Gossip

71 කැරැල්ලේ විප්ලවවාදියෙක් නිසා නළුවෙක් වුණා

තාත්තගේ ගම මාතර බෙරලපනාතර. හැබැයි විවාහයෙන් පස්සේ තාත්තා අම්මා පදිංචි වෙලා තිබ්බේ කොල්ලුපිටියේ. ඒ නිසා මම උපන් ගම කොළඹ කොල්ලුපිටියේ. මගේ පවුලේ හිටියා පිරිමි සහෝදරයෝ පස්දෙනෙක් සහ ගැහැනු සහෝදරයෝ දෙන්නෙක්. අපි ඉතින් නිවාඩුවට වගේ තාත්තගේ ගමේ යනවා. මගේ සහෝදරයන්ගෙන් ලොකු දෙන්නා ගියේ නාලන්ද විද්‍යාලයට. අනිත් අපි තුන්දෙනා ගියේ ඉසිපතන විද්‍යාලයට.

පොඩි කාලේ ඉඳන්ම කලාවට ආසාවක් තිබ්බා. අපි ඉතින් ඉරිදට දහම් පාසල් යනවනේ. එතැනදී පොඩි පොඩි නාට්‍ය භක්ති ගීත වගේ දේවල්වලට සහභාගි වුණා. ඔය අතරේ අපි කළා කුණ්ඩල කේශී කතාව ඇසුරෙන් නාට්‍යයක්. ඒ නාට්‍ය පුහුණු කරන්න ප්‍රසිද්ධ ශිල්පීන් පවා සහභාගි වුණා විජය නන්දසිරි මහත්තය සහ ජයසේකර අපොන්සු මහත්තය වගේ අය.

දැන් මම ඉගෙන ගත්තේ ඉසිපතන විද්‍යාලයේ නිසා ඉසිපතන විද්‍යාලය ඉස්සරහනේ ලුම්බිණි රඟහල තිබ්බේ. ඉතින් ඒ කාලේ අපේ ස්කොලේ ඉගැන්නුවා උපාලි අත්තනායක මහතා. එයා ගොඩක් කලාවට සම්බන්ධයි. ඒ නිසා කලාවට ආස කරන අයට එයා දෙනවා වේදිකා නාට්‍ය බලන්න ප්‍රවේශ පත්‍ර. ඒ වෙද්දී මම පාසලේ රගර් ක්‍රීඩා කළේ. මොකද ඉසිපතන විද්‍යාලය හරි ප්‍රසිද්ධයි රගර් වලට. ඉතින් අපි සෙල්ලම් කරලා හවස 6 න් පස්සේ යනවා නාට්‍ය බලන්න. ඒ දවස් වල වික්ටර් රත්නායක මහත්තයාගේ “ස” ප්‍රසංගයට වීදුරු කඩාගෙන සෙනග එන යුගය. ඒවා දකිද්දී මට පෞද්ගලිකව වේදිකා නාට්‍යවලට නැඹුරු වෙන්න පිටිවහලක් වුණා.

ඊට පස්සේ මගේ පෞද්ගලික මිත්‍රයෙක් වුණ නීල් අලස් වේදිකාවට සම්බන්ධයි. එයා ඒ දවස්වල හිටියා රංජිත් ධර්ම කිර්තිගේ හිරු නැති ලොවක් වගේ නාට්‍යවල. ඉතින් මමත් එනවා එයා එක්ක සුදර්ශියේ තිබ්බ පුහුණුවීම්වලට. සුදර්ශියේ දී අපිට මුණගැහෙනවා එතැන ඉන්න ජනප්‍රිය කලාකරුවන් රැසක්. චන්ද්‍රා කළුආරච්චි. ලක්ෂ්මන් වගේ අය. ඔතැනදී නාට්‍යක් නිෂ්පාදනය වනවා ශෛලාසනය කියලා. ඒකේ පිටපත කේ බී ඉලංගරත්නගේ, අධ්‍යක්ෂණය කළේ උපාලි වනසිංහ. ඔහු ඒ වෙද්දී රජයේ උසස් නිලධාරියෙක්. චිත්‍රපටයකුත් කරලා තිබ්බා. ඔය නාට්‍ය කරන කාලේ 71 කැරැල්ලත් එක්ක රට පොඩ්ඩක් ඇවිස්සිලා තිබ්බ කාළේ නිසා පොඩි චරිතයක් ඇතුළත් කළා විශ්ව මිත්‍ර කියලා. ඒක පොඩි විප්ලවවාදී අදහස් තියෙන තරුණයෙක් ගේ චරිතයක්. ඒකට ගැඹුරු හඬක් ඕනේ කියලා කිහිප දෙනෙක්ව ඉන්ටව් කරලා බැලුවා. අන්තිමට මගේ හඬ හොඳයි කියලා ඒ චරිතයට මාව තෝරා ගත්තා. ඒකෙන් තමා මම ප්‍රසිද්ධ වේදිකාවට මම ආවේ.

