Gossip

ඕස්ට්‍රේලියා යනවා – ලංකාවට එනවද නැද්ද කියලා තීරණය කරන්න ඕන – මීනා ප්‍රසාදිනී

මීනා ප්‍රසාදිනී කියන්නේ කවුරුත් ආදරය කරන ගායිකාවක්. ඇය වටා රසික ප්‍රතිචාර නිරන්තරයෙන්ම තියෙනවා. මීනා පසුගියදා විවාහ වූ ආරංචිය අපි ඔබට කිව්වනේ. මේ විවාහයෙන් පස්සේ ඇය පුවත්පතක් සමග කළ සාකච්ඡාවක්.

ජීවිතයේ සුන්දර වෙනසක් සිදු වුණානේ ඒ ගැන මුලින්ම කියමු?
මම විවාහ වුණා. ඒ වෙනස හරිම සුන්දරයි. අපේ ආදර සම්බන්ධය පටන් ගන්නකොට අපිට බලාපොරොත්තුවක් තිබුණා අපේ විවාහය පිළිවෙළට කරගන්න. පියවරෙන් පියවර ජීවිතයේ ඉදිරියට ඇවිත් අපි බලාපොරොත්තු වුණ විදියට ඒ සුන්දර දවස හැඩකරගන්න අපිට පුළුවන් වුණා.

මීනාගේ ජීවන සහකරුවා වුණ ඒ වාසනාවන්තයා කවුද කියලා දැන් කිව්වොත් හොඳයි නේ?
එයා ඉරේෂ් පෙරේරා.

මීනාගෙයි ඉරේෂ්ගෙයි ආදර කතාව කියන්න අකැමැති නැතුව ඇති?
මම උසස් පෙළ කළාට පස්සේ ඉංග්‍රීසි පන්තියකට ගියා. එතැනදි තමයි ඉරේෂ්ව මට මුණ ගැහෙන්නේ. යාළුවෝ විදියට ආශ්‍රය කරපු අපි දන්නෙම නැතිව පෙම්වතුන් වුණා.

කොච්චර කාලයක් ගලාගෙන ආපු ප්‍රේම කතාවක්ද විවාහයකින් මල්ඵල ගැන් වුණේ?
අපේ ආදර සම්බන්ධයට අවුරුදු අටක් වෙනවා. එච්චර කාලයක් ආදරය කරලා තමයි අපි විවාහ වුණේ.

ඉරේෂ්ගේ ආදර යෝජනාව මීනා එකපයින් පිළිගත්තද?
චුට්ටක් විතර ඇද ඇද ඉඳලා ඊට පස්සේ එයාට මම කැමැතියි කිව්වා.

ඉරේෂ් මීනාගේ හිත දිනා ගන්න විශේෂ කාරණා තියෙන්න ඇති නේද?
ඉරේෂ්ට කලින් ආදර යෝජනා ආපු අවස්ථා තිබුණා. හැබැයි ඒ දේවල්වලට හිත ගියේ නැහැ. හැබැයි ඉරේෂ්ගේ ගොඩක් ගතිගුණවලට මම කැමැතියි. එයාට මම කැමැති වුණේ ඇයිද කියලා කියා ගන්න තේරෙන්නේ නැහැ. හැබැයි එයා මට විශේෂ වුණා.

ඔය ආදරයට දෙපාර්ශ්වයේ වැඩිහිටියන්ගෙන් ආශිර්වාදය ලැබුණාද?
මගේ මවුපියෝ හරිම විවෘතයි. මම ගන්න තීරණයකට එයාලා කවදාවත් මට බලපෑම් කළේ නැහැ. මම ගන්න තීරණ එයාලා විශ්වාස කළා. ඒ විශ්වාසය මම කඩ කළෙත් නැහැ. ඉරේෂ්ගේ මවුපියන් වුණත් එහෙමයි. ඔවුන් අපිව තේරුම් ගත්තා. ඔවුන් අපේ ජීවිතයට හැමදාමත් බල කණු වගේ.

ඒ කියන්නේ ඔය ආදර කතාවට බාධක තිබුණේ නැද්ද?
බාධාවන් නම් ගොඩක් තිබුණා. අපේ සම්බන්ධය පටන් ගත්තට පස්සේ ඉරේෂ් ඕස්ට්‍රේලියා ගියා. මම හිටියේ ලංකාවේ. ඒ කාලේ මම ගායන තරගවලත් හිටියා. රටවල් දෙකකදි දෙන්නම ගොඩක් කාර්යබහුල වුණා. ඉතිං මම කතා කරද්දි එයා කර්යබහුලයි. එයා මට කතා කරද්දි මම කාර්යබහුලයි. ඉතිං ඒ ගැටලු තිබ්බත් කාලයත් එක්ක ඒ හැමදෙයක්ම බැලන්ස් වුණා.

මීනා කොච්චර වැඩ කළත් හරිම නිශ්ශබ්දව වැඩ කරන කෙනෙක්. ඒකද විවාහයත් සද්ද බද්ද නැතිවම සැමරුවේ?
ඇත්තටම මට ඕන වුණේ නැහැ විවාහයට ලොකු පබ්ලිසිටියක් දෙන්න. මට ඕනෑ වුණේ අපේ ලස්සන දවස සියයට සියයක් හොඳම පිළිවෙළට කරන්න. විවාහය ගැන බොරුවට පබ්ලිසිටි දීලා ඒකෙන් ආලෝකයක් ගන්න අපිට අවශ්‍ය වුණේ නැහැ. අපි බලාපොරොත්තු වුණ විදියටම පිළිවෙළට ඒ වැඩ කටයුත්ත කළා.

