Gossip

04 දෙනෙක්ට මරු කැඳවා 08 දෙනෙක්ට තුවාල කළ තංගල්ලේ වෙඩි වරුසාවේ සුලමුල හෙළිවෙයි – දික්වැල්ල මාළු වෙළඳාම හෙල්ලූ “රණා” එතනමයි

තංගල්ල කුඩාවැල්ල ධීවර වරායට ඊයේ (25 දා) පෙ.ව. 7.30 ට පමණ කඩා වැදුණු සන්නද්ධ කුලී ඝාතකයන් දෙදෙනකු දෙනෝදහසක් බලා සිටියදී එහි සිටි මත්ස්‍ය ව්‍යාපාරිකයකු ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් 8 දෙනකුට බරපතළ තුවාල සිදුකොට පලාගොස් තිබුණා.

තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ ව්‍යාපාරික ආධිපත්‍යය ගොඩනඟාගෙන සිටි ලතිෂ් උදය කුමාර නොහොත් “රණා” නමැති ව්‍යාපාරිකයා ඉලක්‌ක කර මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

ඝාතනයට ලක්‌ වූවන් අතර රණා ද සිටින බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් පසුව තංගල්ල දික්‌වැල්ල ඇතුළු අවට ප්‍රදේශ භීතියෙන් ඇලලී ගොස්‌ තිබූ අතර ඝාතකයන් සොයා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය දැවැන්ත මෙහෙයුමක්‌ද ආරම්භ කර තිබෙනවා.

මෙහිදී ඝාතනයට ලක්‌වූ “රණා” නමැති ව්‍යාපාරිකයාගේ පියා වන මහින්ද නමැත්තා දික්‌වැල්ල ධීවර වරායේ ප්‍රධානම ව්‍යාපාරිකයා බව පොලිසිය පවසනවා. මහින්ද නමැති ව්‍යාපාරිකයාට දරුවන් තිදෙනකු සිටින අතර ඔවුහු සියලු දෙනා මත්ස්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වී ඇති අතර විශාල ප්‍රමාණයේ ට්‍රොලර් යාත්‍රා 21 ක්‌ මොවුන් සතුව ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ පෙරවරුවේ “කළණ” නමැති යාත්‍රාවේ රැගෙන ආ මසුන් තොගයක්‌ අලෙවි කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී තිබෙනවා. රණා සිය සේවක පිරිසක්‌ ද සමඟ කළණ බෝට්‌ටුවේ තිබූ මාළු තොග සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට අලෙවි කරමින් සිටියදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් ධීවර වරායට ඇතුළුවී ඇති අතර මුහුණු ආවරණය වන හෙල්මට්‌ පැළඳ සිටි එම දෙදෙනා කළණ බෝට්‌ටුව නවතා තිබූ ස්‌ථානයට කඩා වැදී ටී 56 ගිනි අවියක්‌ සහ මිලි මීටර් නවය වර්ගයේ පිස්‌තෝලයක්‌ යොදාගෙන හතර අතට වෙඩි තබා ඇති බව පැවසෙනවා.

ඝාතකයන් දෙදෙනා කළණ බෝට්‌ටුවේ සහ ඒ අසල සිටි සියලු දෙනාට වෙඩි තබා බෝට්‌ටුව අසල වැටී සිටි රණා අසලට ගොස්‌ ඔහුගේ හිසට වෙඩි තබා ඝාතනය කර පලාගොස්‌ ඇත. මෙම ප්‍රහාරයෙන් සිව් දෙනකු එම ස්‌ථානයේම මියගිය අතර බරපතළ තුවාල ලැබූ අට දෙනකු තංගල්ල රෝහල වෙත ඇතුළත් කර ඇත. තුවාල ලැබූවන් අතර 16 හැවිරිදි ලාබාල තරුණයකු ද සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙතෙක්‌ සමත් නොවූ අතර යතුරුපැදියෙන් පලා ගිය දෙදෙනා අතරමගදී මෝටර් රථයක නැගී ගිය බවට තොරතුරු ලැබී තිබෙනවා.

මෙම ඝාතන සිද්ධිය වූ ස්‌ථානයේ සවිකර තිබූ සීසීටීවී කැමරාවක දර්ශන අනුව ඝාතකයන් හඳුනා ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. ඝාතනයට ලක්‌වූ රණාගේ පියා වන මහින්ද සහ කුඩාවැල්ල ධීවර වරායේ තවත් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු අතර මීට වසර 15 කට පමණ පෙර සිට ආරවුල් පැවැති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම ආරවුලේ ප්‍රතිඵලයක්‌ ලෙස මහින්දගේ සොහොයුරෙක්‌ ද මීට පෙර ඝාතනයට ලක්‌විය. මේ වන විට දික්‌වැල්ල ධීවර වරායේ ව්‍යාපාරික ආධිපත්‍ය මහින්ද සහ ඔවුන්ගේ පුත්‍රයන් විසින් තමන් අතට ගෙන තිබෙන අතර විරුද්ධවාදී ව්‍යාපාරිකයා සමඟ තවමත් ගැටුම් පවතින බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

මීට ටික කලකට ඉතදී ද මෙම දෙපාර්ශ්වය අතර ආරවුලක්‌ හටගත් අතර “රණා”ගේ ප්‍රහාරයකින් විරුද්ධ පාර්ශ්වයේ පුද්ගලයකු සදාකාලික ආබාධිතයකු බවට පත්වී ඇත. මෙම ගැටුමෙන් පසු දෙපාර්ශ්වය අතර පැවැති වෛරය තවත් වැඩවී ඇත. මීට දින කිහිපයකට පෙර “රණා” විසින් පොලිසියට ලබාදුන් ඔත්තුවක්‌ මත දික්‌වැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්වී ඇති බවත් එම පුද්ගලයා රණාගේ විරුද්ධ පාර්ශ්වයේ ව්‍යාපාරිකයාගේ සමීපතමයකු බවත් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මෙම ව්‍යාපාරික ගැටුම් මත හෝ හෙරොයින් සිද්ධිය මුල්කර ගෙන සිදුවූ ආරවුල් මත ප්‍රහාරය එල්ල වන්නට ඇතැයි පොලිසිය සැක පහල කරයි. ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට නියෝජ්‍ය පොලිස්‌පති විජිත ගුණරත්න, තංගල්ල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ලක්‌සිරි ගීතාල් යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් හතරක්‌ යොදවා ඇත. මීට අමතරව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්‌ඨාසයේ විශේෂ කණ්‌ඩායමක්‌ ද ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ලට පිටත් කර යවා තිබෙනවා.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ විශේෂ කණ්‌ඩායමක්‌ ද ඇතුළුව පොලිස්‌ කණ්‌ඩායම් 11 ක්‌ මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!