Gossip

“හතුරුසිංහ හොඳයි ඒත් එයා දෙවියෙක්‌ නෙමෙයි.. මම අවුරුදු තුනක ඉඳන් මෙහෙ ක්‍රිකට් බලන්නේ නැහැ”

ලොව බිහිවූ සුපිරිම පන්දු යවන්නා විදිහට මුත්තයියා මුරලිධරන් හදුන්වන්න පුළුවන්.
දඟ පන්දු රජු ලෙස නම් දරා සිටින මුරලි ඉන්නේ ලොකු කලකිරීමකින්.
සතිඅන්ත පුවත්පතකට කියා තිබුණු මේ කතාවෙන්ම ඒ බව සනාථ වෙනවා.

murali ලෝකයේ කඩුලු දවා ගැනීමේ සුරත පිහිටා තිබුණේ ඔහු අතේය.
ටෙස්‌ට්‌ (800) සහ එක්‌දින (534) දෙඅංශයෙන්ම මුත්තයියා මුරලිදරන් නම් වූ දඟ පන්දුවේ රජු දවා ගත් කඩුලු සංඛ්‍යාව 1334 කි.
එම වාර්තාව අසලටවත් පැමිණීමට තවත් කඩුලු මැෂිමක්‌ පෙනෙන තෙක්‌ මානයක ලොව බිහිවී නොමැත.
නමුත් මුරලි අද ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ගැන කිසිවක්‌ දන්නේ නැත. ඔහුට මෙරට ක්‍රිකට්‌ එපා වී ඇති සෙයකි. එයට හේතුව කුමක්‌ද? මෙරට ක්‍රිකට්‌වලට මුරලිලා ඉපයූ ඥනය බෙහෙවින් ඉවහල් නොවන්නේද යන්න දන්නේ ක්‍රිකට්‌ පරිපාලනය කරන මහත්වරුන්ය. නමුත් ඒ මහත්වරුන්ට මුරලිලාගේ අගය නොවැටහීමද මෙරට ක්‍රිකට්‌ වැසී ඇති එක්‌තරා අඳුරු පැතිකඩකි.
කෙසේ වෙතත් ක්‍රිකට්‌ යනු මෙරට බහුතරයකගේ ඇඟට කා වැදුන ක්‍රීඩාවකි. ඒ ක්‍රීඩාව දැන් නන්නත්තාර වී ඇති මොහොතක මුත්තයියා මුරලිදරන්ගෙන් ක්‍රිකට්‌ හදන උපාය කුමක්‌දැයි “දිවයින ඉරිදා සංග්‍රහය” විමසුවද ඔහු ඊට පිළිතුරු සෙවිය යුත්තේ ක්‍රීඩා ඇමැතිගේ සිට ක්‍රිකට්‌ පරිපාලනය කරන ඉහළ නිලධාරීන්ගෙන් බව පැවසීය. ඒ වදන කලකිරීමකින් පවසන ලද්දකි.
“ඇත්තටම මම දැන් අවුරුදු දෙකක්‌ තුනක්‌ විතර මෙහෙ ක්‍රිකට්‌ ගැන දන්නෙ නැහැ.
මොකද අපි කොච්චර කිව්වත් ඒවා ක්‍රියාත්මක කරන්නෙ ක්‍රීඩා ඇමැති සහ ක්‍රිකට්‌ පරිපාලනය කරන ඉහළ නිලධාරීන්.
ඒ නිසා ඒ අය තමයි ක්‍රිකට්‌ හදන හැටි කියන්න ඕන.” යනුවෙන් මුරලිගේ පිළිතුර විය. මුරලිගේ ඒ පිළිතුරේ ගැබ්ව තිබුණේ තමන් කොපමණ උපදෙස්‌ දී තිබුණද ඒ සියල්ල ගඟට කැපු ඉනිමෙන් ඵලක්‌ නොමැතිව අවසන් වී ඇති බැවින් තවත් මෙරට ක්‍රිකට්‌ ගැන කතා නොකර සිටීම නුවණට හුරු බැවිනි.
මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාර යන හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ද ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරගේ මැදිහත්වීමෙන් ක්‍රිකට්‌ හදන සැලැස්‌මක්‌ ඉදිරිපත් කළේය. ඒ සැලැස්‌ම ක්‍රියාත්මක නොකළොත් ඔවුන් දෙදෙනාද යළිත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ගැන කතා නොකරන බව ප්‍රසිද්ධියේ පවසා සිටියේ මුරලි මෙන් ක්‍රිකට්‌ හදන කතා කොපමණ කීවද ඵලක්‌ නොවන බව දන්නා නිසා විය හැක.
පසුගිය කාලයේ මුත්තයියා මුරලිදරන් මෙරට පාසල් ක්‍රිකට්‌ සැලැස්‌ම සකස්‌ කිරීම කෙසේ විය යුතුද යන්න අධ්‍යාපන ඇමැති අකිල විරාඡ්ගේ ආරාධනයකට අනුව සහභාගි විය. ඒ වැඩේද බොරුවක්‌ වූ බව මුරලි පවසයි.
“පාසල් ක්‍රිකට්‌ හදන සැලැස්‌මකට මමත් සහභාගි වුණා. ඒකෙ එක මීටිමකට විතරයි මම ගියේ. ඒකත් බොරුවට මුකුත් උන් නැහැ මම හිතන විදිහට. ඇත්තටම ඒකට මොනවා වුණාද නැද්ද කියලා මම දන්නේ නැහැ.”
මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාව කඩා වැටෙන්නේ දේශපාලනය නිසා බවත් ක්‍රිකට්‌ හැදෙන්න දේශපාලනය අයින් විය යුතු බවත් මුරලි පවසයි.
“ක්‍රිකට්‌ හදන්න නම් දේශපාලනයෙන් මේක අයින් වෙන්න ඕන. ඊට පස්‌සෙ හරි කට්‌ටියකට භාර දෙන්න ඕන. දේශපාලනය ක්‍රිකට්‌වලටත් බලපෑවොත් ඒකත් ඉතිං රටේ තත්ත්වය වගේ තමයි. ඒ නිසා ක්‍රිකට්‌ වලින් දේශපාලනය අයින් වෙන්නෙ නැතිව ක්‍රිකට්‌ ව්‍යවස්‌ථාව තියා මුකුත් ගැන කතා කරලා වැඩක්‌ නැහැ. මොකද ක්‍රීඩා ඇමැති කෙනෙක්‌ ඉන්නවා. එයා තමයි ක්‍රිකට්‌ වලටත් වග කියන්න ඕන. නැතිනම් ප්‍රධාන විධායක නිලධාරියෙක්‌ ඉන්නවා. පුහුණුකරුවන්ගෙ ප්‍රධානියෙක්‌ ඉන්නවා. මේ අය කියන්න ඕන ක්‍රිකට්‌ වලට මොකද වෙලා තියෙන්නෙ කියලා. ඒ ඇරෙන්න පැත්තක ඉඳලා අපි මොනව කිව්වත් වැඩක්‌ නැහැ. ඒ අය තමයි මේකට වග කියන්න ඕන.”
ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ පරිපාලනයට සම්බන්ධ වීමට මුරලිට කිසිම කැමැත්තක්‌ නැති බවත් ඊට වඩා එහා ගිය වැඩ ඔහුට ඇති බවත් වැඩිදුරටත් පැවසීය.
“ඇත්තටම මම ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයට එන්න කිසිම කැමැත්තක්‌ නැහැ. මොකද මට ගොඩක්‌ වැඩ තියෙනවා. ක්‍රිකට්‌ ගහන කාලේ මම පුලුවන් විදිහට රට වෙනුවෙන් ගැහැව්වා. දැන් මට අඩ ගහන අයට කෝචින් වලින් මම පුළුවන් දේ කරනවා. අයි.පී.එල්.වල කොන්ත්‍රාත්තුවක්‌ තියෙනවා. ඒ ඇරුණම මගේ ව්‍යාපාර ටික කරගෙන පාඩුවේ ඉන්නවා.”
මුරලිගේ මතය අනුව මෙරට ක්‍රිකට්‌ හදන්න බැහැම කියන තත්ත්වයකට වැටී ඇති බව ඔහු සඳහන් කරයි.
