Gossip

“හැමෝම මට නැතිවුණා. මට ඒකට හරිම දුකයි. ඒත් මේ තීරණය නොගත්තා නම් මට උසාවි යන්න පවා සිදුවෙනවා.. මාස තුනකට කළින් මම ඉවත් වුණා” 

ශිහාන් මිහිරංග ගැන අලුත් ආරංචියක් දැනගන්න ලැබුණා.
ඒ තමයි ශිහාන් මුහුණු‍පොතින් (FaceBook) සමුගෙන ගිහින් කියන පුවත.
ආරංචිය ලැබුණ හැටියේ FaceBook එකට ගිහින් ශිහාන් මිහිරංග කියලා අපි Search කරලා බැලුවා. මෙන්න එක දිගට “ශිහාන් මිහිරංගලා” සිය ගණනක් මුහුණු‍පොතේ දිගහැරෙන්න ගත්තා.
මොකක්ද එතකොට මේ ආරංචියේ ඇත්ත නැත්ත.
ඒ ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට සටහන් වෙලා තිබුණා.

ශිහාන් FaceBook එකෙන් ඉවත් වුණ කතාව ඇත්තද?
ඔව්. මීට මාස තුනකට කලින් මම FaceBook එකෙන් ඉවත් වුණා. දැන් මම FaceBook එකත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ.

ඒ වුණත් FaceBook එකේ “ශිහාන් මිහිරංග“ කියලා Search කළාම ශිහාන් මිහිරංගලා සිය ගණනක් විතර එනවානේ.
අන්න ඒ ශිහාන් මිහිරංගලා හින්දා තමයි මට FaceBook එකෙන් ඉවත් වෙන්න සිදුවුණේ.
මගේ FaceBook එකේ රසික රසිකාවියන් දහස් ගණනක් හිටියා. ඒ හැමෝම මට නැතිවුණා. මට ඒකට හරිම දුකයි. ඒත් මේ තීරණය නොගත්තා නම් මට උසාවි යන්න පවා සිදුවෙනවා.

ඇයි ඒ?
මගේ නමින් FaceBook ගිණුම් හදාගෙන මම විදියට chat කරලා ඊට පස්සේ දුරකථන අංක හුවමාරු කරගෙන නොයෙක් වැරදි වැඩ කළ අය අනන්තවත් හිටියා.
දිගින් දිගටම ඒ වගේ දේවල් ආරංචි වෙද්දී මම පත්තරවලින් පවා මගේ රසික රසිකාවියන් දැනුවත් කළා.
ඒත් මේ වැඩේ නතර කරන්න බැරි තරමට දරුණුවට සිදුවුණා. ඒ හින්දයි මම මේ තීරණය අකමැත්තෙන් වුණත් ගත්තේ.

ඒ වගේ බොරු ශිහාන්ලා හින්දා ශිහාන්ට මොන වගේ අත්දැකීම්වලට මුහුණදෙන්නද සිදුවුණේ.
මගේ ගෙදර වැඩට ආපු මේසන් බාස්ගේ බිරිඳත් මේ වගෙ බොරු ශිහාන් කෙනෙක් එක්ක chat කරලා තියෙනවා.
ඒ බොරු ශිහාන් මේ කාන්තාවට කියලා තියෙනවා රුපියල් 200ක Eazy Cash දාන්න කියලා. “මහත්තයා මගේ පවුලගෙනුත් රුපියල් දෙසීයක් ගත්තද?” කියලා අර මේසන් බාස් මගෙන් අහද්දී මට හිතාගන්නවත් බැරි වුණා.
ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කළ අය වගේම මගේ රසික රසිකාවියන්ගෙන් ලක්ෂ ගණන් වංචා කළ අයත් හිටියා.
මගේ CD එක කරන්න සල්ලි මදි කියලා බැංකු එකවුන්ට් නම්බර් දීලා ඒවාට ලක්ෂ ගණන් දා ගත්තු අයත් හිටියා.
මට ආදරේ කරන රසික පිරිස් මේ chat කරන්නේ ශිහාන් මිහිරංගමයි කියලා හිතාගෙන ඒ ගිණුම්වලට සල්ලි දාලා තිබුණා.
මට ආරංචි නොවූ තව සිදුවීම් කොයිතරම් තියෙනවද දන්නේ නැහැ. මුදල් කඩා ගත්තු අවස්ථා වගේම ගෑනු ළමයින්ට අනිසි යෝජනා කළ අයත් ඉඳලා තියෙනවා. ඒ වගේ සිදුවීමක් හින්දා තව ටිකෙන් මට උසාවි යන්නත් සිදුවෙනවා.

මොකක්ද ඒ සිදුවීම?
නීති ක්‍ෂේත්‍රයට සම්බන්ධ ඉහළ තනතුරක් දරන මගේ රසිකාවියක් බොරු ශිහාන් මිහිරංග කෙනකුට chat කරලා.
අදාළ තැනැත්තා ඉතාම අශෝභන විදියට ඇය ආමන්ත්‍රණය කරලා. අයුතු යෝජනා කරලා. ඒ කාන්තාව එයින් තදබල කෝපයට පත්වෙලා. තමන් වැනි කෙනකු ඉදිරියේ ශිහාන් මේ විදියට හැසිරෙනවා නම් නව යොවුන් දැරියන් ළඟ කොයි විදියට හැසිරෙනවා ඇද්ද කියලා ඇය හිතලා තියෙනවා.
අන්තිමට ඇය මට විරුද්ධව නීතිමය පියවර ගන්න කටයුතු කරලා.
හැබැයි මට කතා කළාම ඇයට සත්‍යය වැටහුණා. ඇයට බොරු දුරකථන අංකයක් දීලා ඇය ඇමතු ශිහාන්ගේ කටහඬයි මගේ කටහඬයි වෙනස් බව ඇය පසුව තමයි තේරුම් ගත්තේ. මමත් ඇයට කරුණු පැහැදිලි කළා.
ඊට පස්සේ සිද්ධිය එතැනින් නිමාවුණා. ඔය විදියට බොරු ශිහාන්ලාට රැවටුණු ගෑනු ළමයි කිහිපදෙනකුම මට හමුවුණා.

ඔය වගේ වාතාවරණයක් උඩ facebook වලින් ඉවත් වෙන්න සිදුවුණත් වෘත්තීමය පැත්තෙන් එය ඔබට පාඩුවක් නේද?
ඇත්තෙන්ම ඔව්. මගේ රසික පිරිසට මගේ සංගීත ජීවිතයේ අලුත් තොරතුරු දෙන්න තිබූ අවස්ථාව දැන් නැතිවෙලයි තියෙන්නේ. ඒත් කරන්න දෙයක් නැහැ. මම facebook වලින් ඉවත් වූ හැටියේ ඒ ගැන මාධ්‍යයට නොකියා මාස තුනක් ගිහින්.
මේ මාස තුනේ එයාලා chat කරපු ශිහාන්ලා ඔක්කොම හොරු. දැන්වත් ඒ අයට රැවටෙන එකෙන් වළකින්න. මගේ දුරකථන අංකය 0777434848. මින් පසු මට මගේ රසික පිරිස එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඔය දුරකථන අංකයෙන් විතරයි. ඔය අංකය හැර වෙන කිසිම අංකයක් මට නැහැ.

උපුටා ගැනීම – ලක්බිම පුවත්පත – අාරියවංශ කුලතිලක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!