Gossip

“හැමදාම රූකාන්තගේ චන්ද්‍රලේකාගෙ දුව කියල ඉන්න බැහැ. එහෙම පැවැත්මක් නැහැ – මගේ අම්මා තාත්තා ඇවිත් තියෙන්නේ අනුන්ගේ ගීත ගායනා කරලා” – රයිනි චාරුකා

ඇත්තටම මම සද්දයක් නැත්තේ සද්ද කරන්න හේතුවක් නැති නිසා. වැඩක් නොකර මම නිකරුණේ සද්ද කරන්න කැමැති නැහැ. ඒ නිසා අලුත් වැඩක් කරනකං මේ නිශ්ශබ්දකම හොඳයි කියලා හිතෙනවා.

ඒ කියන්නේ රයිනිගේ නිහඬකම තවත් අලුත් ගීත නිර්මාණ සඳහා හේතුවක්?
ඔව්. එහෙම කියන්නත් පුළුවන්. මගේ අලුත් ගීත කිහිපයක් ඉදිරියේදි එළිදක්වන්න බලාපොරොත්තුවක් තියෙනවා. මෙච්චර දවස් නිහඬව හිටියේ ඒ ගීත නිර්මාණ කටයුතු සඳහා කාලය කැප කරපු නිසා.

ඔබේ අලුත් ගීත නිර්මාණ ගැන විස්තර කළොත්?
මම මෙතෙක් ගායනා කරපු ගීතවලට වඩා වෙනස් ගීත කීපයක් ඒ අතරේ තියෙනවා. අලුත් ගීත ඔක්කොම හයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ අතරේ මට හුරු පුරුදු රෙගේ ශෛලියෙන් ගීතයක් තියෙනවා. ඒක මම ලංකාවේ ජනප්‍රිය කටහඬ යුගළක් වන ජය-ශ්‍රී එක්ක ගායනා කරන්නේ. තව ගීතයක් තියෙනවා. ඒක තමයි මගේ අලුත්ම ගීතය. තව ගායකයෙක් එක්ක එකතු වෙලා ඒ ගීතයේ නිර්මාණ කටයුතු කළේ. ඒක යුග ගායනයක් නෙමෙයි. ඒක අමුතු විදිහේ වැඩක්. මේ හැමදේටම ටිකක් මහන්සි වෙලා මම වැඩ කළා.

මේ ගීත නිර්මාණත් එක්ක රයිනි නැවතත් ‘හිට්‘ වෙයිද?
ඒක රසිකයන්ගේ අතේ තියෙන්නේ. මෙතෙක් මගේ හැම නිර්මාණයක්ම ප්‍රේක්ෂකයන් ආදරයෙන් බාරගෙන තියෙනවා. මේ ගීත සියල්ලම අලුත් අත්දැකීමක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ ගීත එකකට එකක් වෙනස් නිසා ඒ ඒ ගීත ශෛලීන්වලට ආදරේ කරන රසිකයන් ඒ ගීත වැළඳ ගනීවි කියලා මම හිතනවා.

රයිනිගේ අලුත් ගීත නිර්මාණ සඳහා රූකාන්ත ගුණතිලකයන් දායක වුණාද?
නැහැ. මේ නිර්මාණ මම සහ අනෙක් නිර්මාණකරුවන් විසින් කරපු නිර්මාණ. තාත්තා මගේ නිර්මාණයකට දායක වුණේ නැහැ වසර ගණනාවකින්. 2010 ‘නීල කඳු ගැටේ‘ ගීතයෙන් පස්සේ තාත්තා එක්ක නිර්මාණයක් කරන්න බැරි වුණා. තාත්තා ඉදිරියේදි කාර්යබහුල වෙන නිසා ඊට කලින් තාත්තා එක්ක ගීත දෙකක්වත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

රයිනි හිතන විදියට ගීත නිර්මාණයක වඩා වැදගත් වෙන්නේ හඬද? නැති නම් රූප රචනයද?
ගීතයක් හැදෙන්නේ වචන, කටහඬ සහ තනුව එකතු වෙලා. ඒ අංග තුන හැරෙන්න ගීතයකට අනෙක් දේවල් වැදගත් නැහැ. ඒත් දැන් නව පරපුර සියල්ල ඇස්වලින් රසවිඳින්න පුරුදු වෙලා තියෙන්නේ. ගීතයක් එහෙම ඇස්වලින් නරඹන්න වීඩියෝ එකක් හදනවා මිසක් ඒක ඒ තරම් වැදගත් නැහැ.