විවාහය දවසේ මීනා ඉරේෂ්ව ගීතයකින් පුදුම කළා නේද?
ඔව්. මගේ Wedding Song එක විදියට මම කළේ “මතකයිද අද වගේ” කියන ගීතය.මගේ හස්බන්ඩ්ව සප්‍රයිස් කරන්න තමයි මම මේ ගීතය කළේ.

ඒ ගීතය හැදුණේ කොහොමද කියලත් කියමුද?
ඔව්. අනිවාර්යයෙන්ම ඒක මතක් කරන්නම ඕනේ. මේ ගීතයේ ගීත රචනය සහ තනු නිර්මාණය කළේ දෙනුවන් පෙරේරා. සංගීත සංයෝජනය කළේ දුලීප් මිරැන්ඩෝ.

මේ දෙදෙනා ඉතාම දක්ෂයි. එයාලා එක්ක මම මීට කලින් ගීත කරලා තියෙනවා. ඒ ගීතවලටත් මම කැමැතියි. ඉතිං මට ඕන වුණා එයාලට කියලා මේ ගීතයත් හදා ගන්න. එයාලා මට ඕන විදිහට හරිම ලස්සනට ඒ ගීතය කරලා දුන්නා. මට හරිම සතුටුයි.

ඉරේෂ් මීනාගේ සප්‍රයිස් එක ගැන සතුටු වෙන්න ඇති?
ඔව්. එයා ගොඩක් සතුටු වුණා. එයා ඒ ගීතයට ගොඩක් කැමැතියි. තාමත් එයා ඒ ගීතය සැරෙන් සැරේ අහනවා.

මීනා වගේම ඉරේෂුත් කලාවට ළැදියි වගේ?
ඔව්.. එයා මටත් වඩා ගීත අහනවා. එක එක භාෂාවල ගීත එයා අහනවා. එයාට හොඳ කලා රසාස්වාදයක් තියෙනවා. මම වගේම එයත් කලාවට ආදරෙයි.

තනිකඩ ජීවිතේ දැන් ඉවරයි. දැන් බිරියක් විදිහට වගකීම් දරන්න මීනාට පහසු වෙයිද?
මට ඉන්නේ අම්මයි තාත්තයි අක්කයි මල්ලියි. මම පවුලේ මැද්දේ හිටියේ. මම පවුලේ වගකීම් දැරුවා වගේම නොදැරුව තැන් තිබ්බා. මොකද මට උදවු කරන්න අම්මයි අක්කයි හිටියා. විවාහ ජීවිතයට එකතු වුණාට පස්සේ අත්දැකීම් එක්ක අඩුපාඩු හදාගෙන පවුල් ජීවිතය වෙනුවෙන් උපරිම කැප කිරීම් කරන්න මම උත්සාහ කරනවා.

ඉරේෂ් එක්ක මීනා ලංකාවෙන් යන්න ලෑස්ති වෙනවා කියන්නේ ඇත්තද?
ඉරේෂ් රැකියාව කරන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒ නිසා තව සති දෙකකින් විතර එයා එක්ක ඕස්ට්‍රේලියා යනවා.

දිගටම ඕස්ට්‍රේලියාවේ ඉන්නද යන්නේ?
එයත් එක්ක ඕස්ට්‍රේලියා යන්නේ අවුරුද්දකට විතර. ඊට පස්සේ ලංකාවට එනවද නැද්ද කියලා තීරණය කරනවා. ඒ තීරණය එයා මට භාරදීලා තියෙන්නේ. තාම දිගටම එහේ ඉන්නවා කියලා තීරණය කරලා නැහැ.

එතකොට මීනා ලංකාවේ හදාගත්ත ගායන ස්ථාවරයට මොකද වෙන්නේ?
මම බින්දුවේ ඉඳලා පටන් ගත්ත කෙනෙක්. මගේ දේවල් කඩාකප්පල් කරගන්න මම කැමැති නැහැ. මම මගේ රසිකයන් අත්හරින්නේ නැහැ. මම මගේ ගායන ජීවිතය ගැනත් හිතනවා. කොහොම වුණත් යන්න කලින් මගේ රසිකයන්ට මගේ ගීත කිහිපයක් තිළිණ කරලා යන්නේ. දැනටමත් මම ගීත දෙකක් කරලා තියෙන්නේ. තව ගීත කීපයක් කරන්නත් තියෙනවා. යන්න කලින් ඒ ගීත එළිදක්වනවා.

මීනා ජනප්‍රියත්වය පස්සේ දුවන්නේ නෑ වගේ?
ඔව්. මම බලෙන් ජනප්‍රිය වෙන්න කැමැති නැහැ. මම තරගවල ඉන්න කාලෙදි වුණත් තරගය ජයග්‍රහණය කරන්න මමම එස්.එම්.එස් ගහගෙන නැහැ. මට ඕන වුණේ ඇත්තටම මට මිනිස්සු කැමැතිද කියලා දැන ගන්න. මම ආස නැති දේවල් කරලා සල්ලි හම්බ කරලා ජනප්‍රිය වෙන්න මට ඕන වුණේ නැහැ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!