සිනමාවට මම සම්බන්ධ වුණේ විජය ධර්ම ශ්‍රී ගේ චූඩා මාණික්‍ය චිත්‍රපටයෙන්. ඒ අවස්ථාව ආවේ මෙහෙම. අපි යනවනේ සුදර්ශියට නාට්‍ය පුරුදු වෙන්න. එතකොට අපේ හිටිය වේශ නිරූපක එච් පී කොස්තා මහත්මය ඔහු දැන් ජීවතුන් අතර නැහැ. ඔහු කිව්වා විජය ධර්ම ශ්‍රී අලුත් චිත්‍රපටයට අලුත් තරුණයෙක් හොයනවා කියලා. එතකොට විජය ධර්ම ශ්‍රී වැඩ කළේ සුදර්ශියට එහා පැත්තේ තිබුණ කාලගුණ දෙපාර්තමේන්තුවේ. හරියටම BMICH එක ඉස්සරහ. එතැනදී මට කොස්තා කිව්වා ගිහින් හම්බ වෙන්න සමහරවිට චාන්ස් එකක් තිබ්බොත් ලැබෙයි කියලා. පස්සේ මම එක දවසක කෑම පැයේදී ගියා විජය ධර්ම ශ්‍රී හම්බෙන්න. එතකොට මගෙන් ඇහුවා මොනවද රඟපාලා තියෙන්නේ කියලා. ඒ වෙද්දී මම 1976 /1977 දී වේදිකා නාට්‍ය වල රඟපාලා හොඳම සහය නළුවට සම්මානයක් එහෙමත් හබ්බෙලා තිබ්බේ.

ඊට පස්සේ මිල්ටන් ජයවර්ධනගේ ආයාචනා, සමාවෙන්න. සිරි කුලරත්න ගේ සුබෝධා. දයානන්ද ගුණවර්ධනගේ බට්ටි වගේ චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වුණා. ඒ දවස් වල ගොඩක් බිහි වුණේ ක්‍රියාදාම චිත්‍රපට. හැබැයි ඒ ක්‍රියාදාම චරිත වලට අපිව අහුවුණේ නැහැ. ඒකට හේතුව මගේ ස්වරූපය වෙන්න ඇති. මොකද ඒ කාලේ තමා ජීවන් කුමාරතුංග එහෙමත් ආවේ ක්ෂේත්‍රයට. එයාට ඒ ක්‍රියාදාම චරිත ලැබුණා. ඒ නිසා මට සිනමාව තුළ එතරම් චරිත ලැබුණේ නැහැ. චිත්‍රපට 15ක 20ක වගේ තමා රඟපෑවේ.

මම රඟපෑවා පරාක්‍රම ජයසිංහ කියන අධ්‍යක්ෂවරයාගේ එකදා වැහි කියන චිත්‍රපටයේ. දුෂ්ට තාත්තා කෙනෙක් ගේ චරිතයක් කළා. දුෂ්ට වුණාට බොහොම සුදුවට ඇඳලා ඉන්න උඩින් බොහොම කාරුණික ශාන්ත පෙනුමක් තියෙන යටින් දුෂ්ට චරිතයක්. ඒ වෙනුවෙන් රාජ්‍ය සම්මාන දෙකක් පවා ලැබුණා. ඉතින් මම හිතනවා සිනමාවේ මට ලැබුණු වෙනස් චරිතයක් කියලා ඒ චරිතය . ඊට පස්සේ ලොකු බ්‍රේක් එකකින් පස්සේ තමා හාස්‍ය උත්පාදන චිත්‍රපටයකට රෝයිද සිල්වා මාව සම්බන්ධ කර ගන්නේ. එතැනින් පස්සේ තමා විකට චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වුණේ.

මට මානෙල් හම්බෙන්නෙත් මේ සිනමාව තුළින්ම තමා. මම කුරුණෑගලට ගියා සුබෝධා චිත්‍රපටයේ රූප ගත කිරීම්වලට. එතකොට මානෙල් ඇවිල්ලා හිටියා කෝකිලයා කියන චිත්‍රපටයේ රූපගත කිරීම් වෙනුවෙන්. ඉතින් අපි දෙගොල්ලොම චිත්‍රපටයේ රූපගත කිරීම් ඉවර වෙලා ෆිල්ම් දෙකේම කට්ටිය එකම තැනකදී හම්බෙනවා. ඔය දැන හැදුනුම්කම ආදරයක් බවට පත් වෙලා තමා අපි විවාහ වෙන්නේ.

මග තොටදී අදටත් හම්බෙන අය ඇයි රඟපාන්නේ නැත්තේ කියලා අහනවා. ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර එදා වගේම අදටත් තියෙනවා. පසුගිය කාලේ නම් ටිකක් අසනීපයෙන් සිටි නිසා රඟපෑමෙන් ටිකක් ඈත් වෙලා හිටියා. ඒත් මේ මෑතක මම හර්ෂ උඩකන්දගේ කබඩි චිත්‍රපටයට දායක වුණා. ඒ වගේම මගේ දරුවනුත් කලාවට සම්බන්ධ වුණා. මම නම් මගේ දරුවන්ට බල කළේ නැහැ කලාව තුළ ඉන්න කියලා. නමුත් එයාලටම ආස හිතිලා මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා. ඒ ගැනත් සතුටක් තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!