සංගීත ක්ෂේත්‍රයේ දැන් තියෙන රැල්ල ගැන රයිනි මොකද හිතන්නේ?
අවුරුද්දකට දෙකකට කලින් ලංකාවේ තිබ්බේ Electronic music trend එකක්. උදාහරණයක් විදිහට සනුකගේ ‘සරාගයේ‘ ගීතයත් එක්ක ඒ ශෛලියේ ගීත කීපයක් ඇහුණා. දැන් තියෙන්නේ Holistic relaxing music trend එකක්. ඒ කියන්නේ බොහොම නිවුණු, නිදහසේ අහන්න පුළුවන් ගීත. උදාහරණයක් විදියට රිද්මගේ ‘කුවේණියේ‘ ගීතය ගන්න පුළුවන්. දැන් මට ඇහෙනවා ඒ වගේ ගීත නිර්මාණ. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ පුරුද්දක් තියෙනවා එක නිර්මාණයක් hit වුණාම ඒ වගේ තව නිර්මාණ හැදෙන එක. ඒ hit වුණ ශෛලියට වඩා වෙනස් ගීත ගායනා කරන අය පවා පවතින ශෛලියෙන් ගීත ගායනා කරන්න උත්සාහ කරනවා. එතකොට හැමෝගෙන්ම බිහිවෙන්නේ එක වගේ ගීත නිර්මාණ. ලංකාව කියන්නේ පුංචි රටක්. මෙහෙම රටක එකම වගේ දේවල් කළාම කලාකාරයකුට ඉදිරියට එන්න විදිහක් නැහැ. ඒ වගේම මේ එකම වගේ නිර්මාණ හැමෝම කළාම ඒවා අහන රසිකයන් කියනවා එකම දේ ඇහෙන්නෙ කියලා. දැන් ලංකාවේ music trend එක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. ඒක හොඳ දෙයක් විදිහට මම දකිනවා. මොකද මම කලින් කියපු music trend එන්න කලින් තිබුණු trend එක අවුරුදු දහයක් විතර තිබුණා. ඒ නිසා කාලෙන් කාලෙට music trend වෙනස් වෙලා අලුත් අලුත් දේවල් එන එක හොඳයි.

රයිනි කලක් විදේශගත වෙලා හිටියා. ජාත්‍යන්තරයත් එක්ක බලද්දි ලංකාවේ සංගීතය ගැන මොකද හිතෙන්නේ?
මටත් පොඩි කාලේ music ඉගෙනගන්න හරි ගුරුවරයෙක් හොයාගන්න අවුරුදු 10ක් විතර ගියා. පංති අටකට විතර ගිහින් තියෙනවා. ගොඩක් අමාරු වුණා හරියන ටීචර් කෙනෙක් හොයාගන්න. එතකොට ලංකාවේ Art school තිබුණේ නැහැ. ඇමරිකාවට යනකොට මම ටිකක් වයසින් වැඩියි. එහෙට යද්දි සංගීතය ගැන තියෙන උනන්දුව ටිකක් අඩු වුණා. ජාත්‍යන්තරයත් එක්ක බලනකොට මම ලංකාවේ දකින ලොකුම අඩුපාඩුව තමයි සංගීතය පිළිබඳ නිවැරැදි මඟපෙන්වීමක්, අධ්‍යාපනයක් ලංකාවේ නැතිකම. සංගීතය ඉගෙන ගන්න හරියාකාර ක්‍රමවේදයක් නැහැ. නමුත් දැන් හොඳ ප්‍රවණතාවක් විදිහට Vocal School බිහි වෙලා තියෙනවා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ගායක ගායිකාවන්ගේ ප්‍රධානත්වයෙන්. ඒ තුළින් දක්ෂ නව පරපුරක් බිහිවෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. මෙතැනින් එහාට ගිහින් ලංකාවේ සංගීතය ගැන හැමදේම ඉගෙන ගන්න පාසලක් බිහිවෙනවා නම් හොඳයි කියලා මම හිතන්නේ.

