කොස්ගම අවි ගබඩාවේ පිපිරීමේ සිද්ධියෙන් තුවාල ලබා හෝමාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටින ආණමඩුවේ ඉඟිනිමිටිය පදිංචි කාලතුවක්කු හමුදාවේ සෙබළ එම්.එස්. පත්මසිරි ඒ ගැන ප්රකාශයක් ලබාදී ඇත.
ඔහු සිද්ධිය විස්තර කරන්නේ පහත පරිදිය.
”මම ඒ අවස්ථාවේ දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින් සිටියේ.
මම හිටි තැනට මෝටර් උණ්ඩයක් වැටුණා. ඉන් බියට පත්වූ මා එතැන තිබූ ඇඳ යටට ගියා. ඒ එක්කම මම සිටි ගොඩනැගිල්ලේ වහලෙන් කොටසක් කඩා වැටුණා.
ඒ අවස්ථාවේ විශාල ශබ්දයක් එක්ක වෙඩි පුපුරන හඬ ඇහුණා. මුළු ප්රදේශයම දුමෙන් වැසී ගියා. හැමතැනම උණ්ඩ කෑලි විසිවෙලා වැටුණා. මම බිලට් එකට දුව යන විට මා සිටි ආසන්නයට ද උණ්ඩ ගණනාවක්ම වැටෙනවා මට දැනුණා. මම ආරක්ෂිත ක්රියාමාර්ගයක් වශයෙන් ඇඳ යටට වී සිටියා.
ඒ එක්කම වහලෙන් කොටසක් පරාලයක් මම සිටි තැනට වැටෙනවා දැනුණා. මම එතැනින් ගිහින් කන්ටේනර් පෙට්ටියක් යටට වී හිටියා. ඒ වෙලාවේ අවි ගබඩාව ගිනි ගනිමින් තිබුණේ. මම සිටි ආසන්නයේ ගොඩනැගිලිවල වීදුරු කඩාගෙන වැටුණා. මම එතැනින් දුවන විට වීදුරු කටුවලට මගේ කකුල කැපුණා.
මගේ ෂර්ට් එක ගලවලා කකුලෙ බැඳගෙන තව ඉස්සරහට දුවගෙන ගියා. පසුව මම තවත් කෙනෙක් එක්ක ගිලන් රථයකින් හෝමාගම රෝහලට ගෙනාවා. මා එක්ක ආපු අනිත් කෙනා මිය ගොස් ඇති බව පසුව දැනගන්නට ලැබුණා”
සටහන – හෝමාගම සමන්ප්රිය දොලමුල්ල
