Gossip

“වම් අතට වාහනය ගන්න උත්සාහ කළා“ – නුවන් කුලසේකර රිය අනතුර ගැන කතා කරයි

cv

 

මෙම සිද්ධිය වුණේ සඳුදා ප.ව. 3.30 ට පමණ. මම ගම්පහ සිට නිවස කරා යමින් සිටියා. කිරිල්ලවල පසු කළා. පාරේ තරමක වාහන තදබදයක්‌ තිබුණා. දළ වශයෙන් 50 ක පමණ වේගයක්‌ තිබුණා. හරියට වේගය කීමට මට අපහසු වුණත් එය අධික වේගයකින් යා හැකි අවස්‌ථාවක්‌ නොවේ. එක්‌වරම මගේ දකුණු පසින් යමක්‌ පාරේ මැද දූපත දෙසින් එනවා පෙනුණා. ඒ සමගම එය රියේ ගැටුණු බව දැනුණා. වම් අතට වාහනය ගන්න උත්සාහ කළා. ඒ සමගම තිරිංග යෙදුවා ක්‍ෂණිකව.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත පොලිස්‌ වසමට අයත් කිරිල්ලවල “තුෂාර ස්‌ටීල්” ආයතනය ඉදිරිපිටදී 19 වැනිදා (සඳුදා) ප.ව. 3.30 ට පමණ සිදුවී ඇති රිය අනතුරකදී යතුරුපැදිකරුවකු ජීවිතක්‍ෂයට පත්වීම සම්බන්ධයෙන් රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂණ උසාවියේදී පැවැති පශ්චාත් හදිසි මරණ පරීක්‍ෂණ සාක්‍ෂි විභාගයකදී අනතුර සිදුවී ඇති මෝටර් රථයේ රියෑදුරා වූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ක්‍රීඩක කුලසේකර මුදියන්සේලාගේ දිනේෂ් නුවන් (34) රාගම ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂිකා විශ්‍රාමික විදුහල්පතිනි සාම විනිසුරු ඡේ. කේ. ඒ. ජයකොඩි මහත්මිය හමුවේ සාක්‍ෂි දෙමින් එසේ පැවැසීය.

කොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වූ යතුරුපැදියක වේගය පාලනය කිරීමට නොහැකිව කිරිල්ලවල “තුෂාර ස්‌ටීල්” ආයතනය ඉදිරිපිටදී යතුරුපැදිය මාර්ගයේ ඇති මැද දූපතේ වැදීම නිසා යතුරුපැදිකරු පෙරළී ගොස්‌ පැදිකරු මාර්ගයේ මැද ඇති දූපතට උඩින් විසිවී ගොස්‌ නුවර කොළඹ මං තීරුවෙහි වාහන ධාවනය වන කොටසට වැටීමෙන් නුවර දිසාවේ සිට කොළඹ දිසාවට ධාවනය වූ මෝටර් රථයක පැදිකරුගේ හිස ඝට්‌ටනය වීමෙන් සිදුවී ඇති මෙම මාරක රිය අනතුරින් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වායුසමීකරණ ශිල්පියෙක්‌ වූ නිට්‌ටඹුව, මාඉඹුල අංක 217/බී නිවසේ විසූ නිශ්ශංක ආරච්චිගේ දිනේෂ් අරවින්ද නිශ්ශංක නමැති 28 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

කඩවත පොලිසියේ රථ වාහන අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. රුමේෂ් රත්නායක මහතා පරීක්‍ෂණ සිදුකළ මෙම මාර්ග රිය අනතුරේ හදිසි මරණ පරීක්‍ෂණයේදී වැඩිදුරටත් සාක්‍ෂි දුන් මාකොළ උතුර මාකොළ පදිංචි නුවන් කුලසේකර (34) මහතා…

මා නැවතුනේ වම් අත පැත්තේ. පැති කණ්‌ණාඩියෙන් මා දුටුවා සෙනඟ පිරෙනවා. මා එතැනට ගිය පසුවයි පුද්ගලයකු වැටී සිටිනවා දුටුවේ. මා රියේ විනාඩියකට අඩු කාලයක්‌ රැඳී සිට ඊට පසුවයි බැස්‌සේ. ලේ තිබෙනවා දුටු අතර හිසට අනතුරක්‌ සිදුව තිබුණා. මට බියක්‌ දැනුණා. රථය එසේම තිබියදී මම කඩයකට වී පොලිසිය එනතුරු සිටියා. මන්ද මට පෙර කෙනෙකු පොලිසියට කතාකර තිබූ නිසයි. පොලිසිය පැමිණ අනතුර පිළිබඳ රාජකාරි කළ පසුව එම නිලධාරීන් සමගම පොලිසියට ගොස්‌ කටඋත්තරයක්‌ දුන්නා. මහෙස්‌ත්‍රාත්තුමා හමුවටද ගියා. ඇප ලැබුණා. පොලිසියේ දැනුම්දීම මත අද (20 දා) ඉදිරිපත් වුණා. මගේ දැනුම අනුව නම් මෙය මට වළක්‌වාගත නොහැකියි. අනතුර එතරම්ම ක්‍ෂණිකවයි සිදුවූයේ. එහෙත් යහපත් පුරවැසියකු වශයෙන් මගේ යුතුකම වන්නේ රියේ ගැටුණු අයගේ පවුලේ අයට සාධාරණයක්‌ ඉටුකිරීමයි.

මෙහි පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය රාගම ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ වෛද්‍ය යූ. එල්. එම්. එස්‌. පෙරේරා මහතා විසින් සිදුකර ධාවනය වන මෝටර් රියක හිස ගැටීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් සිදුවී ඇති මරණයක්‌ බවට සිය වෛද්‍ය වාර්තාවෙන් නිගමනය කර තිබිණ. නැවත මෙම පරීක්‍ෂණය ලබන මස 01 වැනිදා තෙක්‌ කල් තැබීමට හදිසි මරණ පරීක්‍ෂකවරිය තීරණය කළාය. එදින සිද්ධිය දුටු සාක්‍ෂි ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළාය.

– දිවයින-

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!