ඒ වගේ Vocal School එකක් ආරම්භ කරන්න රයිනිට බලාපොරොත්තුවක් නැද්ද?
මම ටික කාලයක් පොඩි දරුවන්ට ඉගැන්වීම් කටයුතු කළා. මම දන්න දේ දරුවන්ට උගන්වන්න මම කැමැතියි. ඒත් මට ඒ ගැන එතරම් උනන්දුවක් නැහැ. කෙනකුට දෙයක් උගන්වනවා නම් අපිත් ගොඩක් කාලය කැප කරන්න ඕනේ. අපිත් දිගින් දිගටම පුහුණු වීම් කරන්න ඕනේ. අධ්‍යයනයන් කරන්න ඕනේ. ඒ ගැන උනන්දුවක් නැති නිසා මට ඒක හදවතින් කරන්න බැහැ. මගේ සැමියා අකිල හොඳ ගුරුවරයෙක්. එයා දන්නවා ඒක හරියට කරන්න. මමයි මගේ නංගි වින්ඩියි හිතාගෙන ඉන්නවා සංගීත පුහුණු ආයතනයක් පටන්ගන්න. ඒ කියන්නේ music exam කරන්න පුළුවන් හැමදේම ඉගෙන ගන්න පුළුවන් නිකේතනයක් පටන්ගන්න. ඒක තමයි අපි දෙන්නගේ හීනය.

එළිමහන් වේදිකාවේ ඔබ නිතරම දකින්න ලැබෙනවා. එළිමහන් ප්‍රසංගවලට එන ඇරියුම් බාරගන්නේ ජනප්‍රියත්වය නිසාද? නැත්නම් මුදල් අරමුණු කරගෙනද?
මගේ මවුපියන් පටන්ගත්තේ එළිමහන් වේදිකාවෙන්. මගේ පටන් ගැන්ම තිබුණෙත් එතැන. 2009දි ලංකාවට ආපු වෙලාවේ ප්‍රසංග වේදිකාවේ ගීත ගැයුවා මම. මට එළිමහන් ප්‍රසංග, ගෘහස්ථ ප්‍රසංග කියලා වෙනසක් නැහැ. නමුත් මේ දෙකට එන රසිකයන් එකිනෙකට වෙනස්. මම හිතන්නේ නැහැ එළිමහන් ප්‍රසංගවලට සහභාගි වුණා කියලා ජනප්‍රිය වෙනවා කියලා. හැබැයි එළිමහන් ප්‍රසංගවකට ආරාධනා කරන්නේ ජනප්‍රිය කෙනකුට විතරයි. මට හිතෙනවා මම හැමෝගෙම ගායිකාවක් විදිහට ඕනෑම වේදිකාවක ගීත ගයන්න පුරුදු වෙන්න ඕනේ කියලා.

