ලොව ප්‍රථම ඩෙංගු රෝග මර්දන එන්නත සඳහා මෙක්සිකෝව අනුමැතිය ලබාදී තිබෙනවා. ඩෙංග්වැක්සියා (Dengvaxia) නැමති මෙම එන්නත නිපදවා තිබෙන්නේ ප්‍රංශයේ ඖෂධ දැවැන්තයා ලෙස සැලකෙන සැනොෆි (sanofi) විසින්. එම සමාගම විසින් ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල් 20ක අනුමැතිය සඳහා මෙම එන්නත ඉදිරිපත් කර තිබුණත් එයට පළමු ප්‍රතිචාරය දක්වා ඇත්තේ මෙක්සිකෝවයි.
මෙම එන්නත මගින් මෙක්සිකෝවේ මෙන්ම ලොව පුරා මිලියන ගණනින් ඩෙංගු රෝගය නිසා සිදු වන වාර්ෂික මරණ ගණන වළක්වා ගත හැකි බව විශ්වාස කෙරෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මදුරුවන්ගෙන් බෝවන රෝග අතර ඉතා ඉක්මනින් පැතිර යන රෝගය ඩෙංගුය.
ගෝලීය වශයෙන් වාර්ෂිකව ඩෙංගු රෝගයට ගොදුරු වන සංඛ්‍යාව මිලියන 400ක් පමණ ගණන් බලා තිබෙනවා.එහෙත් මෙම එන්නත වයස අවුරුදු 9ට අඩු ළමුන්ට යෝග්‍ය නොවන බවක්ද පැවසෙන අතර ඊට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ එමගින් ප්‍රතිඵල ලැබීම අඩු බවයි.
එම සමාගමේ එන්නත් අංශ ප්‍රධානී ඔලිවියර් චාමිල් සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ එන්නත සඳහා වන මිල ගණන් තවමත් තීරණය කර නැති බවයි. එසේ වුවද වසරකට මෙමගින් ඩොලර් බිලියනයකට වඩා ආදායමක් සැනොෆි වෙත හිමි වනු ඇතැයි වාර්තා වනවා.
ඩෙංග්වැක්සියා (Dengvaxia) “දශකයේ නවෝත්පාදනය” ලෙස හඳුන්වමින් චාමිල් පවසන්නේ මෙය මහජන සෞඛ්‍ය ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක් වන බවයි. මෙක්සිකෝව පවසන ආකාරයට මෙමගින් වසරකට ජීවිත 104ක් බේරා ගත හැකි අතර රෝහල් ගතවීම් 8000ක් වළක්වා ගත හැකි බව වාර්තා වනවා.