“දැන් හදන්න බැහැම කියන තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නෙ. ක්‍රීඩා ඇමැතිට බලයක්‌ දීලා තියෙන්නෙ ඒ වගකීම ඉටු කරන්න. දැන් ඉන්න අලුත් ක්‍රීඩා ඇමැතිතුමාගේ සංකල්පය මොකක්‌ද කියලා කියන්න ඕන. කවුද දැන් ක්‍රිකට්‌ පාලනය කරන්නෙත් දේශපාලනයෙන්නෙ. ඉතිං ඇමැති තමයි ක්‍රිකට්‌ හදන කෙනාව පත්කරන්නෙත්. අපි මොකද කරන්නෙ.”
ලොව සෑම ක්‍රිකට්‌ ආයතනයකම කුමන හෝ ප්‍රශ්නයක්‌ තිබුණත් ක්‍රීඩාව දියුණු කිරීමේ සැලැස්‌මක්‌ තිබිය යුතුය. එය මුරලිද පිළිගන්නා කාරණයකි. ඔහු මේ දිනවල හොඳින්ම දන්නේ අයි.පී.එල්. සන්රයිසස්‌ කණ්‌ඩායම ගැනය.
“අයි.පී.එල්. එකේ හයිද්‍රාබාද් සන්රයිසස්‌ කණ්‌ඩායම ගැන ඇහුව්වනම් මට මොනව හරි කියන්න පුළුවන්. මොකද මම ඒකෙ පුහුණුකරුවෙක්‌. ඒක අපි හොඳට කරනවා. ඒ ඇරෙන්න ලංකාවේ ක්‍රිකට්‌වලට මොනවද වෙන්න ඕන කියලා වගකියන්න ඕන මම ඉස්‌සර කියපු කට්‌ටියගෙන් තමයි.”
ක්‍රීඩා ඇමැති නිලවරණයකින් පත්කරන කමිටුවකට ක්‍රිකට්‌ භාරදීම සිදුකරන බවට මාධ්‍යයට පැවසීය. ඒ සම්බන්ධයෙන් මුරලිගේ මතය වී ඇත්තේ මෙවැන්නකි.
“නිලවරණයකින් පත්කරන කට්‌ටියකින්වත් වැඩේ වෙන්නෙ නැතිනම් ඉතිං ක්‍රීඩා ඇමැති මොකක්‌ හරි තීරණයක්‌ ගන්න ඕන. ඒ බලය ක්‍රීඩා ඇමැතිවරයා ළඟ තියෙනවා. දැන් ඉන්න ෆයිසර් මුස්‌තාපා මහතාගෙන් මාධ්‍ය හැටියට ඔයගොල්ලන් අහන්න ඕන ඉදිරියට මොකද වෙන්නෙ කියලා. මොකද ක්‍රිකට්‌ වලට ඡන්ද වැඩක්‌ නැහැ.”
මෙරට පුහුණුකරුවන්ගේ සැලැස්‌ම කුමක්‌ද, නවක ක්‍රීඩකයන් ඉස්‌මතු වන්නේ කෙසේද යන්න සැලැස්‌මක්‌ ක්‍රිකට්‌ හදන වැඩපිළිවෙලක ප්‍රධාන තේමාව විය යුතුව තිබේ.
“මම දන්නෙ නැහැ දැන් අපේ රටේ පුහුණුකරුවන් කී දෙනෙක්‌ ඉන්නවද කියලා. ඒ වගේම ඒ අයගෙ සැලැස්‌ම මොනවද කියලවත් දන්නෙ නැහැ. සල්ලි කොච්චර එනවද සහ වියදම් වෙනවද කියලා දන්නෙ නැහැ. ඒ මුකුත් දන්නෙ නැතිව අපිට ක්‍රිකට්‌ ගැන දැන් කතා කරන්න බැහැ. ක්‍රීඩා ඇමැතිවරු ඡන්දය තියන්න විතරක්‌ වැඩක්‌ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී වුණ පලියට ක්‍රීඩාව දියුණු වෙන්නෙ නැහැ.”