නවක ගායිකාවන් ප්‍රසංග වේදිකාවේ ඔබේ ගීත ගායනා කරන එක ගැන ඔබ දරන මතය මොකක්ද?
රියැලිටි තරගයක හෝ වෙනත් තරගයක මගේ ගීත ගායනා කරන එක ගැන මම සන්තෝස වෙනවා. ඒක මට අදාළ නැති වුණාට මගේ අම්මා තාත්තා ඇවිත් තියෙන්නේ අනුන්ගේ ගීත ගායනා කරලා. නමුත් ඒ නවකයන් තමන්ට තැනක් හදාගත්තාම තමන්ගේ ගීත ගායනා කරන්න ඕනේ. ඒ කෙනා ප්‍රසිද්ධ වෙලා ගායිකාවක් ලෙස මුදල් හම්බ කරනකොට තමන්ට කියලා අනන්‍යතාවක් හදා ගන්න ඕනේ. මටත් තිබුණා අම්මගෙයි තාත්තාගෙයි සිංදු කිය කිය ඉන්න. ඒත් මම එහෙම කළේ නැහැ. එහෙම පැවැත්මක් නැහැ. මේ ගීත නිර්මාණ කරන්න අපි ගොඩක් මහන්සි වුණා. ඒ නිසා ඒ නවක ගායක ගායිකාවන් වෘත්තිමය ගායන ශිල්පීන් වුණාම තමන්ගේ ගීත ගායනා කරන්න ඕනේ.

සිංහාවලෝකනය චිත්‍රපටයෙන් පස්සේ රයිනිට රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද?
ආරාධනා ලැබුණා. නමුත් සමහර අධ්‍යක්ෂවරුන් මට ලබාදෙන්නේ මම කියන කෙනාට හාත්පසින් වෙනස් චරිත. ඒ සමහර චරිත තියෙනවා මම අකමැති චරිත. ඒ නිසා මම ඒ ලැබුණු ආරාධනා ප්‍රතික්ෂේප කළා. ඒ වගේම රඟපානවා කියන්නේ වෙනම දෙයක්. ඒකට ගොඩක් කැප කිරීම් කරන්න ඕනේ. ගොඩක් මහන්සි වෙන්න ඕනේ. මගේ අනිත් වැඩ කටයුතු එක්ක රඟපාන්න කාලයක් නැති එකත් එක හේතුවක්.

රයිනි hit character එකක් වෙන්නේ අම්මගෙයි තාත්තාගෙයි ප්‍රසිද්ධිය නිසාද? නැති නම් ඔබේ ගීතවල රසය හෝ ඔබේ හඬ නිසාද?
මේ හැමදේම හේතුවෙන්න ඇති. ප්‍රේක්ෂකයන් මගේ ගීතවල රසය නොදන්නා කාලයක මම මේ ක්ෂේත්‍රයට එන්නේ අම්මා තාත්තා නිසයි. වෙන අය පාලම හදාගෙන එද්දි එයාලා පාලමක් උඩ තියලා මට අනිත් පැත්තට යන්න කිව්වා. එහෙම කියලා හැමදාම රූකාන්තගේ චන්ද්‍රලේකාගෙ දුව කියල මට ඉන්න බැහැ. එහෙම ඉන්නකොට පැවැත්මක් නැහැ. ඕනේ කෙනෙකුට ඇවිත් සිංදු කියන්න පුළුවන්. ඊටපස්සේ ජනප්‍රියත්වය දිගටම පවත්වාගෙන යන්න ඕනේ. ඒකට මගේ කියලා නිර්මාණ තියෙන්න ඕනේ.

රූකාන්තගෙයි චන්ද්‍රලේකාගෙයි දුව නොවුණා නම් රයිනි කවුරු වෙයිද?
දෙමවුපියෝ music කරන නිසා වෙන්න ඇති මටත් ගීත ගයන්න පුළුවන් වුණේ. ඒ අය නිසා මගේ ඇඟේ music තියෙන්න ඇති. මම සංගීත ක්ෂේත්‍රයට එන්න අම්මා තාත්තා හේතුවක් වුණා. මම රූකාන්තගෙයි චන්ද්‍රලේකාගෙයි දුව නොවුණා නම් එක්කෝ ගුවන් නියමුවරියක් වෙයි. එහෙම නැති නම් විද්‍යාඥවරියක් වෙයි.

උපුටා ගැනීමකි.
නිර්මාණි බණ්ඩාරනායක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!