‍අප දෙදෙනාම බොහොම තාත්විකව කළා කියා බොහෝ ප්‍රතිචාර ලැබුණා.දෙවැනි ඉනිම කොටස් 500ක් විතර විකාශය වෙනවා. තව කොටස් කිහිපයයි ඉදිරියට විකාශය වෙන්න තියෙන්නේ.

කොහොමද ඔබ රංගනයට සම්බන්ධ වෙන්නේ..

මගේ ගම වීරකැටිය. පාසල් තුනකින් අධ්‍යාපනය ලබනවා. රිටිගහයාය මහා විද්‍යාලය, කැකිරිඕබඩ මහා විද්‍යාලය සහ වීරකැටිය මාන්වාඩුව මහා විද්‍යාලය. මේ පාසල් තුනේම පාසල් වේදිකාවේ නාට්‍ය රංගනය කළා. දහම් පාසල් වේදිකාවෙත් රඟ පා තිබෙනවා. තාත්තගේ වියෝවත් සමග වැඩිදුර අධ්‍යාපනය හදාරන්න හැකියාවක් ලැබුණේ නෑ. ඒ නිසා සා.පෙළින් පසුව අධ්‍යාපනය අවසන්කර බියගම ඕෂන් ලංකා ඇඟළුම් ආයතනයේ රැකියාවට යනවා. එහි මා නැවතී සිටිය බෝඩිමේ සිටියා දෙණියායෙ මිතුරෙක්. ඔහු තරුණයා පුවත්පත ගන්නවා. එහි තිබුණා විජය කුවේණි චිත්‍රපටයට රංගන ශිල්පීන් ගන්නවා කියා. යාළුවාගේ බලවත් ඉල්ලීම නිසා මම එයට අයැදුම් කළා. සම්මුඛ පරීක්ෂණයෙන් පසු පැවැත්වුණු වැඩමුළුවලට සම්බන්ධ වුණා. එතනින් තමයි සහාය අධ්‍යක්ෂණයට සම්බන්ධ වෙන්නේ.

දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයට අමතරව රඟ පෑ අනෙකුත් නිර්මාණ ගැන සිහිපත් කළොත්..

චරිතයකට පාට දෙන්න මා පළමුව රංගනයෙන් දායක වු ටෙලි නාට්‍යය. ධර්ම යුද්දය චිත්‍රපටයේ පාලිත නැමැති චරිතය නිරූපණය කළා. සිදු ටෙලි නාට්‍යයේත් රඟ පෑවා.ඉදිරියේදි විකාශය වෙන්න තිබෙන ශිවගුරුනාදන් මහතාගේ ආදර නිල් දෑස ටෙලි නාට්‍යයේත් රංගනයක නියැළෙනවා. දැනට ටෙලි නාට්‍ය හතරක රංගනයෙන් මෙන්ම සහාය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධවුණා. ඒ වගේම වීඩියෝ ප්‍රඩක්ෂන් හවුස් එකක්ද පවත්වාගෙන යනවා. එහි වීඩියෝ හතරක් අධ්‍යක්ෂණය කළා.

දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයට සම්බන්ධ වීමත් සමග ඔබ ගායනයටත් පිවිස ඇති හැඩයි.. මොකක්ද මේ වෙනස..

දෙවැනි ඉනිමේ රඟපාන රංගන ශිල්පීන් ගණනාවක්ම දෙරන ඩ්‍රිම්ස්ටාර් හරහා පැමිණි අය. ඔවුන්ට සංදර්ශනවල ගීත ගායනයට ආරාධනා ලැබෙනවා. ඔවුන් සමග සිටීම නිසා දැන් මමත් ටික ටික ගායනය පැත්තට යොමු වෙලා. ඉදිරියේදි මේ අයත් සමග කුවේට් සංචාරයකට යන්න මේ දිනවල ගිටාර් ප්‍රැක්ටිස් යනවා. විශේෂයෙන් නළුවෙක් වුණහම ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් වන සේ රංගනයේ නිරතවිය යුතුයි. ඒ සඳහා බොහෝ දේ ඉගෙන ගත යුතු නිසා ‍ක්‍රිඩා හා වෙනත් ක්ෂේත්‍රයන් පිළිබඳව හදාරමින් සිටිනවා.

කලාවට අවතීර්ණ වු දා සිට මේ දක්වා පැමිණි ගමන් මගට අත දුන් අය සිහිපත් කරනවානම්..

මට ඉන්නේ අම්මත්, නංගිත් විතරයි. ඔවුන් තමයි මගේ ලෝකය. නංගී සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබනවා. ඇයවත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධකර ගැනීමේ අදහසක් තිබෙනවා. මගේ පාසලේ අනුලා මිස්, හෙට්ටි ආරච්චි සර්, සිල්වා විදුහල්පතිතුමා, තිළිණ බොරලැස්ස, චනිග පෙරේරා,සහ ප්‍රවීණ රංගන ශිල්පීන්, අධ්‍යක්ෂ වරුන්, සහ දෙවැනි ඉනිමට සම්බන්ධ සියලුම ශිල්පීන්ට සහ නම කීමට අමතක වුවත් වචනයකින් හෝ උදවුකළ සියලු දෙනාට හදවතින්ම ස්තූති වෙනවා. මේ සියලු දෙනාගේ ආශිර්වාදය මැද විවිධාංග චරිත නිරූපණයේ නියැළෙමින් කලාවේ දුර ගමනක් යෑමට බලාපොරොත්තු වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!