“ඕනෑම දීර්ඝ කාලීන සැලසුමක්‌ තියෙන්න ඕන. 2022 දී හරි 2023 දී හරි අපි කොතනද ඉන්නෙ කියන සැලසුම පුහුණුකරුවන් සහ පාලකයන් අතර තියෙන්න ඕන. අපි ගහන කාලේ අර්ජුන අයියගෙන් ඇහැව්වා එයා උත්තර දුන්නා. නැතිනම් පාලක මණ්‌ඩලය උත්තර දුන්නා. එච්චරයි.”
ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ විශිෂ්ට පුහුණුකරුවෙක්‌ වුවත් ඔහු දෙවියෙක්‌ නොවන බවද මුරලි පවසා සිටියේය.
“හතුරුසිංහ කියන්නෙ හොඳ පුහුණුකරුවෙක්‌. ඔහුගේ පැමිණීම ඉතාම හොඳයි. හැබැයි ඒ අයට වැඩේ කරන්න හොඳ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් බිහි වෙන්නෙ ඕන. එහෙම නැතිව එයාට දෙවියෙක්‌ වගේ වැඩ කරන්න බැහැනෙ. ක්‍රීඩකයන්ව මවන්න බැහැනෙ. මම ටෙස්‌ට්‌ කඩුලු 800 ක්‌ එක පාරටම ගත්තෙ නැහැනේ. ඒකට අවුරුදු 13 ක්‌ විතර අමාරුවෙන් ඇවිල්ලා අවුරුදු 20ක්‌ ගහලා තමයි කඩුලු 800 ක්‌ ගත්තෙ. ඉතිං ඒ සඳහා දීර්ඝ කාලීන සැලැස්‌මකට යා යුතුයි.”
ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් අනුග්‍රහකයන් ඈත් වුවද තමා ක්‍රිකට්‌ ක්‍රීඩාවට තිබෙන ආදරය වෙනුවෙන් ඉතාමත් දුප්පත් පාසල් රට වටේම තෝරාගෙන තරගාවලියක්‌ පවත්වන බව මුරලි පවසයි. මුරලි පදනම මගින් යාපනයේ පමණක්‌ නොව කොළඹ සහ ගාල්ල ඇතුළු පාසල්වල දුප්පත් ළමයින්ට ක්‍රිකට්‌ ගසන්නට උදව් උපකාර කර තිබේ.
“ඉස්‌සර ගැහැව්වා මුරලි කප් කියලා කුසලානයක්‌. දැන් මගේ සල්ලි වියදම් කරලා මම අවුරුද්දකට පාසල් පහක්‌ විතර එකතු කරගෙන තරගාවලියක්‌ පවත්වනවා. ඒ සියලුම පාසල් ඉතාමත් දුප්පත් පාසල් වල ළමයි. ඒ අයට ඇඳුම්, සපත්තු සහ ක්‍රිකට්‌ උපකරණ සියල්ල දීලා මිලියන 25 ක්‌ විතර වියදම් කරලා තමයි තරගාවලිය පවත්වන්නෙ. ඒ ක්‍රීඩා කරන ළමයි අතර දක්‍ෂතා තියෙන අය ඉන්නවා. මගේ පාඩුවේ මම ඒ වැඩේ කරගෙන ඉන්නවා දුප්පත් ළමයි වෙනුවෙන්. ගිය අවුරුද්දෙ කොළඹ සහ සීනිගම ප්‍රදේශවල දුප්පත් පාසල් අතර ඒ තරගාවලිය පැවැත්වූවා.”
මුරලි ක්‍රිකට්‌ පිටියේ හෙළු දහඩිය අපමණය. ඔහුගේ පන්දුව නිපන්දුවක්‌ බවට චෝදනා කළ ඔස්‌ටේ්‍රලියානු විනිසුරු ඩැරල් හෙයාර් පසුගියදා හොරකමක්‌ කර අතේ මාට්‌ටු විය. ඒ සම්බන්ධයෙන් එදා මුරලිගෙන් විමසන ලදුව ඔහු ලබාදුන්නේ මහත්මා පිළිතුරකි. “ඒවා මගේ හිතේ දැන් නැහැ. මොකද මිනිස්‌සුන්ට වරදිනවනේ. ඒ ඩැරල් හෙයාගෙ අත්වැරැද්දකින් එහෙම වෙන්න ඇති.” යනුවෙනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!